ජනාධිපතිවරණය: ශ්‍රී ලංකාවේ මැතිවරණ මුදල් පරිත්‍යාග "පගාවක්"

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
වර්තමාන ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවාහය තුළ මැතිවරණයකදී අපේක්ෂිත අරමුණු ඉටු කර ගැනීම සඳහා මුදල් අත්‍යවශ්‍ය ම සාධකයකි. යම් අපේක්ෂකයෙකුට හෝ පක්ෂයකට ඡන්ද දායකයා වෙත තම ප්‍රතිපත්ති සහ අරමුණු සම්ප්‍රේෂණය කිරීම සඳහා මූල්‍ය ශක්තිය නැතුව ම බැරිය.
නමුත් දේශපාලන කටයුතුවලදී මුදල් අවභාවිත වන බවට නිතර චෝදනා එල්ල වේ.
එබැවින් දැනට නීති කෙටුම්පත් කිරීමේ දෙපාර්තමේන්තුව වෙත යවා ඇති මැතිවරණ වියදම් නියාමනය සඳහා වූ සංශෝධන සහිත පනත් කෙටුම්පත (Regulation of Election Expenditure Draft Act) සම්මත වුවහොත් මැතිවරණ වියදම් සහ මූල්‍ය පරිත්‍යාග කළමනාකරණට සහ නියාමනයට පැහැදිලි ක්‍රමවේදයක් නිර්මාණය විය හැකි බවට සිවිල් සංවිධාන බලාපොරොත්තු පළ කරති.
අදාළ පනත් කෙටුම්පත නුදුරේදීම සම්මත කර ගැනීමට කටයුතු කරන බව ජාතික මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
ඒ පිළිබඳව විමසූ විට, "අපිට තාම අවසාන අනුමැතියක් ලැබුණේ නෑ. කෙටුම්පත අමාත්‍ය මණ්ඩලය අනුමත කරලා තිබෙනවා. නමුත් ඒ නීති තවම සම්මත වෙලා නෑ," යනුවෙන් ජාතික මැතිවරණ කොමිෂන් සභාවේ නිලධාරියෙක් පැවසීය.
පවතින මැතිවරණ නීති සංශෝධනය කිරීම සඳහා අදාළ කැබිනට් පත්‍රිකාවට කැබිනට් අනුමැතිය හිමි වූයේ 2017 ඔක්තෝබර් මාසයේදීය.

ඡායාරූප මූලාශ්‍රය, News.lk
දේශපාලන පක්ෂ, ස්වාධීන කණ්ඩායම්, සහ එක් එක් අපේක්ෂකයා මැතිවරණයක් සඳහා වියදම් කරන මුදල් නියාමනය කිරීම සහ ලැබෙන මුදල් පරිත්‍යාග පිළිබඳව විනිවිදභාවය ඇති කිරීම එම නව පනතේ මූලික අරමුණු අතර වේ.
මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානය සහ පැෆරල් සංවිධානය විසින් සපයන ලද මූලික වාර්තාවක් පදනම් කර ගෙන ජාතික මැතිවරණ කොමිෂන් සභාව මගින් එම නීති කෙටුම්පත සකසා ඇත.
සම්මත වුවහොත් එහි අඩංගු කරුණු ජනාධිපතිවරණ පනත, පාර්ලිමේන්තු මැතිවරණ පනත, පළාත් සභා මැතිවරණ පනත සහ පළාත් පාලන මැතිවරණ ආඥා පනත යන පනත් සඳහා බලපානු ඇත.
ඒ අනුව අපේක්ෂකයෙක් තම ප්‍රචාරණ කටයුතු සඳහා සුදුසුකම් ලැබූ එක් ඡන්ද දායකයෙකු වෙනුවෙන් උපරිම වශයෙන් වියදම් කළ යුතු මුදල ද මෙම පනත මගින් යෝජනා කරනු ලැබ තිබේ. එය රුපියල් 50 සිට 100 දක්වා මැතිවරණය අනුව වෙනස් වේ.
යම් අපේක්ෂකයෙක් එම පනතේ සඳහන් නියමයන් උල්ලංඝනය කළ බවට චෝදනා එල්ල වුවහොත් ඔහුට හෝ ඇයට එරෙහිව මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු පැවරිය හැකිය.
මැතිවරණ ව්‍යාපාරවලට මුදල් දීම එක්තරා ආකාරයකට පගා දීමකට සමානයි. තමන්ට අවශ්‍ය දේ කරගන්න සල්ලි දෙනවා.
"එවැනි අවස්ථාවකදී වැරදිකරු වුවහොත් රුපියල් ලක්ෂයක දඩයක් සහ වසර තුනක කාලයකට එම පනත බලපාන මැතිවරණයකට ඉදිරිපත්වීම හෝ එවැනි මැතිවරණයකදී ඡන්දය ප්‍රකාශ කිරීමට තහනම් වනු ඇත," යනුවෙන් අදාළ පනත් කෙටුම්පතෙහි දැක්වේ.
පනත් කෙටුම්පතෙහි සඳහන් ආකාරයට පහත සඳහන් ආයතන සහ පුද්ගලයන්ගෙන් ලැබෙන පරිත්‍යාග (Donations) මැතිවරණ කටයුතු ප්‍රවර්ධනය සඳහා යොදාගැනීම තහනම් ය.
අ. රජයේ දෙපාර්තමේන්තු, සමාගම් පනත යටතේ ලියාපදිංචි නමුත් රජය හෝ රාජ්‍ය සංස්ථා කොටස් හිමිකරගෙන ඇති සමාගම්.
ආ. විදෙස් රජයක්, ජාත්‍යන්තර ආයතන, හෝ ශ්‍රී ලංකාවෙන් පිටත ලියාපදිංචි ආයතන.
ඇ. තම අනන්‍යතාවය හෙළිකර නොමැති පරිත්‍යාගශීලියෙක් හෝ දායකයෙක් ලබාදෙන පරිත්‍යාග.
එසේම මැතිවරණයක් ප්‍රකාශයට පත් කිරීමෙන් දින හතක් ඇතුළත එම මැතිවරණය තරඟ කිරීමට බලාපොරොත්තු වන ලියාපදිංචි දේශපාලන පක්ෂයේ ලේකම්, සහ සෑම ස්වාධීන කණ්ඩායම් නායකයෙක් ම, ලියාපදිංචි වාණිජ බැංකුවක ගිණුමක් අරඹා එම ගිණුමේ නම සහ ගිණුම් අංකය මැතිවරණ කොමිසමට ලබා දිය යුතුය.
මැතිවරණයට අදාළ සියලු ගනුදෙනු සිදුවිය යුත්තේ අදාළ ගිණුම හරහාය.
තවත් වැදගත් කරුණු කිහිපයක්:
1. අදාළ ගිණුමට බැර කෙරෙන සියලු මූල්‍ය පරිත්‍යාග සඳහා රිසිට් පතක් නිකුත් කිරීම පක්ෂ ලේකම්වරයාගේ හෝ ස්වාධීන කණ්ඩායම් නායකයාගේ වගකීමකි.
2. ලැබෙන සියලුම මූල්‍ය පරිත්‍යාග අදාළ ගිණුමට බැරකර එම මුදල් මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා භාවිත කළ යුතු බව ද පනත් කෙටුම්පතෙහි සඳහන් වේ. වියදම් කටයුතු සඳහා වෙනත් කිසිදු ගිණුමක ඇති මුදල් භාවිත කිරීම නොකළ යුතු බව ද එහි දක්වා ඇත.
3. නව පනත් කෙටුම්පතට අනුව සියලුම මැතිවරණ අපේක්ෂකයන් තම ප්‍රචාරක කටයුතු සඳහා යෙදෙන වියදම් පිළිබඳ සංෂිප්ත විස්තරයක් සහ වියදම් කිරීමට මුදල් ලැබුණු ආකාරය ගැන තොරතුරු මැතිවරණ කොමිසමට ලබා දිය යුතුය.
එම නීති කෙටුම්පත සම්මත වුවහොත් ජනාධිපතිවරණ, මහ මැතිවරණ, පළාත් සභා මැතිවරණ සහ පළාත් පාලන මැතිවරණ සඳහා ඉදිරිපත් වන අපේක්ෂකයන් ප්‍රචාරණ කටයුතු සඳහා ලියාපදිංචි ඡන්ද දායකයන් වෙනුවෙන් වියදම් කළ යුතු මුදල් ප්‍රමාණය නිශ්චිතව දන්වනු ලබනු ඇත.
මැතිවරණයක් සඳහා එක් එක් අපේක්ෂකයෙක් ඡන්ද දායකයෙකු වෙනුවෙන් වියදම් කළ යුතු මුදල (රුපියල් ගණන) තරඟ කරන දේශපාලන පක්ෂ සමග එකඟතාවයකට එළඹීමෙන් අනතුරුව ගැසට් පත්‍රයක් නිවේදනය මගින් කෙරෙනු ඇත.
නව මැතිවරණ නීති මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු,
වසර 3ක් ඡන්ද ඉල්ලීම/දැමීම තහනම්
උදය ගම්මන්පිල සහ නාගානන්ද කොඩිතුවක්කු
2014 වසරේදී බස්නාහිර පළාත් සභා මැතිවරණයට එවකට ජාතික හෙළ උරුමය නියෝජනය කරමින් ඉදිරිපත් වූ උදය ගම්මන්පිල තම මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා රුපියල් 100 බැගින් පරිත්‍යාග කරන ලෙස මහ ජනතාවගෙන් ඉල්ලා සිටියේය.
ඊට සාර්ථක ප්‍රතිචාරයක් ලැබුණු බව ඔහු පසුව පැවසීය. නමුත් ඔහුට කොපමණ මුදල් ප්‍රමාණයක් ලැබුණේ ද ඒවා කෙසේ වියදම් කළේ ද යන්න පිළිබඳව හෙළිදරව් නොකෙරිණි.
එසේම මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත්වීමට බලාපොරොත්තු වන බව පවසමින් නීතිඥ නාගානන්ද කොඩිතුවක්කු පසුගිය කාලය පුරා විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් හමුවට යමින් පැවසීය. එවිට සමහර ශ්‍රී ලාංකිකයන් ඔහුට මුදල් පරිත්‍යාග කළ බව ද පැවසේ.
නමුත් ඔහු ජනාධිපතිවරණයට නාමයෝජනා භාරදුන්නේ නැත. එකතු කරගත් මුදල්වලට කුමක් වන්නේ ද හෝ එය කොපමණ ප්‍රමාණයක් ද යන්න ඔහු හෙළි කර නොමැත.

ඡායාරූප මූලාශ්‍රය, NEC
ජනාධිපතිවරණය 2019
ශ්‍රී ලංකාවේ හත්වැනි විධායක ජනාධිපතිවරයා පත් කර ගැනීමේ මැතිවරණයට තව ඇත්තේ මාසයකටත් අඩු කාලයකි. ඒ සඳහා අපේක්ෂකයන් 35 දෙනෙක් නාම යෝජනා භාර දුනි.
මේ වන විට ඔවුන් අතුරින් සමහරු ඡන්ද දායකයන්ගේ අවධානය දිනා ගැනීම සඳහා විශාල මුදලක් වැය කරමින් මැතිවරණ ප්‍රචාරණ කටයුතු කරමින් සිටිති.
පුවත්පත් දැන්වීම්, ගුවන් විදුලිය සහ රූපවාහිනිය මෙන්ම සමාජ මාධ්‍ය ද මැතිවරණ ප්‍රචාරණ කටයුතු සඳහා බහුලව භාවිත වේ. එවැනි දැන්වීම් සඳහා රුපියල් ලක්ෂ ගණනින් මුදල් වැයවේ.
නමුත් මෙම කටයුතු සඳහා මුදල් ලැබෙන්නේ කෙසේ ද කාගෙන් ද යන්න පිළිබඳව හෝ ලැබුණු මුදල් වියදම් කෙරෙන්නේ කෙසේ ද යන්න පිළිබඳව හෙළිදරවු නොවේ. එසේම වියදම් කළමනාකරණයට හෝ වියදම් නියාමනයට පැහැදිලි ක්‍රමවේදයක් නොමැත.
සමාජ ක්‍රියාකාරිනියක වන අමාලි වෙදගෙදර පවසන්නේ, "මම හිතන්නේ මේක ගැන මිනිස්සු ගොඩක් කතා බහ කරනවා. හැමෝටම ඒ ගැන අදහසකුත් තියෙනවා. දැන් ඡන්දයක් කරන්න ලංකාවේ ගොඩක් සල්ලි වියදම් කරන්න ඕනෑ නේ. එතකොට අපේක්ෂකයෝ තමන්ගේ ධනයම විතරක් නොවෙයිනේ මේවට වියදම් කරන්නේ. ඒවට වෙන වෙන ව්‍යාපාරිකයෝ සල්ලි යොදවන අය ඉන්නවා හැබැයි ඒකට කොච්චර වියදම් කළා ද අදහසක් මිනිස්සුන්ට නැති වුණත් ඔවුන් හිතනවා ඔවුන් බලයට ආවට පස්සේ ක්‍රියාත්මක කරන ප්‍රතිපත්ති තීන්දු තීරණ වලට සල්ලි යොදවන කට්ටියගේ බලපෑම් තියෙනවා කියලා."
එසේ මුදල් සපයන සමහර ව්‍යාපාරිකයන් ඉදිරියෙන් සිටින අපේක්ෂකයන් කිහිපදෙනෙකුටම මුදල් පරිත්‍යාග කරන බව රහසක් නොවේ.
නමුත් අමාලි වෙදගෙදර පෙන්වා දෙන්නේ මෙය එක්තරා ආකාරයකට අල්ලස් දීමකට සමාන බවය. "තමන්ට අවශ්‍ය දේ කරගන්න සල්ලි දෙනවා. ලංකාවේ අපිට තියෙන ලොකුම ප්‍රශ්නයක් තමයි මේ පත්වෙන අයට ලොකු උනන්දුවක් නැහැ එවැනි කටයුතු පාලනයට අවශ්‍ය නීති රීති ගෙන්න."
මැතිවරණ නිරීක්ෂණ ආයතන, ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා සහ වෙනත් සිවිල් සංවිධාන මීට අදාළ නීති වහා ගෙන ආ යුතු බව පවසති.
වර්තමානයේ පවතින මැතිවරණ නීති අනුව කළ හැක්කේ මැතිවරණ අපේක්ෂකයන් රාජ්‍ය දේපල අවභාවිත කරන්නේ දැයි නිරීක්ෂණය කිරීම සහ එසේ කරන්නේ නම් එම කටයුතු පාලනය කිරීම පමණි.
එමගින් පෞද්ගලික පාර්ශව ඔස්සේ ලබා දෙනු ලබන මුදල් හෝ වෙනත් සම්පත් පාලනය කළ නොහැක.
ට්‍රාන්ස්පේරන්සි ශ්‍රී ලංකා ආයතනයේ සංඛිතා ගුණරත්න පවසන පරිදි සාර්ථක මැතිවරණ ක්‍රමයක මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා යොදාගන්නා මුදල් "නියමාකාරයෙන් නියාමනය" සිදුවිය යුතුය.
එසේම විනිවිදභාවය සහ නියාමනය මගින් මැතිවරණ ක්‍රියාදාමය පිළිබඳව විශ්වසනීයත්වය ඉහළ යන බව ද ට්‍රාන්ස්පේරන්සි ශ්‍රී ලංකා ආයතනය වෙනුවෙන් පර්යේෂණ සටහනක් තබමින් ඇය පෙන්වා දෙයි.
මේ තොරතුරුත් කියවන්න:











