ඇමෙරිකානු 'ග්‍රීන් කාඩ්' තහනම කොරෝනා නිසා ද? ට්‍රම්ප්ගේ ඡන්ද ගුණ්ඩුවක් ද?

ඡායාරූප මූලාශ්‍රය, Reuters
ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඇමෙරිකානු 'ග්‍රීන් බලපත්' (green cards) ප්‍රදානය තාවකාලිකව අත්හිටුවීමට තීන්දු කරන ලද්දේ ට්‍රම්ප් පරිපාලනය දිගු කලක් බලාපොරොත්තු වූ ඉතා දැඩි සංක්‍රමණ පිළිවෙත ක්‍රියාවට නැංවීමට බවට එම තීන්දුව දෝෂදර්ශනයට ලක්කරන කණ්ඩායම් පෙන්වා දෙති.
මෙම ජනාධිපතිවරණ වසරෙහි, ට්‍රම්ප් පරිපාලනය කොරෝනාවෛරසය පෙරට දමමින් එම තීන්දුව ගෙන ඇතැයි යන්න විවේචකයන්ගේ විග්‍රහය වෙයි.
ඇමෙරිකා එක්සත් ජනපද භූමියට ඇතුළු වීමට අවසර ලැබෙන 'ග්‍රීන් බලපත්' (green cards) ප්‍රදානය තාවකාලිකව අත්හිටුවනු ලැබීමේ නියෝගයකට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් අත්සන් කරනු ලැබ ඇත.
දවස් හැටකින් බලරහිත වීමේ සහ එසේ ම අවශ්‍ය නම් එය යළි දීර්ඝ කිරීම ඇතුළු ව්‍යතිරේක ගණනාවක් ද එම ජනාධිපති ආඥාවට ඇතුළත් වෙයි.
කොරෝනාවෛරසය හමුවේ බරපතළ කඩා වැටීමකට ලක්ව ඇති රටේ ආර්ථිකය තුළ ඇමෙරිකානු ශ්‍රමිකයන්ගේ රැකියා සුරක්ෂිත කරනු ලැබීම එවැනි ක්‍රියාමාර්ගයක් ගැනීමට හේතු විණැයි ජනාධිපති ට්‍රම්ප් පවසයි.
"අපේ ආර්ථිකය නැවත විවෘත කරනු ලැබීමත් සමග රැකියා සම්පාදනයේදී සියලු ක්ෂේත්‍රවලට අයත් ඇමෙරිකානු පුරවැසියන්ට පළමු ස්ථානය ලැබීම එමගින් සහතික කෙරෙනු ඇතැයි," ජනාධිපති ට්‍රම්ප්, බදාදා ධවල මන්දිරයේදී කොරෝනාවෛරසය පිළිබඳ අලුත් ම තොරතුරු ප්‍රකාශයට පත් කරමින් සඳහන් කළේය.
අහිමි වන්නේ කාට ද?
දැනට 'ග්‍රීන් කාඩ්' ලාභීන්ව සිටින පුද්ගලයන් සතු සිය විස්තෘත පවුලේ සාමාජිකයන්ට ඇමෙරිකාවේ නිත්‍ය පදිංචිය සඳහා අනුග්‍රාහකයන් වීමේ අයිතිය නව රෙගුලාසි මගින් නතර කෙරෙනු ඇතැයි අපේක්ෂා කෙරෙයි. ජනාධිපතිවරයා විසින් එම අයිතිය හඳුන්වනු ලබන්නේ ''සංක්‍රමණ දම්වැලක්'' යන යෙදුම මගිනි.
එහෙත් ඇමෙරිකානු පුරවැසියෙකුගේ සහකරුට හෝ සහකාරියට සහ වයස අවුරුදු 21 ට අඩු අවිවාහක දරුවන්ට එම තහංචිය බල නොපානු ඇත.
විවිධ සමාජ කණ්ඩායම් නියෝජනය වන පරිදි ලොතරැයි මගින් පිරිනමනු ලබන වීසා බලපත් ක්‍රමයත් (Diversity Visa Lottery) ඉහත කී ජනාධිපති ආඥාව මගින් අත්හිටවනු ලැබෙයි. ඇමෙරිකා එක්සත් ජනපදය වසරකට එවැනි ලොතරැයි ග්‍රීන් වීසා බලපත් 50,000 ක් ද නිකුත් කළේය.
දැනටමත් ඇමෙරිකානු භූමියෙහි ජීවත්වෙමින් එහි රැකියා කරන 'ග්‍රීන් වීසා' බලපත් අයැදුම්කරුවන් ලක්ෂ ගණනකට සහ වෛද්‍ය, හෙද සහ සෞඛ්‍ය ක්ෂේත්‍රයෙහි වෙනත් රැකියා සඳහා එහි ඇතුළු වීමට අපේක්ෂා කරන විශේෂ වෘත්තිකයන්ට නව ජනාධිපති ආඥාව බල නොපායි.
'H-1B වීසා' ව්‍යාපෘතිය යටතේ භාරගනු ලබන, ගොවිපොළ කම්කරුවන් සහ විශේෂ කුසලතා සහිත කම්කරු අංශයේ වෘත්තිකයන් ලක්ෂ ගණනක් සඳහා පිරිනැමෙන තාවකාලික ආගන්තුක වීසා බලපත් නිකුත් කිරීම ද නතර නොකෙරෙනු ඇත.
බලපාන්නේ කෙසේ ද?
තානාපති කාර්යාල දැනටමත් සති කීපයක් වසා දමනු ලැබ ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් සියලු ආකාරයේ වීසා නිකුත් කරනු ලැබීම් නතර කරනු ලැබ ඇති හෙයින්, පවතින කොරෝනා වසංගතය හමුවේ ජනාධිපතිවරයාගේ නියෝගයෙහි කඩිනම් බලපෑමක් සිදු නොවෙයි.
කෙසේ වුව ද, වොෂිංටනය මූලස්ථානය කර ගත් සංක්‍රමණ ප්‍රතිපත්ති ආයතනය ප්‍රකාශ කරන පරිදි, ජනාධිපතිවරයාගේ ආඥාව ග්‍රීන් බලපත් ලබා ගැනීම අතින් එක මාසයකදී පමණක් විසි දහසකට අධික අයැදුම්කරුවන්ට බලපානු ඇත.
'මහජන නිදහස සඳහා වූ ඇමෙරිකානු සංගමයේ' සංක්‍රමණිකයන්ගේ අයිතිවාසිකම් පිළිබඳ ව්‍යාපෘතියෙහි අධ්‍යක්ෂ ඔමාර් ජද්වට් (Omar Jadwat) අදහස් දක්වමින් ''ග්‍රීන් බලපත් තහනම් කෙරෙන නව ජනාධිපති ආඥාව මගින් ඇමෙරිකාව පුරා රැකියා හිමියන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ගේ බලවත් වේදනාවට හේතු වනු ඇතැයි,'' කියා සිටියේය
ජනාධිපතිවරයාගේ ආඥාවට එරෙහිව නෛතික මට්ටමින් අභියෝග කරමින්, අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමේ නැඹුරුවක් පිළිබඳවත් මේ අතර වාර්තා වෙයි.
ජනාධිපති ට්‍රම්ප් සඳුදා රාත්‍රියේ 'ට්විටර්' පණිවුඩයක් මගින් ''සියලු ආකාරයේ සංක්‍රමණ'' නතර කරන බව කියා සිටියේය.
කොරෝනාවෛරසය මැඩලීමේ පියවරක් වශයෙන් සෙසු රටවල් මෙන් ම ඇමෙරිකා එක්සත් ජනපදයත් පූර්ණ සංචාරක තහංචි ක්‍රියාවට නංවනු ලබයි.
කැනඩාවෙන් සහ මෙක්සිකෝවෙන් සිදු කෙරෙන අත්‍යවශ්‍ය සංචාර හැරුණ විට, සිය දේශසීමා වසා දමනු ලැබ අතර වාරයේ එක්සත් ජනපදය, චීනයෙන් සහ බොහෝ යුරෝපා රටවලින් පැමිණෙන ආගන්තුකයන් සීමා කරනු ලැබ ඇත.
ප්‍රජා මට්ටමින් වසංගතය බෝවීම වළක්වා ගැනීමේ පියවරක් වශයෙන්, රටට ඇතුළු වීමට අපේක්ෂා කරන දේශපාලන සරණාගතයන් දේශසීමාවේදී ම ආපසු හරවා යැවීමට බලය ලැබෙන 1944 නීතියක් ද ජනාධිපති ට්‍රම්ප් විසින් බලගන්වනු ලැබ ඇත.
ට්‍රම්ප් මෙවැනි පියවරක් ගත්තේ ඇයි?
තමා ඇමෙරිකාවේ රැකියා ආරක්ෂා කිරීමට කටයුතු කරන බව ජනාධිපති ට්‍රම්ප් පවසයි.
කොරෝනාවෛරසය පැතිර යාම නිසා කෝටි දෙකකට අධික ඇමෙරිකානුවන්ට රැකියා අහිමි වී ඇත. එම වෘත්තිකයන් නැවත සේවයේ පිහිටුවීමේ "අතහළ නොහැකි වගකීමක්" ආණ්ඩුවට පැවරෙන බව ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත.
'පබ්ලිකන්' පාක්ෂිකයෙකු වන ඩොනල්ඩ් ට්‍රම්ප් බලයට පත්වීමෙහි ලා ඔහු අනුගමනය කරන සංක්‍රමණ විරෝධී දැඩි පිළිවෙත හේතුවක් විය.
එසේ ම එය ඔහුගේ පාලන සමය තුළ ප්‍රධාන මාතෘකාවක් බවට ද පත් විය.
ලබන නොවැම්බර් මාසයේ පැවැත්වීමට නියමිතව ඇති ඇමෙරිකානු ජනාධිපතිවරණයේදී ඩොනල්ඩ් ට්‍රම්ප් ඩිමොක්‍රටික් පක්ෂයේ අපේක්ෂක ජෝ බයිඩ්න් (Joe Biden) සමඟ තරඟවදිනු ඇත.
ජනාධිපති බරක් ඔබාමා පාලන සමයෙහි හිටපු උප ජනාධිපතිවරයා වූ ජෝ බයිඩ්න් 'සංක්‍රමණ සම්බන්ධයෙන් වඩාත් අනුග්‍රහශීලී පිළිවෙතක්' අනුගමනය කරන්නෙකි.
මේ අතර තවත් කණ්ඩායම්වල චෝදනාවක් වන්නේ, ජනාධිපති ට්‍රම්ප්, කොරෝනාවෛරස් වසංගතයේදී ඔහු කටයුතු කළ ආකාරය සම්බන්ධයෙන් පළවෙන මහජන ප්‍රතිචාරය වෙනත් අතකට හැරවීමේ උත්සහයක නිරත වෙන බවටය.
බ්‍රහස්පතින්දා වන විට 'Covid 19' ආසාදිතයන් 840,000 ක් ද, මරණ 46,000 කට අධික සංඛ්‍යාවක් ද එක්සත් ජනපදයෙන් වාර්තා විය. එය ලෝකයේ වැඩි ම කොරෝනා ආපදා වාර්තාවයි.
ග්‍රීන් බලපත යනු කුමක් ද?
- එමගින් සංක්‍රමණිකයන්ට ඇමෙරිකා එක්සත් ජනපදයෙහි නෛතික නිත්‍ය වාසයට සහ ඇමෙරිකානු පුරවැසිභාවය ඉල්ලා සිටීමට අයිතිය ලැබෙයි.
- ඇමෙරිකා එක්සත් ජනපදය එක් වසරකදී දශ ලක්ෂයකට ආසන්න 'ග්‍රීන් බලපත්' නිකුත් කරයි.
- එක්සත් ජනපද සෙනෙට් සභාව විසින් 2018 වසරේ නිකුත් කරන ලද වාර්තාවක් අනුව, ග්‍රීන් බලපත්ලාභීන්ගෙන් බහුතරය - දළ වශයෙන් 70% ක් පමණ - ඔවුන්ගේ නෑදෑයන් සමග එක්සත් ජනපදයෙහි වාසයට පැමිණෙති.
- නේවාසික අයිතිය සහිත වෘත්තීය පදනමින් පිරිනමන ග්‍රීන් වීසා බලපත්වලින් දළ වශයෙන් 80%ක් පමණ නිකුත් කරනු ලබන්නේ ඒ වන විටත් රටට පිවිස සිටින්නන් සඳහාය. සිය තාවකාලික වීසා බලපත් නිත්‍ය පදිංචි වීසා බලපත් බවට පරිවර්තනය කර ගැනීමේ අයිතිය ඔවුන්ට හිමිවෙයි.











