පීබී ජයසුන්දරගේ 'පෞද්ගලික' ඉල්ලීම: "මේක ආණ්ඩුවේ වැඩක්" සහ සේවක ප්‍රතිචාර

ජනාධිපති ලේකම් ආචාර්ය පී බී ජයසුන්දර

ඡායාරූප මූලාශ්‍රය, PMD

ඡායාරූප ශීර්ෂ වැකිය, ජනාධිපති ලේකම් ආචාර්ය පී බී ජයසුන්දර

"මැයි මාසයේ වැටුප හෝ ඉන් කොටසක් කැප කරන" ලෙස ඉල්ලා ජනාධිපති ලේකම් ආචාර්ය පී බී ජයසුන්දර විසින් "පෞද්ගලික ආයාචනයක්" ලෙස මැයි මස 5 වන දා නිකුත් කළ ලිපිය සම්බන්ධයෙන් බොහෝ පාර්ශවවලින් විරෝධය එල්ල වී තිබේ.

මෙම විරෝධතා එල්ල වීමත් සමග විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් කැබිනට් සම ප්‍රකාශක බන්දුල ගුණවර්ධන ප්‍රකාශ කළේ, එම ලිපිය "ජනාධිපති ලේකම්වරයාගේ පෞද්ගලික ආයාචනයක් පමණක් වන" බවය.

එහිදී කැබිනට් සම ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන පැවසුවේ, "මේක රජයේ නිවේදනයක් නෙවෙයි. රජයේ ප්‍රවෘත්තියක් නෙවෙයි. එතුමා මේ වෙසක් සතියේ බොහොම සද්භාවයෙන් රටේ ජනතාවට තිබෙන ඇත්ත තත්ත්වය පෙන්වල හැකියාවක් තියෙනවා නම් ලබන්නා වූ මාසේ මැයි මාසේ මුළු වැටුප ම හරි වැටුපෙන් කොටසක් හරි සතියක වැටුප හරි දිනක වැටුප හරි වැන්දඹු සහ අනත්දරු අරමුදලට පරිත්‍යාග කරන ලෙස ඉල්ලීමක් කරල තියෙනව. ඔහු ඔහුගෙ ක්‍රියාවෙන් ආදර්ශයක් දීල තියෙනවා," යනුවෙනි.

"රාජ්‍ය බලය පෞද්ගලිකව පාවිච්චි කිරීමක්"

කෙසේ වෙතත්, කෝප් කමිටුවේ හිටපු සභාපති සුනිල් හඳුන්නෙත්ති පවසා තිබුණේ, එම ලිපිය "පෞද්ගලික ආයාචනයක් ලෙස පිළිගත නොහැකි" බවය.

"මේක පෞද්ගලික ආයාචනයක් නම් කොහොම ද ජනාධිපති කාර්යාලයේ ලිපි ශීර්ෂයක් භාවිත කරන්නේ කියන ප්‍රශ්නය තියෙනවා. ඒ වගේ ම අග්‍රාමාත්‍ය ලේකම් ඇතුළු රාජ්‍ය යාන්ත්‍රණය ආමන්ත්‍රණය කරලා තමයි මේක ලියල තියෙන්නේ. රාජ්‍ය යාන්ත්‍රණයට පෞද්ගලික ආයාචනයක් කරන්න ජනාධිපති ලේකම්වරයාට පුළුවන් ද? ඊළග ප්‍රශ්නය තමයි ඒ ලිපියේ පිටපත් යවලා තියෙනවා නීතිපතිවරයාට සහ විගණකාධිපතිවරයාට. පෞද්ගලික ආයාචනයක් කළොත් අපි ඒවා නීතිපතිවරයාට යවන්නේ නෑනෙ," හිටපු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති පැහැදිලි කළේය.

ඔහු පවසන්නේ, මෙය "රාජ්‍ය බලය පෞද්ගලිකව පාවිච්චි කිරීමක්" බවය.

"ඉතා පැහැදිලි ලෙස ම මෙය රාජ්‍ය බලය පෞද්ගලිකව පාවිච්චි කිරීමක්. ඉතා බරපතළ ලෙස රටක් හැටියට ම ප්‍රතික්ෂේප කරන්න ඕන ලියවිල්ලක්. රාජ්‍ය බලය ඕනෑ ම විදිහකට පාවිච්චි කරන්න පුළුවන් බව ඔප්පු කරල තියෙනවා."

Skip Facebook post, 1

මෙහි අන්තර්ගතය නැත

වැඩිදුරටත් Facebook බලන්නබාහිර වෙබ් අඩවිවල අන්තර්ගතයට බීබීසී වගකියනු නොලැබේ.

End of Facebook post, 1

සමාජ මාධ්‍යවල පළවූ අදහස්

මේ සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ විශාල පිරිසක් අදහස් දක්වා තිබිණි. එම අදහස් කිහිපයක් පහත පළවේ.

Skip Facebook post, 2

මෙහි අන්තර්ගතය නැත

වැඩිදුරටත් Facebook බලන්නබාහිර වෙබ් අඩවිවල අන්තර්ගතයට බීබීසී වගකියනු නොලැබේ.

End of Facebook post, 2

පීබී ජයසුන්දරගේ ඉල්ලීම

ඡායාරූප මූලාශ්‍රය, Facebook

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරියක වන ආචාර්ය සුනන්දා ප්‍රේමසිරි සිය ෆේස්බුක් පිටුවේ සටහනක් තබමින් පවසා තිබුණේ, "දැන් ඔය මාසෙ ම හරි ඉන් අඩක් හරි වැටුප දුප්පත් රාජ්‍ය සේවකයා දුන්න ම කියමුකො, නොවැටහෙන නිසා මේ අහන්නෙ, ඒ එකතු වෙන මුදල් ආයෝජනයක් වෙන්නෙ කොතන ද, කොහොම ද? රාජ්‍ය සේවකයා එය නිරවුල්ව දැනගත යුතු නොවන්නේ ද?" යනුවෙනි.

Skip Facebook post, 3

මෙහි අන්තර්ගතය නැත

වැඩිදුරටත් Facebook බලන්නබාහිර වෙබ් අඩවිවල අන්තර්ගතයට බීබීසී වගකියනු නොලැබේ.

End of Facebook post, 3

බීබීසී සිංහල සේවය සමග අදහස් දක්වමින් ඇය පැවසුවේ, "රජයට පරිත්‍යාග කරන මුදල් නිසි ආකාරයට භාවිත කරන්නේ ද යන්න පිළිබදව විශ්වාසයක් නොමැති බවත්, තමන් කිසිදු මුදලක් පරිත්‍යාග නොකරන බව,"ය.

තමන් ඇතුළු විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ස්වේච්ඡාවෙන් දැනටමත් සහන සැලසීමේ සේවාවලට ආයතනික වශයෙන් දායකත්වය ලබා දෙන බව ද ඇය පැවසීය.

"මේක ආණ්ඩුවේ වැඩක්"

මේ සම්බන්ධයෙන් බීබීසී සිංහල සේවය සමග අදහස් දැක්වූ ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසෆ් ස්ටාලින් පැවසුවේ, "ජනාධිපති ලේකම්වරයාගේ ඉල්ලීම කිසිසේත් පිළිනොගන්නා" බවය.

"මේක සම්පූර්ණයෙන් ම අපි දකින්නේ ආණ්ඩුවේ ක්‍රියාමාර්ගයක් හැටියට. මොක ද අපි මෙහෙම කියන්නේ ජනාධිපති ලේකම්තුමාගේ ප්‍රකාශනය ප්‍රවර්ධනය කරමින්, ඒකට උඩගෙඩි දෙමින්, ඒකට ආවඩමින් ආණ්ඩුවේ ඇමතිවරු ඒ වගේ ම මන්ත්‍රීවරු දිගින් දිගට ම මේක සාධාරණීකරණය කිරීම තුළ පැහැදිලියි මේක ආණ්ඩුවේ උවමනාව කියල. අපි මේ ඉල්ලීම කිසිසේත් පිළිගන්නේ නැහැ," ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම්වරයා පැවසීය.

"අද වෙනකොට අපි දන්නව පළාත් ප්‍රධාන ලේකම්වරුන්ට දැනුවත් කරල තියෙනවා මේ ඉල්ලීම කරන්න කියල රාජ්‍ය සේවකයින්ගෙන්. මේක බරපතළ ගැටලුවක්. මේ ඉල්ලීමක් වුණාට මේක සම්පූර්ණයෙන් ම බලහත්කාරය පෑමක් වෙනව. අපි කියන්නේ, මේ බලහත්කාරය සහ ඉල්ලීම නවත්වන්න ඕන කියල," ජෝසෆ් ස්ටාලින් සඳහන් කළේය.

මේ අතර, ලංකා ගුරු සංගමය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ, "නැගෙනහිර පළාත් සියලු රාජ්‍ය සේවකයින්ගේ දිනක වැටුප බලහත්කාරයෙන් කපා ගැනීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වන" බවය.

මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී නැගෙනහිර පළාත් ප්‍රධාන ලේකම් තුසිත පී වනිගසිංහ බීබීසී සිංහල සේවය සමඟ කියා සිටියේ, දිනක වැටුප ලබා දෙන ලෙස ඉල්ලීමක් පමණක් කළ බවය.

"අපි තීරණය කළා නැගෙනහිර පළාත් සභාවෙ අප්‍රේල් මාසෙ වැටුපෙන් දිනයක මුදල දෙන්න. අපි කැමැත්තෙන් ම රාජ්‍ය නිලධාරීන් තීරණය කළා. අමාත්‍යංශයේ තීරණයකුත් තියෙනවා එක වැටුපක ඉල්ලීමක් ඉතින්. පුළුවන් අයට දෙන්න පුළුවන්. බැරි කෙනෙක් නිකං ඉන්න පුළුවන්," නැගෙනහිර පළාත් ප්‍රධාන ලේකම් තුසිත පී වනිගසිංහ ප්‍රකාශ කළේය.

'බඳ පටි තද කරගන්න කියනවා'

ලංකා ගුරු සේවා සංගමයේ ලේකම් මහින්ද ජයසිංහ ද පැවසුවේ, පීබී ජයසුන්දරගේ ලිපිය වහා ඉවත් කළ යුතු බවය.

"අපේ රටේ බලධාරීන් පඩි දෙක තුනක් තමන්ගේ සුඛ විහරණය උදෙසා උපයෝගී කරගෙන රාජ්‍ය සේවකයින්ටත් රටේ ජනතාවටත් කියනව කරුණාකරල බඳ පටි තද කරගන්න කියල"

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, "අපේ රටේ බලධාරීන් පඩි දෙක තුනක් තමන්ගේ සුඛ විහරණය උදෙසා උපයෝගී කරගෙන රාජ්‍ය සේවකයින්ටත් රටේ ජනතාවටත් කියනව කරුණාකරල බඳ පටි තද කරගන්න කියල" - සජිත් ප්‍රේමදාස

මේ අතර, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ විධායක කමිටු සාමාජික වෛද්‍ය නවීන් ද සොයිසා මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ප්‍රකාශ කළේ, අඟහරුවාදා (මැයි 12) පස්වරුවේ මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා විධායක කමිටු රැස්වීමක් පැවති බවය.

ඒ සම්බන්ධයෙන් තීන්දුවක් ගැනීම සඳහා සංගමයේ මධ්‍යම කාරක සභාවට යොමු කිරීමට තීරණය කළ බව ඔහු ප්‍රකාශ කළේය.

මේ අතර, හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ද අගහරුවාදා (මැයි 12) පැවති මාධ්‍ය හමුවකදී මේ පිළිබඳව අදහස් දැක්වීය.

"අනෙක් රටවල රැකියාව අහිමි වෙච්ච සියලු ම දෙනාට වැටුප් ලබා දෙන්නට ඒ රටවල් කටයුතු කරනවා. අද අපේ රටේ බලධාරීන් පඩි දෙක තුනක් තමන්ගේ සුඛ විහරණය උදෙසා උපයෝගී කරගෙන රාජ්‍ය සේවකයින්ටත් රටේ ජනතාවටත් කියනව කරුණාකරල බඳ පටි තද කරගන්න කියල. තමන්ට ලැබෙන වැටුප පරිත්‍යාග කරන්න කියනවා," සජිත් ප්‍රේමදාස පැවසීය.

කියවන්න: