'ව්‍යවස්ථා අර්බුදය': ශ්‍රී ලංකාවේ ජනාධිපතිට මුදල් වියදම් කිරීමට දැන් බලයක් තිබේ ද?

President Gotabhaya Rajapaksa

ඡායාරූප මූලාශ්‍රය, Gotabhaya Rajapaksa/FB

COVID-19 තත්වය ශ්‍රී ලංකාවේ සමාජ ආර්ථික ක්‍රියාවලියට මෙන්ම දේශපාලන ක්ෂේත්‍රයට ද බලපෑම් එල්ල කර තිබේ. ජුනි 20 වැනිදා පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීම සඳහා දින නියම කර තිබුණ ද රටේ පවත්නා තත්වය මත එදිනට ඡන්ද විමසීම සිදුකළ හැකිද යන්න තවමත් අවිනිශ්චිත බව පෙනෙන්නට තිබේ.

ඒ අතර කරලියට ආ කතිකාවක් වී තිබෙන්නේ අප්‍රේල් මස අවසානයෙන් පසු රජයේ මුදල් වියදම් කිරීමේ බලයක් ජනාධිපතිවරයාට තිබේද යන්නයි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව රාජ්‍ය මූල්‍ය පිළිබඳ බලය හිමිවන්නේ පාර්ලිමේන්තුවටය. ඒ අනුව මුදල් අනුමත කිරීම පාර්ලිමේන්තුව විසින් සිදු කරනු ලැබේ. එම මූල්‍ය බලය පිළිබඳව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ XVII පරිච්ඡේදයේ සඳහන් වේ.

එකම වගන්තිය සාක්ෂි ලෙස පෙන්වීම

ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැර තිබෙන අවස්ථාවක, මුදල් වියදම් කිරීමට බලතල ලැබෙන ආකාරය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 150 (03) ව්‍යවස්ථාව යටතේ විග්‍රහ කෙරේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 150 [03] ව්‍යවස්ථාව

එම වගන්තිය උපුටා දක්වමින් එක්සත් ජාතික පක්ෂය ඇතුළු විපක්ෂයේ දේශපාලනඥයන් පෙන්වා දෙන්නේ අප්‍රේල් මාසය අවසානයෙන් පසු රජයේ මුදල් වියදම් කිරීමේ බලයක් ජනාධිපතිවරයාට නොමැති බවය. රටේ පවතින වාතාවරණය තුළ අභිනව පාර්ලිමේන්තුව ජුනි 02 වැනිදාට ප්‍රථම රැස්වීමේ හැකියාවක් ද නොමැතිවූ නිසා ව්‍යවස්ථාමය ගැටලුවක් මතුවන බව ද ඔවුහු පවසති.

එහෙත් එම වගන්තියම උපුටා දක්වමින් ආණ්ඩු පක්ෂය තර්ක කරන්නේ විපක්ෂය සඳහන් කරන පරිදි ජනාධිපතිවරයාට මුදල් වියදම් කිරීමේ ගැටලුවක් හෝ ව්‍යවස්ථාමය අර්බුදයක් පැන නොනගින බවය.

සමාජ කතිකාවට හේතු වී ඇති මෙම ගැටලුව ශ්‍රේෂ්ඨාධිකරණය හරහා විසඳා ගත යුතු බවට ද යෝජනා ඉදිරිපත් වී ඇත.

පාර්ලිමේන්තුව යළි කැඳවන ලෙස කළ ඉල්ලීම

මේ අතර අප්‍රේල් 27 වෙනි දින ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත ඒකාබද්ධ ලිපියක් යවන එක්සත් ජාතික පක්ෂය ඇතුළු විරුද්ධ පක්ෂ කිහිපයක නායකයෝ, කොරෝනා වෛරසය පැතිර යාම හමුවේ උද්ගතව ඇති තත්ත්වය සලකා බලා පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට මාර්තු දෙවෙනිදා දුන් නියෝගය ආපසු කැඳවන ලෙස ඉල්ලීමක් කරති.

පාර්ලිමේන්තුව විසිරුවා හැරීමේ නියෝගය ආපසු කැඳවීමට නොහැකි නම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ බලතල ප්‍රකාරව විසිරුවා හැර ඇති පාර්ලිමේන්තුව යළි කැඳවීමට පියවර ගන්නා ලෙසත් රනිල් වික්‍රමසිංහ, ආර් සම්බන්ධන්, සජිත් ප්‍රේමදාස, පාඨලී චම්පික රණවක, මනෝ ගනේෂන්, රිෂාඩ් බදුයුදීන් සහ රාවුෆ් හකීම්ගේ අත්සනින් ජනාධිපතිවරයා යොමු කළ ලිපියේ දැක්වේ.

'පාර්ලිමේන්තුවේ අනුමැතියකින් තොරව මුදල් භාවිතය'

රටේ දැන් පවතින තත්වය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය වන බරපතල තත්වයක් බවත්, ව්‍යවස්ථා අර්බුදය වළක්වා ගැනීමට සියලු පක්ෂ නායකයෝ සාකච්ඡා මාර්ගයෙන් සම්මුතියෙන් ක්‍රියා කළ යුතු බවත් එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ අජිත් පී පෙරේරා බීබීසී සිංහල සේවයට කියා සිටියේය.

"පාර්ලිමේන්තුව සම්මත කරලා තියෙන මුදල් ප්‍රමාණවත් වෙන්නේ අප්‍රියල් මාසය අවසානය තෙක් පමණයි. මැතිවරණයකට ඉදිරි දිනයක් නියම කරලා තියෙන මොහොතක විශේෂ අවසරයක් තියෙනවා ජනාධිපතිවරයාට රජයේ මුදල් භාවිත කිරීම සඳහා සුදුසු නියෝගයක් ලබා දෙන්න. හැබැයි එහෙම කරන්න පුළුවන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 150-03 ව්‍යවස්ථාව ප්‍රකාරව අභිනව පාර්ලිමේන්තුව රැස්වන ඉදිරි දිනයක් නියම කොට ඇති අවස්ථාවක පමණයි,"නීතිඥ අජිත් පී පෙරේරා පැවසීය.

"දැන් ජුනි 20 ඡන්දය පවත්වන්න දින නියම කළාට අභිනව පාර්ලිමේන්තුව රැස් වන දිනයක් නියම කරලා නෑ ජනාධිපති. ඒ වගේම ජුනි 20 ඡන්දය තියන්න පුළුවන්ද කියලා විශ්වාසයකුත් නෑ.මෙවැනි තත්වයක් යටතේ රාජ්‍ය මුදල් පාර්ලිමේන්තුවේ අවසරයක් නැතුව රජයේ කටයුතු වලට භාවිත කරන්න බෑ.'' යනුවෙන් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

'හිරේ යන්න සුදානම්'

සිකුරාදා (මැයි 01) සිට මුදල් භාවිතයට ජනාධිපතිවරයාට බලයක් නොමැති බවට දීර්ඝ ලෙස කරුණු දක්වමින් හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර ද ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කර තිබිණ.

Skip Facebook post

මෙහි අන්තර්ගතය නැත

වැඩිදුරටත් Facebook බලන්නබාහිර වෙබ් අඩවිවල අන්තර්ගතයට බීබීසී වගකියනු නොලැබේ.

End of Facebook post

මෙම ගැටලුව අප්‍රියල් 30 වැනිදා පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී සම කැබිනට් ප්‍රකාශක ආචාර්ය බන්දුල ගුණවර්ධන වෙත යොමු කෙරිණි.

''මම දැක්කා හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර ප්‍රකාශ කරලා තියෙනවා අපිට දඬුවම් විඳින්න වෙයි, බන්ධනාගාර ගත වෙන්න වෙයි කියල. රට වෙනුවෙන් කොරෝනා මර්ධනය වලක්වල, මේ රටේ මනුෂ්‍ය ජීවිත බේරාගෙන ජනාධිපතිතුමාත්, කැබිනට් මණ්ඩලයේ අපි සියලු දෙනාත් ජනතාවගේ සුබ සිද්ධිය වෙනුවෙන් කැපවෙලා හිරේ යන්න සූදානම් බව අපි එතුමාට මුලින්ම කියන්න ඕන," අමාත්‍ය බන්ධුල ගුණවර්ධන පැවසීය.

"ජනාධිපතිතුමා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ කිසිම වගන්තියක් උල්ලංඝනය කරලා නෑ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 150 වගන්තියේ තුන්වෙනි වගන්තිය කියවන්න. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව රටේ මූලික නීතිය. ඒක කියවන්න බැරිනම්, මූලික නීතිය දන්නේ නැතුව ඇමතිකම් කරලා අන්තර් ජාතික ප්‍රජාවට ගිහිල්ලා රණවිරුවෝ දඬුකඳේ ගහන්න කියනවා නම් එහෙම අය කියන ඒවාට අපි උත්තර සපයන්න ඕනද?" අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

අමාත්‍ය බන්ධුල ගුණවර්ධන

ඡායාරූප මූලාශ්‍රය, BANDULAGUNAWARDENA/FACEBOOK

රට පත්ව ඇති අවධානම සැලකිල්ලට ගෙන පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු පක්ෂ වල සහාය ලබා ගෙන 2020.04.30 න් පසුව රාජ්‍ය සේවාවට වැටුප් ගෙවීම ඇතුළු අත්‍යාවශ්‍ය වියදම් අනුමත කරවාගැනීමට වහා පාර්ලිමේන්තුව යළි රැස් කරන ලෙසත් එසේ නොවන්නේ නම් නීතියෙන් ලැබිය හැකි දඬුවම් ගැනත් හිටපු අමාත්‍ය මංගල සමරවීර විසින් ජනාධිපතිවරයා වෙත යැවූ ලිපියේ දක්වා තිබුණි.

මංගලට ජනපතිගෙන් පිළිතුරු

කෙසේ වෙතත් පැවති පාර්ලිමේන්තුව යළි කැඳවීමේ අවශ්‍යතාවයක් නොමැති බව ජනාධිපතිවරයා මීට ඉහතදී කිහිපවරක්ම සඳහන් කර තිබේ.

මේ අතර මංගල සමරවීර හිටපු අමාත්‍යවරයා වෙත පිළිතුරු ලිපියක් යවමින් ජනාධිපති ලේකම් පී බී ජයසුන්දර පවසන්නේ "පාර්ලිමේන්තුව විසුරුවන අවස්ථාවක විසර්ජන පනතක් සම්මත වී නැත්නම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 150(3) යටතේ ජනාධිපතිවරයාට අතුරු සම්මත ගිණුමක් මගින් අලුත් පාර්ලිමේන්තුවක් රැස්වී මාස තුනක කාලයක් සඳහා වියදම් කිරීමේ බලය පැවරී ඇති," බවය. වැඩිදුර විස්තර විමසීම පිණිස ජනාධිපති ලේකම්වරයා ඇමතීමට බීබීසී සිංහල සේවය දැරූ උත්සාහය සාර්ථක නොවීය.

මේ පිළිබඳව අදහස් දැක්වූ ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති බීබීසී සිංහල සේවයට මෙසේ කියා සිටියේය.

"මුදල් වියදම් කිරීම ගැන ගැටලුවක් තියෙනවා නම් ඒක දේශපාලන ගැටලුවක් නොවේ. ඒක ව්‍යවස්ථාවේ අර්ථ නිරූපනය පිළිබඳ ගැටලුවක්. එතකොට තියෙන්නේ ඒක ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අහන එකනේ. ව්‍යවස්ථාව සම්භන්ධයෙන් ඕනෑම ගැටලුවක් විසඳන්න පුළුවන් ශ්‍රේෂ්ඨාධිකරණයට."

මේ අතර මතු වී තිබෙන තත්වය පිළිබඳව සාකච්ඡා කිරීම පිණිස අගමැති මහින්ද රාජපක්ෂ විසින් ලබන සඳුදා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සියලු දෙනාගේ රැස්වීමක් කැඳවනු ලැබ තිබේ.