කොරෝනා වෛරස් රෝගීන්ට ප්‍රතිකාර කළ ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවකයින්ට දීමනා ප්‍රමාද වූයේ ඇයි?

කොවිඩ් 19 රෝගීන්ට ප්‍රතිකාර කළ සෞඛ්‍ය සේවකයින්ට දීමනා ප්‍රමාද වූයේ ඇයි?

ඡායාරූප මූලාශ්‍රය, GMOA/Facebook

    • Author, කුමුදු ජයවර්ධන
    • Role, BBC සිංහල

බස්නාහිර පළාතේ සහ තවත් පළාත් කිහිපයක සෞඛ්‍ය කාර්ය මණ්ඩලවලට "අදාළ වැටුප් දීමනා මාස තුනක් නිසියාකාරව නොගෙවීම සම්බන්ධයෙන් විරෝධතා" දක්වන ආකාරය පසුගිය දින කිහිපයේදී මාධ්‍ය ඔස්සේ දක්නට ලැබිණි.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පැවසුවේ, බස්නාහිර පළාතේ සහ තවත් ප්‍රදේශ කිහිපයක කෝවිඩ්-19 රෝගීන්ට ප්‍රතිකාර සේවාවන්හි නිරත සෞඛ්‍ය කාර්ය මණ්ඩලවලට නිසි වැටුප් දීමනා නොගෙවීම හේතුවෙන් මෙම විරෝධතා පැවති බවය.

කොවිඩ් 19 රෝගීන්ට ප්‍රතිකාර කළ සෞඛ්‍ය සේවකයින්ට දීමනා ප්‍රමාද වූයේ ඇයි?

ඡායාරූප මූලාශ්‍රය, GMOA

පසුගිය දා බලපිටිය සහ හෝමාගම යන ප්‍රදේශවල මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය කාර්ය මණ්ඩල සාමාජිකයින් පිරිසක් විරෝධතාවල ද නිරත වූහ.

ඊට අමතරව, "බස්නාහිර පළාතේ සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට අදාළ වැටුප් දීමනා මාස 3ක් නිසියාකාරව නොගෙවීම සම්බන්ධයෙන් විරෝධතාව දැක්වීමට ජූනි 16 වන දින සුව විරුවන් කළු පටි බැඳ සේවයට වාර්තා කරන ලද" බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය නිවේදනය කළේය.

කොවිඩ්-19 වසංගතය හමුවේ විශාල මෙහෙයක් කළ සෞඛ්‍ය කාර්ය මණ්ඩලවලට අතිකාල දීමනා නිසි ලෙස නොගෙවීමට නොසතුට පළ කරමින් සමාජ මාධ්‍යවල ද අදහස් පළ වී තිබිණි.

ජයත්‍රී ඩයස් පලිපාන ෆේස්බුක් ඔස්සේ සටහන් කර තිබුණේ, "සෞඛ්‍ය ක්ෂේත්‍රයට අතිකාල නොදී ම මට නම් එය ඉතා කැත වැඩක්.... කොරෝනා වේලාවේ ඔවුන්ට ඔවුන්ගෙ වැටුපට අමතරව හරි නම් මේ කොරෝනා වෙනුවෙන් විශේෂයෙන් නැහුණ වෛද්‍ය හෙදියන්ට වැඩිපුර යමක් දිය යුතුයි...... එයයි යුතුකම....," යනුවෙනි.

කොවිඩ් 19 රෝගීන්ට ප්‍රතිකාර කළ සෞඛ්‍ය සේවකයින්ට දීමනා ප්‍රමාද වූයේ ඇයි?

ඡායාරූප මූලාශ්‍රය, facebook

ඉන්දික කමල් ජයරත්න සඳහන් කර තිබුණේ, "වෙනත් රටවල සෞඛ්‍ය සේවකයින්ට ප්‍රසාද දීමනා ලැබුණු," බවය.

"මුදල්වලට තණ්හාවෙන් නෙවේ"

"අපි මේ දීමනා නොදෙන එකට විරෝධය පළ කළේ මුදල්වලට තියෙන තණ්හාව හින්ද නෙවේ. එතන අසාධාරණයක් සිද්ධ වුණ නිසයි. මොනව වුණත් අපේ රටේ වෛද්‍ය වෘත්තිකයන් ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ ආරක්ෂාව ගැන හිතල කටයුතු කිරීම ගැන සෞඛ්‍ය බලධාරීන්ට අපි ස්තුතිවන්ත වෙනවා," කොළඹ ජාතික රෝහලේ සේවයේ නියුතු වෛද්‍යවරියක බීබීසී සිංහල සේවයට පැවසීය.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ විධායක කමිටු සාමාජික වෛද්‍ය නවීන් ද සොයිසා බීබීසී සිංහල සේවයට පැවසුවේ, මේ සම්බන්ධයෙන් බලධාරීන්ගෙන් සාර්ථක ප්‍රතිචාරයක් ලැබී ඇති බවය.

"අග්‍රමාත්‍ය කාර්යාලයෙන් කියල තියෙනව ඒ අදාළ මුදල් ලබා දීල ඉදිරි සතියෙදි ගෙවල ඉවර කරනව කියල. සෞඛ්‍ය ඇමතිතුමියත් අපි හම්බ වුණා. එයාල ආණ්ඩුකාරවරුන් එක්කත් සාකච්ඡාවක් තිබ්බ. ඒකෙදි මුදල් මුදා හරින්න තීරණය කරල තිබුණ. ඒ නිසා ඉදිරි සතියෙදි ඒ ප්‍රශ්නය විසදෙයි කියල අපි බලාපොරොත්තු වෙනව."

දීමනා නොගෙව්වේ ඇයි?

අදාළ සෞඛ්‍ය කාර්ය මණ්ඩලවලට දීමනා ගෙවීම ප්‍රමාද වීමට බලපෑ හේතු පැහැදිලි කරමින් හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල බීබීසී සිංහල සේවයට පැවසුවේ, මෙය අසාමාන්‍ය තත්ත්වයක් වූ හෙයින් දීමනා ගෙවීම ප්‍රමාද වූ බවය.

"මේක අන්යූෂුවල් එකක්නෙ. කොවිඩ් එකත් එක්ක එනකොට ඒව නෝමල් වෙන්නෙ නෑ. ඒ කියන්නෙ සමහර වෙලාවට අතිකාල පැය 80ක් දෙන්න තීන්දු කරනව හදිස්සියෙ ඒවට ගෙවන්නම් කියල. එතකොට නෝමල් පේ රෝල් එකේ යන්නෙ නෑ. ඉතින් ඒ වගේ වෙලාවට විරෝධයක් ඉදිරිපත් කළා ම තමයි, විරෝධය පළ කළා ම දෙනවා කියන එක නෙවෙයි ඒකෙන් කියන්නෙ, ඒ වුණත් ඒ විරෝධය පෑමත් එක්ක තමයි මේ දේ කෙරුණෙ. ඒ විදිහට තමයි අපේ වෛද්‍යවරුන්ගෙත් එහෙම මතයක් තිබුණ. ඒක නිසා තමයි යුනියන් ඇක්ෂන් එකක් ගන්නව දුන්නෙ නැත්නම් කියල. ඒත් ඒක සෙට්ල් වුණා. සෙට්ල් වෙන්නෙ අර විදිහට තමයි."

ඔහු සඳහන් කළේ, අදාළ දීමනා ගෙවීමේ කටයුතු නිසි පරිදි සිදු කිරීම සදහා පියවර ගනිමින් සිටින බවය.

"සාමාන්‍යයෙන් තියෙන්නේ වැටුප සහ සාමාන්‍ය අතිකාල දීමනා විතරයි. මෙතන තියෙන්නෙ කොවිඩ් එකත් එක්ක ආපු විශේෂ තත්ත්වයක්. ඉතින් ඒ විශේෂ අතිකාල ගෙවන එක ටිකක් ප්‍රමාද වුණා. දැන් ඉතින් ඒක හරි. නුවර, කොළඹ රෝහල්වලත් මේ ප්‍රශ්නය තිබුණා. තේරුම් ගන්න ඕන මේක අසාමාන්‍ය තත්ත්වයක් කියන එක."