'අඩු සැළකිලි' සහ මාධ්‍ය හමුව: ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් ICC යට සහතිකයක්

SLCC

ඡායාරූප මූලාශ්‍රය, SLCC

ලෝක කුසලාන තරඟාවලියේ දී ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ විධිවිධානවලට අනුකූලව කටයුතු කරන ලෙස ශ්‍රී ලංකා කණ්ඩායමේ කළමනාකාරිත්වයට දැනුම් දුන් බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.

ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ආයතනය මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර තිබුණේ ඉකුත් සෙනසුරාදා (ජුනි 15) ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර එංගලන්තයේ ඕවල් පිටියේ පැවති තරඟයෙන් අනතුරුව සිදුවීමක් මුල් කරගනිමිනි.

තරඟයකින් පසුව දෙපාර්ශවයේ ක්‍රීඩකයින්ගේ සහභාගිත්වයෙන් නිළ මාධ්‍ය හමුවක් පැවැත්වෙන අතර ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ ඊට සහභාගි නොවූහ.

ඉදිරියට මෙවැනි සිදුවීම් ඇතිනොවන ආකාරයට ක්‍රියා කිරීම සඳහා තම ආයතනය ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සමග සාකච්ඡාවක නිරත වූ බව ඒ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.

එමෙන්ම ඇතැම් මාධ්‍ය වාර්තා පවසන ආකාරයෙන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට එරෙහිව කිසිදු විනය ක්‍රියාමාර්ගයක් අනුගමනය කර නොමැති බව ද එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.

ලෝක කුසලාන තරඟාවලිය අතරවාරයේ ශ්‍රී ලංකා ක්‍රීඩකයින් මුහුණදෙන ගැටලු කිහිපයක් සම්බන්ධයෙන් මීට පෙර කණ්ඩායමේ කළමනාකාරීත්වය ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ අවධානයට ලක්කර තිබිණ.

SLC

ඡායාරූප මූලාශ්‍රය, SLC

ශ්‍රී ලංකා කණ්ඩායමට මෙතෙක් ලබාදී තිබු තණතීරු, වේග පන්දුයවනන්ට වාසිදායක තණකොළ සහිත තණතීරු වූ අතර අනිකුත් කණ්ඩයාම්වලට පිතිකරුවන්ට වාසිදායක තණතීරු ලබාදී තිබූ බවට එහිදී ශ්‍රී ලංකා කණ්ඩායමේ කළමනාකරු අසන්ත ද මෙල් නැගූ චෝදනාව විය.

එලෙස වේග පන්දු යවන්නන්ට වාසි දායක තණකොළ සහිත විකට්ටු ලබාදෙන්නේ නම් සියළු කණ්ඩායම් වලට සමව ලබා දිය යුතු බව පැවසු ඔහු ශ්‍රී ලංකාවට පමණක් එවැනි විකට්ටු ලබාදෙන්නේ ඇයි දැයි ප්‍රශ්න කළේය.

තණතීරුවලට අමතරව ශ්‍රී ලංකා කණ්ඩායමට ලබාදී තිබෙන පහසුකම්ද අනිත් කණ්ඩායම් සමග සැසඳීමේදී ඉතා අඩු මට්ටමක පවතින බව ද බව අසන්ත ද මෙල් පැවසීය .

"අපිට බ්‍රිස්ටල් වල දීපු හෝටලේ පිහිනුම් තටාකයක් වත් නැහැ. වේගපන්දු යවන්නන් පුහුණුවීම් වලින් පස්සේ පිහිණුම් තටාකයට යන්න ඕනේ. අනිත් කණ්ඩායම් හිටපු හෝටලේ ඒ පහසුකම් තිබුණා. මේ වගේ කරුණු 7ක් ගැන අපි අපේ විරෝධය සඳහන් කළා," කණ්ඩායමේ කළමනාකරු කියා සිටියේය.

ලෝක කුසලානයට තරඟ වැදී සිටින අනෙක් කණ්ඩායම් ප්‍රවාහනය සඳහා විශාල බස්රථ ලබාදී තිබුණත් ශ්‍රී ලංකා කණ්ඩායමට ලබාදී තිබෙන්නේ කුඩා බස් රථයක් බව පැවසූ ඔහු එහි ශ්‍රී ලංකා කණ්ඩායම හිරවී ගමන් කිරීමට සිදුවී ඇති බව ද පවසයි.

ඊට අමතරව ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයන්ගේ ඇඳුම් පවා හෝටල් තුළ අස්ථානගතවී තිබෙන බව පැවසූ කණ්ඩායමේ කළමනාකරු කියා සිටියේ, ලෝක කුසලානය වැනි තරඟාවලියකදී ලබාදී තිබෙන මෙවැනි අඩු සැළකිලි ගැන තම විරෝධය පළකරන බවය.

ජගත් කුසලානය සඳහා සැලසුම් කළ ගතවගිය සිව් වසර ඇතුළත සියලුම කණ්ඩායම් සමග සමීපව කටයුතු කළ බව එයට ප්‍රතිචාර වශයෙන් බීබීසී සිංහල සේවය සමඟ කියා සිටි අයිසීසී මාධ්‍ය ඒකකයේ ජේමි ෆොක්ස් (Jamie Fox), ඒ අතරවාරයේ මතු නොවූ කිසියම් ගැටලුවක් වේ නම් එය විසඳීම පිණිස ඉදිරියටත් කටයුතු කරන බව ද සඳහන් කළේය.

ලෝක ශූරතාවලිය සඳහා යොදාගන්නා තණතීරු සම්බන්ධයෙන් තමන් සෑහීමකට පත්වන බවත් අයිසීසී ප්‍රකාශකයා වැඩිදුරටත් කියා සිටියේය.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ලබන සිකුරාදා (ජුනි 21) සත්කාරක එංගලන්තය සමග ලෝක කුසලානයේ මීළඟ තරඟයට සහභාගී වීමට නියමිතය.

කියවන්න: