කොරෝනා වෛරසය: කෝවිඩ් පැතිරීම වැළැක්වීම පිණිස සෞඛ්‍ය මාර්ගෝපදේශ කිහිපයක්

මුහුණු ආවරණ පැළඳ, සඳුදා (ඔක්තෝබර් 05) කොටුව දුම්රිය ස්ථානයට පැමිණි මගීන් පිරිසක්

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, මුහුණු ආවරණ පැළඳ, සඳුදා (ඔක්තෝබර් 05) කොටුව දුම්රිය ස්ථානයට පැමිණි මගීන් පිරිසක්

ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය විසින් අඟහරුවාදා සවස වන විට අවම වශයෙන් නව රෝගීන් 246 ක් වාර්තා කර තිබෙන අතර, ගතවගිය පැය 24 තුළ, දිවුලපිටිය කොරෝනා ආසාදිත නව පොකුරෙන් කෝවිඩ් රෝගීන් 567ක් වාර්තා වී තිබුණි.

ඒ අනුව රට තුළින් මේ දක්වා වාර්තා වූ මුළු සංඛ්‍යාව 3,979 ක් දක්වා ඉහළ ගොස් තිබේ. කොරෝනාවෛරසය හේතුවෙන් ශ්‍රී ලංකාවේ මේ වන විට මරණ 13 ක් වාර්තා වී ඇත.

මේ අතර ප්‍රිය සම්භාෂණ, සම්මන්ත්‍රණ, දේශන, ප්‍රදර්ශන, සංගීත සංදර්ශන, සැණකෙළි, සැමරුම් උත්සව, පෙළපාලි, පෙරහැර හා අත්‍යවශ්‍ය නොවන රැස්වීම් නැවත දැනුම් දෙන තුරු පැවැත්විය නොහැකි බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කළේය.

අඟහරුවාදා රාත්‍රී 1800 සිට නැවත දන්වන තුරු ගම්පහ පොලිස් බල ප්‍රදේශය තුළ ඇදිරි නීතිය බලපැවැත්වෙන බව වැඩබලන පොලිස්පතිවරයා නිවේදනය කළේය.

සෞඛ්‍ය මාර්ගෝපදේශ

ඡායාරූප මූලාශ්‍රය, Public Health Bureau-Sri Lanka

ඡායාරූප ශීර්ෂ වැකිය, සෞඛ්‍ය මාර්ගෝපදේශ

සෞඛ්‍ය අමාත්‍යංශයේ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය පවසන්නේ, මුලින්ම කොරෝනා වෛරසය පැතිර ගිය මොහොතේ දී තත්ත්වය පාලනය කරගැනීමට සෞඛ්‍ය හා ආරක්ෂක අංශවල කැපවීම මෙන්ම ජනතාව සිහිබුද්ධියෙන් කටයුතු කිරීමත් බොහෝදුරට උපකාරී වූ බවය. නැවතත් රටේ කොරෝනා වෛරසය සීඝ්‍රයෙන් පැතිර යාම වලක්වා ගැනීමට මේ අවස්ථාවේදීත් වඩාත්ම වැදගත් වෙන්නේ ජනතාව වගකීමෙන් කටයුතු කිරීම බවත් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය පවසයි.

ශ්‍රී ලංකාවේ කෝවිඩ් තත්වයේ නවතම වර්ධනයන් සලකා බැලීමේදී ප්‍රජාවන් අතර හඳුනා නොගත් ආකාරයෙන් වෛරසය ව්‍යාප්තියක් ඇතිවීමේ හැකියාව වැළැක්වීමට යහපත් සෞඛ්‍ය පුරුදු නැවතත් භාවිතයට ගැනීමට කාලය බව ද එම ආයතනය පවසයි.

එම සෞඛ්‍ය මාර්ගෝපදේශ පහත සඳහන් පරිදි වේ:

  • පුද්ගල දුරස්ථභාවය සැමවිටම පවත්වාගන්න.
  • නොතරම දෑත් පිරිසිදුව තබාගන්න.
  • කහින විට හෝ කිවිසන විට වැලිමිටෙන් හෝ ටිෂු කඩදාසියකින් කට සහ නාසය වසා ගන්න.
  • මුහුණ ඇල්ලීමෙන් වළකින්න.
  • ඔබට උණ කැස්ස සෙම්ප්‍රතිශ්‍යාව ආදී රෝග ලක්ෂණ තියෙනවා නම්, හැකිතාක් ඉක්මනින් වෛද්‍ය උපදෙස් ලබාගන්න. වෛද්‍ය උපදෙස් ගැනීමට යාමේදී පොදු ප්‍රවාහන සේවා යොදාගැනීමෙන් හැකිතාක් දුරට වලකින්න.
  • ගමන් බිමන් නවතා නිවසට වී සිටින්න.
  • මුව ආවරණය නිවැරදිව පළඳින්න.
  • වැඩි විස්තර සඳහා 1999 සුවසැරිය දුරකථන සේවය අමතන්න.
ශ්‍රී ලංකාව තුල ජනතාව පසුගිය වකවානුවේ මුහුණු ආචරණ පැලදී ආකාරය සමාජ මද්‍යයේ දැක්වූ ආකාරය

ඡායාරූප මූලාශ්‍රය, Social Media

ඡායාරූප ශීර්ෂ වැකිය, ශ්‍රී ලංකාව තුල ජනතාව පසුගිය වකවානුවේ මුහුණු ආචරණ පැළඳි ආකාරය සමාජ මාධ්‍යයේ දැක්වූ ආකාරය

රටේ ඉදිරි කාලවකවානුව කෙසේ වෙයි දැයි තීරණය වනු ඇත්තේ අද ජනතාවගේ වගකීම් සහගත ක්‍රියා පිළිවෙත මත බව සෞඛ්‍ය අමාත්‍යංශයේ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය අවධාරණය කරයි.

වීඩියෝ ශීර්ෂ වැකිය, කොරෝනා වෛරසය: ගම්පහ කෝවිඩ් පොකුරට අදාළ PCR පරීක්ෂණ 1300ක්

කියවන්න: