කොරෝනා වෛරසය: ආර්ථික අභියෝගය ගැන ශ්‍රී ලංකා මහ බැංකුවේ තක්සේරුව

ඡායාරූප මූලාශ්‍රය, News.lk
COVID -19 රෝගයේ ව්‍යාප්තිය ශ්‍රී ලංකාව තුළ වැඩි වීමට හේතු වූ ප්‍රධාන කරුණු තුනක් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අප්‍රේල් 28 වෙනිදා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ වෙත භාර දුන් 2019 වාර්ෂික වාර්තාවට ඇතුළත් කර තිබේ.
එහි දැක්වෙන්නේ COVID -19 වෛරසය පිළිබඳව සිදු කළ දැනුවත් කිරීම් මගින් මාර්තු මාසයේ මුල් කාලපරිච්ඡේදය වනතෙක් එහි ව්‍යාප්තිය වළක්වා ගැනීමට හැකි වුවද "සංචාරකයින්ගේ අඛණ්ඩ පැමිණීම, වෛරසය ව්‍යාප්ත වී ඇති රටවලින් ශ්‍රී ලාංකිකයන් පැමිණීම සහ මාර්තු මැද සිට පනවන ලද ක්‍රියාමාර්ග අනුගමනය කිරීමේදී පැවති දුර්වලතාවයනුත් නිසා වෛරසයේ ව්‍යාප්තිය තවදුරටත් වැඩි වූ," බවය.
එසේ වුවද රට තුළ පොලිස් ඇඳිරි නීතිය පැනවීම මගින් මිනිස් ක්‍රියාකාරකම් සීමා කිරීම, 2020 මාර්තු 19 සිට ගුවන් තොටුපොළවල් වසා දැමීම සහ විදේශයවල සිට පැමිණෙන්නන් නිරෝධායනයට ගත් ක්‍රියාමාර්ග තුළින් වෛරසයේ ව්‍යාප්තිය බොහෝ දුරට පාලනය කිරීමට උපකාරී වූ බව එම වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වේ.
වෛරසයේ ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා අනුගමනය කරන ක්‍රියාමාර්ග එහි පැතිරීම මැඩපැවැත්වීමට උපකාරී වුවද එමගින් දේශීය ආර්ථික ක්‍රියාකාරකම් කෙරෙහි සැළකිය යුතු නිශේධනීය බලපෑමක් ඇතිකර තිබෙන බව ශ්‍රී ලංකා මහ බැංකුව පෙන්වා දෙයි.
ශ්‍රී ලංකා මහ බැංකුව 2019 වාර්ෂික වාර්තාව සකස් කිරීමේදී "කෝවිඩ්-19 සහ ශ්‍රී ලංකාව: අභියෝග, ප්‍රතිපත්ති, ක්‍රියාමාර්ග සහ ඉදිරි දැක්ම" යන සිරස්තලය යටතේ මෙවර විශේෂ සටහනක් ඇතුළත් කර ඇත.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
එමගින් පෙන්වා දී තිබෙන්නේ වෛරසය ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා ශ්‍රී ලංකාව මේවන විට අනුගමනය කළ මුල් ක්‍රියාමාර්ගවල ප්‍රතිඵලයක් ලෙස යම් සාර්ථකත්වයක් ලබා සිටින අතර, එම ක්‍රියාමාර්ගයන් තුළින් දේශීය ආර්ථික කටයුතුවලට වන පසුබෑම සහ ගෝලීය ආර්ථිකයේ මන්දගාමී වීම තුළින් ඇතිවිය හැකි බලපෑම නිසා ශ්‍රී ලංකා ආර්ථිකයට සැළකිය යුතු බලපෑමක් එල්ල වන බව ය.
ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව නිකුත් කරනු ලැබූ දළ දේශීය නිෂ්පාදනයේ තාවකාලික ඇස්තමේන්තුවලට අනුව, ශ්‍රී ලංකා ආර්ථිකය 2018 වසරේදී වාර්තා කළ 3.3% ක වර්ධනයට සාපේක්ෂව 2019 දී 2.3%ක අඩු වර්ධනයක් වාර්තා කර තිබේ.
සේවා නියුක්තවන්නන්ගෙන් 60%ක් රැකියා කිරීම සහ ශ්‍රී ලංකාවේ දෛනික වැටුප් උපයන්නන් මිලියන 1.9ක් සිටින බවට ඇස්තමේන්තු කර ඇති බැවින් විශාල පුද්ගල සංඛ්‍යාවක් COVID-19 තත්වය හමුවේ ආර්ථික දුෂ්කරතාවන්ට මුහුණ දෙති.
ජනගහනයේ අනෙකුත් අවධානමට ලක්විය හැකි කොටස් වන වැඩිහිටියන් සහ දරිද්‍රතා සීමාවට ඉහලින් හා ඊට ආසන්නයේ ජීවත්වන විශාල පිරිසක් මෙම තත්වයෙන් අධික ලෙස බලපෑමට ලක්විය හැකි බව ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශ කරයි.
දශක නවයකට පසු මුහුණ දෙන ලොකුම ආර්ථික අර්බුදය
ගෝලීය ආර්ථිකය 1930 දශකයේ ඇතිවූ ලෝක ආර්ථික අවපාතයෙන් පසු දරුණුතම පසුබෑමට මුහුණ දෙමින් සිටියි. ගෝලීය වෙළඳ භාණ්ඩ වෙළඳාම 2020දී 32%කින් පමණ මන්දගාමී විය හැකි බව ලෝක වෙළඳ සංවිධානය (WTO) පුරෝකථනය කර තිබේ.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
චීනය සහ ඉන්දියාව ඇතුළු ශ්‍රී ලංකාවේ අනෙකුත් ප්‍රධාන හවුල්කරුවන් ද සැළකිය යුතු පසුබෑමකට ලක්වේ. එබැවින් ශ්‍රී ලංකාවේ අපනයන ආදායමට සෘජු බලපෑම් එල්ල වෙන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.
රටේ දළ දේශීය නිෂ්පාදිතයෙන් 4% - 5%ක අගයක් ලැබෙන්නේ සංචාරක කර්මාන්තයෙනි. පාස්කු ප්‍රහාරයට පෙර 2019 වසරේ දිනක් තුළ පැමිණි සංචාරකයන්ගේ සාමාන්‍ය අගය 7600ක් පමණ වූ අතර ප්‍රහාරයෙන් පසු මාස දෙකක් තුළ එම අගය 1700 දක්වා සැළකිය යුතු ලෙස අඩු විය.
2018 වසරට සාපේක්ෂව 2019 දී ශ්‍රී ලංකාවට සංචාරකයන් පැමිණීම 18%කින් අඩු වී ඇත.
කෙසේ වෙතත් ශ්‍රී ලංකාවේ සංචාරක අංශය ත්‍රස්ත ප්‍රහාරයෙන් මාස 7ක් ඉක්ම යන විට මුළුමනින්ම පාහේ නැවත යථා තත්වයට පත්වූ බව මහ බැංකු වාර්තාවෙන් පෙන්වා දෙනු ලැබේ.
2019 අප්‍රේල් 21 වැනිදා එල්ල වූ පාස්කු ඉරු දින ප්‍රහාරයෙන් පසු කඩා වැටුණු සංචාරක කර්මාන්තයේ පිබිදීමක් පසුගිය කාලයේ දක්නට ලැබුණද COVID-19 රෝගය පැතිරීමත් සමග යළි දැඩි අභියෝයාත්මක කාලයක් උදා වී තිබේ.
ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ ඇස්තමේන්තු වලට අනුව සංචාරක ක්ෂේත්රයේ සෘජු හා වක්‍ර රැකියා ප්‍රමාණය ශ්‍රී ලංකාවේ සමස්ත ශ්‍රම බලකායෙන් 4.6%කි.
වසර 21කට පසුව තැබූ පියවර
2019 ජූලි මාසයේදී ප්‍රකාශයට පත් කරන ලද ලෝක බැංකුවේ රටවල් වර්ගීකරණයට අදාළව ශ්‍රී ලංකාව ඉහළ මැදි අදායම් කාණ්ඩයේ රටක තත්වයට උසස් කර තිබේ.
ශ්‍රී ලංකාව පහළ මැදි ආදායම් කාණ්ඩයේ සිට ඉහළ මැදි ආදායම් තත්වයට පත්වීමට ගතවූ කාලය වසර 21කි. එය සමහර නැගී එන ආර්ථිකයක් සහිත රටවල් හා සැසඳීමේදී දීර්ඝ කාලයක් බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. චීනයට හා කොරියාවට එම තත්වයට පත්වීමට වසර 07ක් ද ජපානයට වසර 09ක් ද සිංගප්පුරුවට වසර 10ක් ද ඒ සඳහා ගතව තිබුණි.
ආර්ථිකයේ සියලුම ප්‍රධාන අංශ ධනාත්මක නමුත් අඩු වර්ධන වේගයක් පෙන්වන බව මෙම වාර්තාවේ දැක්වේ.
කෘෂිකාර්මික සහ කර්මාන්ත අංශය
කෘෂිකාර්මික අංශයේ 6.5%ක වර්ධනයක් 2018 වසරේ පෙන්නුම් කළ අතර 2019 දී 0.6%ක වර්ධනයක් පෙනෙන්නට තිබේ.
පැවති දැඩි අහිතකර කාලගුණ තත්වයන් 2019 දී කෘෂිකර්මාන්තයට බලපෑ අතර තේ, රබර්, කරදිය ධීවර් කර්මාන්තය, කරදිය ජලජ ජීවි වගා උප අංශය, වන වගාව, වනාන්තර හා දැව ආශ්‍රිත නිෂ්පාදනවල සැළකිය යුතු අඩුවක් වාර්තා වී තිබේ.
තෙල් නිපදවීම සඳහා යොදාගත හැකි පළතුරු භෝග වගාව, එළවලු වගාව, පළතුරු වගාව සහ කිරි, බිත්තර, මස් හා වෙනත් නිෂ්පාදන කෘෂිකාර්මික අංශයේ අගය එකතු කිරීම වැඩි කිරීම සඳහා හේතු වී ඇත.
2019 වසරේදී වී නිෂ්පාදනය මෙ.ටොන් මිලියන 4.6ක් දක්වා එනම් සහල් මෙ.ටොන් මිලියන 2.9කට සමාන ප්‍රමාණයකට ඉහළ ගිය අතර එය දළ වශයෙන් මාස 14ක සහල් ඉල්ලුම සැපයීමට ප්‍රමාණවත් වන බවට ඇස්තමේන්තු කරයි.
2019 දී තේ වගා කටයුතුවල 1.3%ක සහ රබර් වගා කටයුතුවල 9.3%ක සෘණ වර්ධනයක් පෙන්වයි. රබර් නිෂ්පාදනය කිලෝග්‍රෑම් මිලියන 74.8දක්වා අඩු වී ඇති අතර එය වාර්තාගත අවම රබර් නිෂ්පාදනය වේ.
2019 වසරේදී කර්මාන්ත අංශය පෙර වසරේදී වාර්තා කළ 1.2%ක වර්ධනයට සාපේක්ෂව 2.7%ක වර්ධනයක් අත්කර ගැනීමට සමත් විය. රෙදිපිළි, නිමි ඇඳුම්, සම් හා සම් ආශ්රිත නිෂ්පාදන, ඉදිකිරීම් සහ පතල් කර්මාන්තවල පිබිදීම මෙම වර්ධනයට හේතු විය.
රජයේ මුළු ආදායම දළ දේශීය නිෂ්පාදනයේ ප්‍රතිශතයක් ලෙස 2018 වසරේ පැවති 13.4% සිට 2019 වසරේදී 12.6% දක්වා අඩුවී තිබේ.
ශ්‍රී ලංකා ආර්ථිකයේ වත්මන් තත්වය, ආර්ථික අභියෝග හා ඒවා ජයගන්නා ආකාරය 2019 මහ බැංකු වාර්තාවේ ඉතා දීර්ඝ ලෙස කරුණු ඇතුළත් වේ.
කියවන්න:








