ක්‍රිකට් ලෝක කුසලානය: "මැද පෙළ අසාර්ථක වීම අභියෝගයක්"

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
අඟහරුවාදා (ජුනි 04) ඇෆ්ගනිස්තානය පරාජය කරමින් 2019 ලෝක කුසලාන තරගාවලියේ ප්‍රථම ජයග්‍රහණය වාර්තා කළ ශ්‍රී ලංකා කණ්ඩායම ඉදිරි දින කිහිපයේදී තවත් තරග දෙකකට මුහුණ දීමට නියමිතය.
පාකිස්තානය සමග සිකුරාදා (ජූනි 07) ද බංග්ලාදේශය සමග අඟහරුවාදා (ජුනි 11) ද එම තරග දෙක පැවැත්වෙන්නේ එංගලන්තයේ බ්‍රිස්ටල් නගරයේදීය.
ශ්‍රී ලංකා කණ්ඩායම බ්‍රහස්පතින්දා (ජූනි 06) උදෑසන බ්‍රිස්ටල් ක්‍රීඩාංගණයේ පුහුණුවීම් සැසියකට එක් විය.
උදෑසන 10ට පමණ ක්‍රීඩාංගණයට පැමිණි ශ්‍රී ලංකා කණ්ඩායම දහවල් 1 පමණ වන තෙක් ක්‍රීඩාංගණයේ පුහුණුවීම්වල යෙදී සිටියේය.
පළමු තරග දෙකේදී ම ශ්‍රී ලංකා මැද පෙළ පිතිකරුවන් සාර්ථක නොවූ බැවින් පිතිකකරණය ගැන වැඩි අවධානයක් යොමු කරමින් පුහුණුවීම් සිදු කළේය.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
ආරම්භක පිතිකරුවන් වන කුසල් ජනිත් පෙරේරා හා නායක දිමුත් කරුණාරත්න හැර අනිකුත් සියලු පිතිකරුවන් මේ දක්වා පැවති තරග දෙකේදී ම අසාර්ථක වී තිබේ.
මැද පෙළ පිතිකරුවන් තිදෙනා වන කුසල් මෙන්ඩිස්, ඇන්ජලෝ මැතිව්ස් සහ ධනංජය ද සිල්වා තරග දෙකේදී ම ලබා ගත්තේ ලකුණු 6ක් පමණි.
කුසල් මෙන්ඩිස් - 0, 2
ඇන්ජලෝ මැතිව්ස් - 0,0
ධනංජය ද සිල්වා - 4,0
කෙසේ නමුත් පුහුණුවීම්වල යෙදුණු ආකාරයට කුසල් මෙන්ඩිස්, ඇන්ජලෝ මැතිව්ස් සහ ධනංජය ද සිල්වා සිකුරාදා තරගයට ද ක්‍රීඩා කිරීමට ඉඩ ඇත.
පුහුණුවීම් අතරතුර ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්න බීබීසි සිංහල සේවයට අදහස් දක්වමින් මේ බව තහවුරු කළේය.
ඔහු පැවසුවේ ඔවුන් ඉදිරි තරගවලදී ඔවුන් ලකුණු අතරට එනු ඇතැයි තමන් අපේක්ෂා කරන බවය.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
"සමහර දවස් තියෙනවා හොඳින් ක්‍රීඩා කරන්න බැරි. මම විශ්වාස කරනවා ඔවුන් තුන් දෙනා ම පාකිස්තාන තරගයේදී ලකුණු අතරට ඒවි කියලා," දිමුත් කරුණාරත්න කියා සිටියේය.
තරගයට බොහෝ දුරට වේග පන්දු යවන්නෙකු වෙනුවට ජීවන් මෙන්ඩිස් කණ්ඩායමට කැඳවීමට ඉඩ තිබෙන බව පැවසූ නායක දිමුත් කරුණාරත්න සිකුරාදා තණතීරුව පිතිකරුවන්ට වාසිදායක එකක් ලෙස පෙනෙන්නට ඇති බව ද කියා සිටියේය.
මෙම ක්‍රීඩා පිටිය පිතිකරුවන්ට වාසිදායක පිටියක් ලෙස සැලකෙන අතර පසුගිය මැයි මාසයේදී එංගලන්තය සහ පාකිස්තානය අතර එහි පැවති එක්දින තරගයේදී එංගලන්තය පාකිස්තානය ලබා ගත් ලකුණු 358 හඹා ගොස් තරගය ජය ගැනීමට සමත් විය.
"කෙලින් ගැහුවොත් හතරේ සීමාව කෙටියි, නමුත් ලකුණු වැඩියෙන් ගහන්න පුළුවන් ද කියල තීරණය වෙන්නේ හෙට යොදා ගන්න තණතිල්ල අනුව තමයි," ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරු කුසල් ජනිත් පෙරේරා බීබීසි සිංහල සේවයට අදහස් දක්වමින් කියා සිටියේය.
"අපේ පිතිකරුවන් හොඳට ක්‍රීඩා කළොත් අපිට හොඳ දෙයක් කරන්න පුළුවන්, මම දන්න දේ මම කරනවා, නොදන්නා දේවල් කරන්නේ නැහැ," කුසල් ජනිත් කියා සිටියේය.
පිට පිට තරග 10ක් පරාජය වී ක්‍රිකට් ලෝක කුසලානය තරගාවලියට පිවිසි පාකිස්තාන කණ්ඩායම, තම පළමු තරගයෙන් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතින් දැවැන්ත පරාජයක් ලැබීය.
නමුත් දෙවන තරගයෙන් සත්කාරක එංගලන්තය පරාජය කිරීමට පකිස්තානය සමත් විය.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
ශ්‍රී ලංකාව සමග පාකිස්තානය, අවසන් වරට එක්දින තරගයකට සහභාගි වූයේ 2017 වසරේ එංගලන්තයේ පැවති චැම්පියන්ස් කුසලාන තරගාවලියේදී වන අතර එම තරගයෙන් පාකිස්තානය තියුණු ජයක් ලැබීය.
මේ දක්වා ශ්‍රී ලංකාව සහ පාකිස්තානය ලෝක කුසලාන තරගවලදී 7 වරක් හමු වී ඇති අතර එම තරග සියල්ල ම පාකිස්තානය ජය ගෙන තිබේ.
මෙහි අන්තර්ගතය නැත
වැඩිදුරටත් Facebook බලන්නබාහිර වෙබ් අඩවිවල අන්තර්ගතයට බීබීසී වගකියනු නොලැබේ.End of Facebook post
තරගයට වර්ෂාවෙන් බාධා?
කාඩිෆ් ක්‍රීඩාංගණයේ පැවති ශ්‍රී ලංකා - ඇෆ්ගනිස්තාන් තරගයට වර්ෂාවෙන් බාධා එල්ල විණි.
බ්‍රහස්පතින්දා දිනයේ ද බ්‍රිස්ටල් ක්‍රීඩාංගණයට අවස්ථා කිහිපයකදී වැසි ඇද හැළුණු නමුත් ඒ හේතුවෙන් පුහුණුවීම්වලට එතරම් බලපෑමක් එල්ල නොවීය.
කෙසේ නමුත් හෙට දිනයේ උදැසන වරුවේ දැඩි වර්ෂාවක් පතිත වනු ඇති බවට කාලගුණ අනාවැකි පළවී තිබේ.
"ඇත්තට ම ගොඩක් අමාරුයි පිතිකරුවෙක් විදිහට වර්ෂාව නිසා තරගයක් නවත්වලා ආපහු පටන් ගන්නකොට, හැබැයි මේ කාලගුණය කාටත් හරියට ම කියන්න බැහැ. හොඳින් තියෙනවා ආයේ දන්නෙ ම නැතුව වහිනවා. ඒකත් ලොකු අභියෝගයක්," කුසල් ජනිත් පෙරේරා පැවසීය.








