විදුර දේශප්‍රිය ශ්‍රී ලංකාවට ගෙන ඒම ගැන මැකො සභාපති මහින්ද දේශප්‍රියගේ කරුණු දැක්වීම

පුතා ශ්‍රී ලංකාවට ගෙන ඒම ගැන මහින්ද දේශප්‍රියගේ කරුණු දැක්වීම

ඡායාරූප මූලාශ්‍රය, Vidura Deshapriya/Facebook

නෙදර්ලන්තයේ ඉගෙනුම ලබමින් සිටි සිය පුත්‍රයා යළි මෙරටට ගෙන්වා ගැනීම සඳහා සිය නිල තත්ත්වය භාවිත කළ බවට ජාතික මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රියට මාධ්‍ය ඔස්සේ සහ සමාජ මාධ්‍ය ජාල ඔස්සේ චෝදනා එල්ල වෙමින් පවතී.

ශ්‍රී ලංකාවේ වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ වාරිමාර්ග ඉන්ජිනේරුවරයෙකු ලෙස සේවය කරන විදුර කාශ්‍යප දේශප්‍රිය නමැති ඔහුගේ පුත්‍රයා මාස 18ක පශ්චාත් උපාධි පාඨමාලාවක් හැදෑරීම සඳහා නෙදර්ලන්තයට ගොස් තිබේ.

මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය සඳහන් කර ඇති පරිදි සිය පුත්‍රයා "අප්‍රේල් 06 වන දා අලුයම් කාලයේදී ශ්‍රී ලංකන් ගුවන් යානයකින් මෙරටට ළඟා වී" තිබිණි.

ශ්‍රී ලංකාවට පැමිණීම සඳහා අවශ්‍ය පහසුකම් සලසන ලෙස ඉල්ලමින් විදුර කාශ්‍යප දේශප්‍රිය අග්‍රාමාත්‍ය ලේකම්වරයා, විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම්වරයා සහ ජනාධිපති කාර්යාලයේ අතිරේක ලේකම්වරයෙකු වෙත ලිපියක් යොමු කර තිබූ බව ද මාධ්‍ය වාර්තාවල සඳහන් විය.

එම ලිපිය භාරදීම සඳහා තමන් ඇතැම් නිලධාරීන් හමු වූ බව සහ ඒ සම්බන්ධයෙන් විවේචන එල්ල වූ විට තත්වය පැහැදිලි කිරීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඇමතූ බව සභාපතිවරයා පිළිගෙන තිබේ.

විශේෂයෙන්ම මැතිවරණයක් සඳහා දින නියම කර තිබෙන අවස්ථාවක, එය බරපතල බැඳියාවන් අතර ගැටුමකට තුඩු දෙන්නක් බව ඔහුට එල්ල වී තිබෙන චෝදනාවය.

මෙම චෝදනා සම්බන්ධයෙන් සිය නිල ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය එම සිද්ධියට "අදාළ කරුණු" සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් කර තිබේ. එහි ප්‍රධාන කරුණු 8ක් දැක්වේ.

Skip Facebook post, 1

මෙහි අන්තර්ගතය නැත

වැඩිදුරටත් Facebook බලන්නබාහිර වෙබ් අඩවිවල අන්තර්ගතයට බීබීසී වගකියනු නොලැබේ.

End of Facebook post, 1

  • සිය පුතා සහ මිතුරන් පැමිණියේ ඔවුන් සඳහාම විශේෂයෙන් යොදවන ලද යානයක නොවේ. මහා බ්‍රිතාන්‍යයේ සහ උතුරු ඇමෙරිකාවේ ශ්‍රී ලංකා ශිෂ්‍යයන් හා රාජ්‍ය නිලධාරීන් ද එංගලන්තයට පැමිණ එමගින් ගමන් පහසුකම් ලබා ගත හැකි සෙසු ශිෂ්‍ය/ නිලධාරීන්ට ද එමගින් අවස්ථාව ලබා ගත හැකිව තිබිණි.
  • අධ්‍යයන කටයුතු අවසන් වී දිවයිනට පැමිණීමට අපේක්ෂිත රාජ්‍ය නිලධාරීන් ලෙස ඔවුන් නෙදර්ලන්තයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ හා ලන්ඩන් නුවර ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ ද විදේශ කටයුතු අමාත්‍යාංශයේ ද ලියාපදිංචි වී තිබිණි.
  • ඔවුනට ලංකාවට පැමිණීම සඳහා පහසුකම් සලසා දෙන ලෙස ඉල්ලමින් තානාපති කාර්යාලය හරහා ද සෘජුව ද මේ පිළිබඳව කටයුතු කරන රාජ්‍ය නිලධාරීන් අමතා ඔවුන් විසින් ලිපි කිහිපයක්ම ඉදිරිපත් කරන ලදි.
  • "මේ සම්බන්ධයෙන් මාගේ මැදිහත්වීම වූයේ මාගේ දුරකතනයට ලද ලිපිවල මුද්‍රිත පිටපත්/මෘදු පිටපත් අදාළ පරිදි අග්‍රාමාත්‍ය ලේකම්, විදේශ කටයුතු ලේකම්, විදේශගත ශ්‍රී ලාංකිකයන් ආපසු ගෙන්වා ගැනීමේ මෙහෙයුම භාර ජනාධිපති අතිරේක ලේකම් යනාදී නිලධාරීන් වෙත යැවීම හා ඒවා ලද බව සනාථ කර ගැනීමයි. එමෙන් ම මොවුන් ගෙන්වා ගැනීමට අපහසුතා තිබේ ද යන්න ද මවිසින් විමසන ලදි. ඒ අතරතුර ලන්ඩන්හි දවසක් රැඳී සිටීමට සිදුවන්නේ නම් වීසා ලබා ගැනීමට අදාළ ගැටලුවක් පිළිබඳව හා විදුරගේ (මහින්ද දේශප්‍රියගේ පුතා) ඖෂධ අවශ්‍යතා ගැන නෙදර්ලන්ත තානාපතිවරයාට ද මම කතා කළෙමි."
  • "මැයි 05 දිනයේදී ⁣මා, ගරු ජනාධිපතිවරයාට මෙවැනි කතාවක් පැතිරෙන බව දන්වන තෙක් මාගේ පුත්‍රයා ආපසු ගෙන්වා ගැනීම ගැන මා කිසි විටෙක ගරු ජනාධිපතිවරයා සමග සාකච්ඡා කර නැති අතර එතුමා ද මේ ගැන විමසා නැත. එසේ වුව ද මා විසින් එතුමාගේ විශේෂ සහයක් ලබා ගෙන අපගේ පුත්‍රයා ගෙන්වා ගන්නා බවට 04 දා සිට කතාවක් පැතිරෙන බව එතුමාට ඊයේ මැයි 05 දැන්වීමි. මාගේ පුත්‍රයා ගෙන්වා ගැනීම සඳහා සහය ලබාදෙන ලෙස එතුමාට මා ඉල්ලීමක් නොකළ හෙයින් එතුමා කිසිවෙකුට ඔහු ගෙන්වා ගැනීම ගැන ⁣කතා නොකළ බව ද මාගේ විමසුමට පිළිතුරු ලෙස එම සාකච්ඡාවේදී එතුමා දැන්වීය."
  • "එබැවින් මාගේ නිල තත්ත්වය භාවිත කර මාගේ පුත්‍රයා වූ විදුර ⁣දේශප්‍රිය ගෙන්වා ගැනීමට මා කිසිදු අයුතු බලපෑමක් කර නැත."
  • "මේ ගැන මා සමග කතා කළ මේ සටහන ලියන මිතුරාගෙන්, මා විමසූයේ මාගේ පුත්‍රයා වීම නිසා ඔහුට ලංකාවට පැමිණීමට අවස්ථාව ලබා නොගත යුතු ද යන්න හා මා මැකොස සභාපති නිසා, මාගේ පුත්‍රයාගේ ලිපි අදාළ නිලධාරීන්ට පෞද්ගලික මට්ටමින් යැවීමෙන් මා වරදක් කර තිබේ ද යන්නයි. ⁣අදාළ ලිපි ඒ නිලධාරීන්ට යැවීම අයෝග්‍ය බව හා එය ළබැඳියාවන් අතර ගැටුමක් බව ඔහුගේ මතයයි. ඔහුට ඒ මතය දැරීමට හා එය ප්‍රසිද්ධ කිරීමට ඇති අයිතියට ගරු කරමි."
  • "මා මේ නිලධාරීන් වෙතින් කිසිදු විශේෂ උදව්වක් ඉල්ලා නැති හෙයින් හා මාගේ පුත්‍රයාට ද සෙසු රාජ්‍ය නිලධාරීන්ට මෙන් ම පාඨමාලා අවසන් වූ පසු දිවයිනට පැමිණීමට අයිතිය ඇති බැවින් මා වරදක් කර නැති බව මම විශ්වාස කරමි. මාගේ දරුවන් හෝ බිරිඳ කිසිවිටෙක මාගේ නිල තත්ත්වය, ඔවුන් හඳුන්වා දීමට හෝ භාවිත නොකරන බව හෝ දරුවන් පාසැල්වලට ඇතුළත් කිරීම සදහා හෝ භාවිත කර නැති අප ගැන දන්නා සැවොම දනිති."

සමාජ ජාල භාවිත කරන්නන්ගේ ප්‍රතිචාර

මේ සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ බොහෝ ප්‍රතිචාර පළවෙමින් තිබේ.

"පියෙක් හැටියට සානුකම්පිත හැඟීමකින් මේ අවස්ථාවේ මා වරදක් දකින්නේ නෑ. නමුත් මීට වඩා කල්පනා කාරී විය යුතුයි," යනුවෙන් සිරිමත් රාමනායක ෆේස්බුක්හි සටහනක් තබා තිබිණි.

මේ අතර, ඇතැමෙකු අදහස් දක්වා තිබුණේ, "මැකො සභාපති ධූරයෙන් මහින්ද දේශප්‍රිය ඉවත් කිරීමට දැවැන්ත මඩ මෙහෙයුමක් දියත් කෙරේ" යනුවෙනි.

Skip Facebook post, 3

මෙහි අන්තර්ගතය නැත

වැඩිදුරටත් Facebook බලන්නබාහිර වෙබ් අඩවිවල අන්තර්ගතයට බීබීසී වගකියනු නොලැබේ.

End of Facebook post, 3

"සැමට ආයුබෝවන්"?

සිය ෆේස්බුක් සටහනෙහි "මා සැමවිට ම ප්‍රකාශ කරන පරිදි අපි අධිකරණය, විගණනය හා හෘදය සාක්ෂිය ඉදිරියේ වරදකරුවෙකු නොවන සේ ක්‍රියා කළ යුතු වෙමු. මාගේ මෙම කාර්යය ඒ කිසිදු අයුරකින් වරදක් නොවේ යයි මම සිතමි," යනුවෙන් මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය සදහන් කර තිබිණි.

අවසන් වශයෙන් ඔහු සඳහන් කර ඇත්තේ, "අපගේ පුත්‍රයා විසින් එවන ලද පෙර කී ලිපි නිලධාරීන් වෙත ඉදිරිපත් කිරීමෙන් හා ඒ ගැන ඔවුන් විමසීමෙන් කර ඇත්තේ, මැකොස සභාපති ලෙස මා නොකළ යුත්තක් නම් ඔබ සැමට ආයුබෝවන් යනුවෙන් පවසා දැන් මැතිවරණ මෙහෙයුම් රාජකාරිවලින් පසෙකට වීම හැර වෙනත් විකල්පයක් නැතැයි හඟිමි," යනුවෙනි.

මහාචාර්ය හූල් ගේ ප්‍රතිචාරය

මතු වී තිබෙන තත්වය පිළිබඳව විමසීමක් කළ අවස්ථාවේ මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජික මහාචාර්ය රත්නජීවන් හූල් බීබීසී සිංහල සේවය සමඟ කියා සිටියේ, සිය පුතා භාවිත කරන ඖෂධ නිමාවීම ගැන කොමිසමේ සභාපතිවරයා සති තුනක පමණ කාලයක් දැඩි කනස්සල්ලෙන් පසු වූයේය යන්න තමන් දැන සිටි බවය.

පියෙකු වශයෙන් සභාපතිවරයා මුහුණ දී සිටි චිත්ත පීඩාව තමන්ට වැටහෙන බවත් ඔහු පැවසීය.

"ඒ නිසා මම බොහොම සතුටු වෙනවා ඔහුගේ පුතා ආපසු පැමිණීම ගැන," මහාචාර්ය රත්නජීවන් හූල් වැඩිදුරටත් සඳහන් කළේය.

කියවන්න: