"කෝවිඩ් අවදානම වැඩියි, අපව ගෙන්වා ගන්න"- බෙලරුසියාවේ, මැද පෙරදිග, මාලදිවයිනේ ශ්‍රී ලාංකිකයෝ

කුවේටයේ සිට පැමිණි ශ්‍රී ලාංකිකයෝ
ඡායාරූප ශීර්ෂ වැකිය, කුවේටයේ සිට කටුනායකට පැමිණි ශ්‍රී ලාංකිකයෝ

කොරෝනා වසංගතය පැතිර යාමත් සමග තමන් යළි සිය රට ගෙන්වා ගන්නා මෙන් ලොව පුරා විවිධ රටවල වෙසෙන ශ්‍රී ලාංකිකයෝ ශ්‍රී ලංකා ආණ්ඩුවෙන් ඉල්ලීම් කළහ.

ඒ අනුව මුලින් ම චීනයේ වූහාන් නගරයේ විසූ ශ්‍රී ලාංකිකයින් 30 දෙනෙකු නැවත රැගෙන ඒම පිණිස ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යානයක් පිටත් කෙරුණු අතර, ඉන් අනතුරුව එක්සත් රාජධානිය, නේපාලය, කුවේටය, ඉන්දුනීසියාව ඇතුළු රටවල ගණනාවක වෙසෙන ශ්‍රී ලාංකිකයින් ගෙන්වා ගැනීම පිණිස ආණ්ඩුව කටයුතු සම්පාදනය කළේය.

කෙසේ වුවත් ඉක්මනින් සිය රට පැමිණීමේ බලාපොරොත්තුවෙන් තමන් සිර වී සිටින බව තවත් රටවල ගණනාවක වෙසෙන ශ්‍රී ලාංකිකයෝ බීබීසී සිංහල සේවයට පැවසූහ.

බෙලරුසියාව

බෙලරුසියාව පුරා කොරෝනාවෛරසය ශීඝ්‍රයෙන් පැතිර යමින් පවතින බව පවසන එහි අධ්‍යාපනය ලබන ශ්‍රී ලාංකික සිසු සිසුවියන්ගේ දෙමාපියෝ, හැකි ඉක්මනින් ඔවුන් යළි සියරට ගෙන්වා ගන්නා මෙන් ආණ්ඩුවෙන් ඉල්ලීමක් කරති.

තමන් පුද්ගලිකව ම සහ ලිඛිතවත් සිය ඉල්ලීම ආණ්ඩුව වෙත යොමු කර තිබෙන බව එම දෙමාපියෝ බීබීසී සිංහල සේවයට පැවසූහ.

ඉන්දුනීසියාවේ සිට පැමිණි ශ්‍රී ලාංකිකයින් පිරිසක්
ඡායාරූප ශීර්ෂ වැකිය, ඉන්දුනීසියාවේ සිට කටුනායක ගුවන් තොටුපොළට පැමිණි ශ්‍රී ලාංකිකයින් පිරිසක්

බෙලරුසියාවේ මේ වන විට 34,000 කට වැඩි පිරිසකට කෝවිඩ් 19 රෝගය ආසාදනය වී තිබෙන අතර, 300 ක් පමණ වන ශ්‍රී ලාංකික සිසුන්ගේ දෙමාපියන් පවසන්නේ එරට නිල වශයෙන් දිනකට මරණ පහක් පමණ වාර්තාවන බවය.

රෝගයේ බරපතළභාවය නොතකා කටයුතු කරන බවට ජනාධිපති අලෙක්සන්දර් ලූකෂෙන්කෝට චෝදනා එල්ල වී තිබෙන අතර, දෙමාපියන් පවසන්නේ සිසුන් සරසවි නොයන විට ගුරුවරුන් සිසුන්ගේ නේවාසිකාගාරවලට පවා පැමිණ දේශන පැවැත්වීම ඔවුන්ගේ ජීවිතවලට බරපතළ තර්ජනයක් බවය.

බීබීසී සිංහල සේවය සමඟ අදහස් දක්වමින් ජනාධිපති නීතිඥ නීල් උනම්බුවේ කියා සිටියේ, විතෙබ්ස්ක් වෛද්‍ය විද්‍යාලයේ ඉගෙනුම ලබන සිය දියණිය ඇතුළු දරුවන් පිරිස ඉක්මනින් ගෙන්වා දෙන මෙන් ඉල්ලා සිටිමින් විදේශ සබඳතා පිළිබඳ ජනාධිපති අතිරේක ලේකම්, අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ වෙත ලිපියක් යැවීමට සූදානම්ව සිටි නමුත්, එය යැවීමට ප්‍රථම ඔවුන් ගෙන්වා ගැනීම සඳහා ආණ්ඩුව කටයුතු සූදානම් කර ඇති බවය.

ඒ සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, ශ්‍රී ලංකා රජය සහ අද්මිරාල් කොළඹගේ වෙත හදපිරි ස්තුතිය පිරිනමන බවත් ජනාධිපති නීතිඥ නීල් උනම්බුවේ වැඩිදුරටත් පැවසීය.

කෙසේ වුවත්, බෙලරුසියාවේ වෙසෙන තවත් සිසුවියකගේ පියා බීබීසී සිංහල සේවය සමඟ කියා සිටියේ, සිසුන් පිරිස මැයි 15 වෙනි දින ගෙන්වා ගැනීමට මුලින් සැකසුම් සකස් කර තිබූ නමුත් පසුව එය මැයි 20 වෙනි දින සහ මැයි 28 දක්වා කල් දමන ලද බවය.

සිය දරුවන්ට ශ්‍රී ලංකාවේ සිට පවා අන්තර්ජාලය ඔස්සේ දිගට ම අධ්‍යාපන කටයුතු කළ හැකි වුවත්, ඔවුන් ගෙන්වා ගැනීම මෙසේ ප්‍රමාද කරනු ලබන්නේ එක්තරා ප්‍රභූවරයෙකුගේ දියණිය මැයි 28 වෙනි දින සිය විභාගයට පෙනී සිටීම හේතුවෙන් දැයි සැක සිතෙන බවත් සිය නම හෙළි නොකරන මෙන් ඉල්ලා සිටි එම පියා පැවසීය.

ජකාර්තා නුවර ගුවන් තොටුපළේ සිට ශ්‍රී ලාංකිකයින් රැගෙන පැමිණි ගරුඩා ගුවන් සේවයට අයත් විශේෂ ගුවන් යානය
ඡායාරූප ශීර්ෂ වැකිය, ජකාර්තා නුවර ගුවන් තොටුපළේ සිට ශ්‍රී ලාංකිකයින් රැගෙන පැමිණි ගරුඩා ගුවන් සේවයට අයත් විශේෂ ගුවන් යානය

මාලදිවයින: 'ඩොලර් 340 ක් ගන්නවා'

ශ්‍රී ලාංකිකයින් 11,000 ක් පමණ දැනට මාලදිවයිනේ විවිධ රැකියාවල නිරත වන අතර, රැකියා අහිමිවීම, ආදායම් අඩුවීම සහ වසංගත රෝගය වැළඳේවි යයි බියෙන් ඒ බොහෝ දෙනා යළි ශ්‍රී ලංකාව බලා යාමට බලාපොරොත්තුවෙන් සිටින බව මාලේ අගනුවර වෙසෙන ඇන්ටන් සරෝජ් පවසයි.

බීබීසී සිංහල සේවය සමඟ අදහස් දක්වමින් ඔහු කියා සිටියේ, ශ්‍රී ලන්කන් ගුවන් යානයක් එක්වරක් පැමිණ 290 කට ආසන්න පිරිසක් මෑතදී රැගෙන ගිය බවය.

මෙතරම් පිරිසක් යළි සිය රට රැගෙන යාම පිණිස ගුවන් යානා යෙදවීම අපහසු නම් නාවික හමුදාවේ නෞකා හෝ යොදවා තමන් රැගෙන යන මෙන් ශ්‍රී ලාංකිකයින් ඉල්ලා සිටින බවත් ඇන්ටන් සරෝජ් පැවසීය.

ඔහු පවසන්නේ නැවු මගින් ඉන්දියාවට යාම සඳහා ඉන්දීය බලධාරීන් සිය රටවැසියන්ගෙන් අමෙරිකානු ඩොලර් 45ක් වැනි මුදලක් අය කරද්දී, තමන්ගෙන් ඩොලර් 340 ක මුදලක් අයකිරීම ඉතා අසාධාරණ බවය.

මාලදිවයිනේ වෙසෙන ශ්‍රී ලාංකිකයින්ගේ වේදනාව සඳහන් කරමින් ෆේස්බුක් ඔස්සේ ද ආණ්ඩුව වෙත බැගෑපත් ඉල්ලීමක් කර තිබුණි.

Skip Facebook post, 1

මෙහි අන්තර්ගතය නැත

වැඩිදුරටත් Facebook බලන්නබාහිර වෙබ් අඩවිවල අන්තර්ගතයට බීබීසී වගකියනු නොලැබේ.

End of Facebook post, 1

මැද පෙරදිග

කටාරයේ සිට ශ්‍රී ලාංකිකයින් පිරිසක් යළි පැමිණිය ද මැද පෙරදිග සේවය කරන තවත් විශාල පිරිසක් තමන් ශ්‍රී ලංකාවට ගෙන්වා ගන්නා මෙන් ශ්‍රී ලංකා ආණ්ඩුවෙන් ඉල්ලීම් කරමින් සිටිති.

තෝරාගන්නා ලද පිරිසක් කැඳවාගෙන යාම පිණිස එක් ගුවන් යානයක් පමණක් ඩුබායි බලා පැමිණිය ද ශ්‍රී ලාංකිකයින් තවත් විශාල පිරිසක් සිය රට යාමේ බලාපොරොත්තුවෙන් රැඳි සිටින බව නම හෙළි නොකරන මෙන් ඉල්ලා සිටි ඩුබායිහි වෙසෙන ශ්‍රී ලාංකිකයෙක් බීබීසී සිංහල සේවයට පැවසීය.

මේ වන විට ඩුබායි කන්සියුලර් කාර්යාලයේ දොරටු වසා දමා තිබෙන අතර, සේවකයින් පිරිසකට කෝවිඩ් 19 වැළඳීම හේතුවෙන් අබුඩාබි තානාපති කාර්යාලය වසා දමා ඇති බවත් ඔහු සඳහන් කළේය.

ඔහු පවසන පරිදි රැකියා අහිමිවූවන්, රැකියාවල නිරත ස්වාමි පුරුෂයන් සමඟ වාසය කළ කාන්තාවන් සහ නිවාඩු කාලය වෙනුවෙන් ශ්‍රී ලංකාවට යාමට බලාපොරොත්තුව සිටි විශාල පිරිසක් ද ඒ අතර සිටිති.

රැකියාව අහිමිවීම හේතුවෙන් එයින් ඇතැමෙකුට තමන් වාසය කළ ස්ථානවලින් පවා ඉවත්වන මෙන් දැනුම් දී තිබේ.

Skip Facebook post, 2

මෙහි අන්තර්ගතය නැත

වැඩිදුරටත් Facebook බලන්නබාහිර වෙබ් අඩවිවල අන්තර්ගතයට බීබීසී වගකියනු නොලැබේ.

End of Facebook post, 2

විදේශ අමාත්‍යාංශය

විදේශවල වෙසෙන ශ්‍රී ලාංකිකයින් යළි සියරට ගෙන්වා ගැනීමේ ක්‍රියාදාමය සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලය දැනුවත් කරමින් විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන කියා සිටියේ, ශ්‍රී ලාංකිකයින් 4500 ක් මේ වනවිට එසේ ශ්‍රී ලංකාවට රැගෙනවිත් තිබෙන බවය.

තවත් ශ්‍රී ලාංකිකයින් 41,000 ක් ගෙන්වා ගැනීම පිණිස කටයුතු කරමින් සිටින බවත් ඇමතිවරයා එහිදී දැනුම් දුන්නේ යයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයක දැක්වේ.

ඉන්දුනීසියාව, රුසියාව, බංග්ලාදේශය කටාරය සහ බෙලරුසියාව යන රටවල වෙසෙන ශ්‍රී ලාංකිකයින් මැයි 21 සහ 28 දිනවල ගෙන්වා ගැනීමට කටයුතු කරන බවත් ඇමතිවරයා පැවසීය.

මැද පෙරදිග සහ මාලදිවයිනේ වෙසෙන ශ්‍රී ලාංකිකන් ගෙන්වා ගැනීම පිණිස ඉන් අනතුරුව කටයුතු කරන නමුත් ඒ සඳහා ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ගුවන් යානා යොදා ගැනීමේ සැලසුමක් නැත.

කියවන්න: