කොරෝනා වෛරසය: විදෙස් රටවල සිටින ශ්‍රී ලාංකිකයින් ආපසු ගෙන්වා ගැනීමේ ක්‍රමය වෙනස් කෙරේ

High Commission of Sri Lanka in Maldives

ඡායාරූප මූලාශ්‍රය, High Commission of Sri Lanka in Maldives

    • Author, කුමුදු ජයවර්ධන
    • Role, බීබීසී සිංහල

විදෙස් රටවල වෙසෙන ශ්‍රී ලාංකිකයින් ආපසු ගෙන්වා ගැනීම සඳහා නව ක්‍රමවේදයක් සකස් කරන බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ, "එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට පැමිණි 197 දෙනාගෙන් 22 ක් ආසාදිතයින් බව නිගමනය කෙරිණ. කුවේට් සිට පැමිණි 462 දෙනාගෙන් දැනට පීසීආර් පරීක්ෂණයට ලක් කළ 150 දෙනෙකු අතරින් 96 දෙනෙක් ම කොරෝනා රෝගීන් ලෙස හඳුනාගනු ලැබ ඇති," බවය.

මෙම තත්ත්වය සලකා විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් ආපසු ගෙන්වා ගැනීම සම්බන්ධයෙන් නව ක්‍රමවේදයක් සකස් කිරීමට බ්‍රහස්පතින්දා (මැයි 28) දිනයේදී විශේෂ සාකච්ඡාවක් පැවැත්වෙන බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

'විශාල ප්‍රශ්නයක්'

මේ පිළිබඳව බීබීසී සිංහල සේවය සමඟ අදහස් දක්වමින් හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල කියා සිටියේ, විදෙස් රටවල වෙසෙන ශ්‍රී ලාංකිකයින් ආපසු ගෙන්වා ගැනීම පිළිබඳ තත්ත්වය "විශාල ප්‍රශ්නයක්" බවට පත්ව තිබෙන බවය.

විදෙස් රටවල වෙසෙන ශ්‍රී ලාංකිකයින් අතර කොරෝනාවෛරසය ආසාදිතයින් සිටීම මෙම තත්ත්වයට බලපා ඇති බවත් ඔහු පැවසීය.

High Commission of Sri Lanka in Maldives

ඡායාරූප මූලාශ්‍රය, High Commission of Sri Lanka in Maldives

"මේක ඇත්තට ම ලොකු ප්‍රශ්නයක්. දැනට විදෙස් රටවලින් පැමිණි විශාල පිරිසකට කොරෝනාවෛරසය ආසාදනය වෙලා තියෙන බව තහවුරු වෙලා තියෙනවා. ඒ නිසා ඒ අය එන ගුවන් යානයේ සිටින සියලු මගීන් නිරෝධායනය කරන්න වෙනවා. ඒ විතරක් නෙවේ ගුවන් යානයේ නියමුවා ඇතුළු කාර්ය මණ්ඩලයත් නිරෝධායනයට යවන්න වෙනවා. එහෙම වුණොත් ගුවන් යානා පියාසර කරවීම ඉදිරියේදී ගැටලුවක් බවට පත්වෙන්න පුළුවන්. ඒ නිසා මේක විසඳුමක් හොයා ගන්න අමාරු ප්‍රශ්නයක් බවට පත්වෙලා තියෙන්නේ," කෙහෙළිය රඹුක්වැල්ල පැවසීය.

කෙසේ වෙතත්, විදෙස් රටවල වෙසෙන ශ්‍රී ලාංකිකයින් විශාල පිරිසක් පීඩාවට පත්ව සිටින හෙයින් ඔවුන් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම සම්බන්ධයෙන් සලකා බැලීමට සිදුව ඇති බව ද ඔහු පැවසීය.

"අපිට වීඩියෝ පවා එවල තියෙනවා සමහර අය කඳවුරුවල ඉන්නේ. ඒ නිසා මේක ලොකු ප්‍රශ්නයක්. මේ ගැන අදත් අගමැතිතුමත් එක්ක අපි සාකච්ඡා කරන්න නියමිතයි. තාමත් හිතාගන්න බැහැ මොකක් ද කළ යුත්තේ කියලා."

විදෙස් රටවලින් පැමිණි 283 දෙනෙකුට කොරෝනා

විදෙස්ගතව සිට මෙරටට පැමිණි පුද්ගලයින් අතරින් 283 දෙනෙකු කොරෝනා අසාදිතයින් ලෙස හඳුනාගෙන ඇතැයි වැඩබලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මාධ්‍ය වෙත පැවසීය.

හමුදාපතිවරයා පැවසුවේ, කුවේට් සිට පැමිණි 137 දෙනෙකු ඒ අතර වන බවය.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව අඟහරුවාදා (මැයි 26) නිවේදනය කළේ, එදින පස්වරු 7.15 වන විට කෝවිඩ් 19 රෝගීන් 96 දෙනෙකු වාර්තා වූ බවය.

එම පිරිස අතරින් 88 දෙනෙකු ම කුවේට් සිට ශ්‍රී ලංකාවට පැමිණ මින්නේරිය සහ ත්‍රිකුණාමලය නිරෝධායන මධ්‍යස්ථානවල නිරෝධායනය වෙමින් සිටි පුද්ගලයින් බවත් නිවේදනයේ දැක්වේ.

මේ අතර, "පිටරටවල සිට ශ්‍රී ලංකාවට පැමිණෙන පුද්ගලයින් අතර කොරෝනාවෛරසය ආසාදිත වූවන් සිටිය හැකි," බවත් "ඔවුන්ගෙන් තවත් අයෙකුට වෛරසය ව්‍යාප්ත විය හැකි," බවත් ශ්‍රී ලංකා වෛද්‍ය පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මාධ්‍ය හමුවකදී පැවසීය.

මෙම කරුණු අනාවරණය වීමත් සමග විදේශ කටයුතු පිළිබඳ ජනාධිපති අතිරේක ලේකම් අද්මිරාල් ජයනාත් කොළඹගේ පැවසුවේ, "විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් ශ්‍රී ලංකාවට රැගෙන ඒමේ ක්‍රමවේදය වෙනස් විය හැකි," බවය.

Coronavirus Sri Lanka
Coronavirus Sri Lanka

"තවත් 41000ක් ශ්‍රී ලංකාවට පැමිණීමේ බලාපොරොත්තුවෙන්"

පසුගිය සතියේ කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී සම කැබිනට් ප්‍රකාශක වෛද්‍ය රමේෂ් පතිරණ පැවසුවේ, මේ වන විට විදෙස් රටවල සිටි ශ්‍රී ලාංකිකයින් 4500ක පමණ පිරිසක් ශ්‍රී ලංකාවට රැගෙන විත් ඇති බවය.

"විදේශ කටයුතු අමාත්‍ය ගරු දිනේෂ් ගුණවර්ධන මැතිතුමා ශ්‍රී ලාංකිකයන් නැවත ශ්‍රී ලංකාවට ගෙන ඒම පිළිබඳව අමාත්‍ය මණ්ඩල සටහනක් ඉදිරිපත් කළා. ඒ යටතේ මෙරටට දැනට ශ්‍රී ලාංකිකයන් 4500ක් පමණ පිරිසක් ලංකාවට පැමිණ තිබෙනවා. දැනට ඊට අමතරව ශ්‍රී ලාංකාවට පැමිණීමට බලාපොරොත්තුවෙන් සිටින ශ්‍රී ලාංකිකයන් ප්‍රමාණය 41000ක් පමණ වනවා. එම 41000ක ප්‍රමාණය ක්‍රමානුකූලව ගෙන්වා ගැනීම සදහා ශ්‍රී ලංකා රජය කටයුතු කරනවා," යනුවෙන් අමාත්‍ය, වෛද්‍ය රමේෂ් පතිරණ පැවසීය.

මේ අනුව, අවස්ථා කිහිපයකදී ම විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් විශාල පිරිසක් ගුවන් යානා කිහිපයකින් ආපසු ශ්‍රී ලංකාවට රැගෙන එනු ලැබූහ.

මේ අතර, ජනතා විමුක්ති පෙරමුණ චෝදනා කරන්නේ, විදෙස් රටවල සිටින ශ්‍රී ලාංකිකයින් ආපසු ශ්‍රී ලංකාවට ගෙන ඒමේ ක්‍රියාවලිය වෙනස් කිරීම හරහා ඔවුන් අසරණ තත්ත්වයට පත්ව සිටින බවය.

"ඒ මිනිස්සු ගුවන් ටිකට් පත් අරගෙන ලෑස්ති වෙලා හිටිය. දැන් 25 වෙනිදාට පස්සෙ කියනව ගෙන්වන ක්‍රියාවලිය නතර කරනව කියල. දැන් ඒගොල්ලන්ට දින නියමයක් නෑ ටිකට් අරගෙන බලාගෙන ඉන්නව. රැකියාවත් නෑ ඉන්න තැනක් නෑ. කන්න බොන්නත් නෑ," යනුවෙන් මැයි 26 පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති පැවසීය.

කොරෝනා වසංගතය පැතිර යාමත් සමග තමන් යළි සිය රට ගෙන්වා ගන්නා මෙන් ලොව පුරා විවිධ රටවල වෙසෙන ශ්‍රී ලාංකිකයෝ ශ්‍රී ලංකා ආණ්ඩුවෙන් ඉල්ලීම් කළහ.

ඒ අනුව මුලින් ම චීනයේ වූහාන් නගරයේ විසූ ශ්‍රී ලාංකිකයින් 30 දෙනෙකු නැවත රැගෙන ඒම පිණිස ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යානයක් පිටත් කෙරුණු අතර, ඉන් අනතුරුව එක්සත් රාජධානිය, නේපාලය, කුවේටය, ඉන්දුනීසියාව ඇතුළු රටවල ගණනාවක වෙසෙන ශ්‍රී ලාංකිකයින් ගෙන්වා ගැනීම පිණිස ආණ්ඩුව කටයුතු සම්පාදනය කළේය.

කෙසේ වුවත් ඉක්මනින් සිය රට පැමිණීමේ බලාපොරොත්තුවෙන් තමන් සිර වී සිටින බව තවත් රටවල ගණනාවක වෙසෙන ශ්‍රී ලාංකිකයෝ බීබීසී සිංහල සේවයට පැවසූහ.