තායිලන්ත නව රැජින: ගුවන් සේවිකාවක් රජු අත ගනී

New Thai queen

ඡායාරූප මූලාශ්‍රය, EPA

ඡායාරූප ශීර්ෂ වැකිය, සුතිදා නව රැජින වචිරාලොන්ගෝන් රජතුමාගේ දිගුකාලීන ප්‍රියාම්භිකාව වූවාය

තායිලන්තයේ මහා වචිරාලොන්ගෝන් රජතුමා (King Maha Vajiralongkorn) සිය පෞද්ගලික ආරක්ෂක බලකායේ නියෝජ්‍ය ප්‍රධානී සුතිදා තිද්යායි සමඟ විවාහ වූ බව රාජකීය නිවේදනයක් මගින් ප්‍රකාශයට පත් කරනු ලැබ ඇත.

වචිරාලොන්ගෝන් රජතුමාගේ පදවිය චාරිත්‍රානුකූලව තහවුරු කෙරෙන ඔහුගේ අත්‍යලංකාර මෞලි මංගල්‍යය ලබන සෙනසුරාදා ආරම්භ වීමට නියමිතව ඇති අතරවාරයේ පුදුමය දනවන සුළු එම රාජකීය නිවේදනය නිකුත් කරනු ලැබුණි.

ඔහු බෙහෙවින් ආදරය කළ සිය පියරජු පූමිපොන් අදුන්යදේජ් (Bhumibol Adulyadej), පසුගිය 2016 වසරේ දිවියෙන් සමුගත් පසුව මහා වජිරලොන්කොර්න් සිහසුනට අනුප්‍රාප්ත විය.

රටේ පක්ෂ දේශපාලනයට ඉහළින් ක්‍රියාත්මක වෙන තායිලන්ත රාජ්‍යත්වය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් සංස්ථාපනය කරන ලද ආයතනයක් වන අතර පාරම්පරිකව උරුම වෙන පදවියකි.

New Thai queen

ඡායාරූප මූලාශ්‍රය, EPA

ඡායාරූප ශීර්ෂ වැකිය, වචිරාලොන්ගෝන් රජතුමා තම දේවිය වන 'සුතිදා' රැජිනගේ හිස මත ශුද්ධ ජලය ඉසීමෙන් අනතුරුව රාජකීය නව යුවළ විවාහ ලේකම් පුස්තකයෙහි අත්සන් තැබූහ

දැනටමත් දරුවන් හත්දෙනෙක්

මේවනවිට හැටහය වැනි වියේ පසුවෙන වචිරාලොන්ගෝන් රජතුමා මින්පෙර තුන් වතාවක් විවාහ වී දික්කසාද වූ තැනැත්තකු වන අතර ඔහුට දැනට දරුවන් හත්දෙනෙක් වෙති.

''මහා වචිරාලොන්ගෝන් රජතුමා සිය රාජකීය ප්‍රියාම්භිකාව මෙන්ම තම පෞද්ගලික ආරක්ෂක බලකායේ නියෝජ්‍ය අණදෙන නිලධාරිනිය වන ජනරාල් සුතිදා වචිරාලොන්ගෝන් නා අයුත්‍යා (General Suthida Vajiralongkorn Na Ayudhya) සිය රැජින ලෙස ප්‍රකාශයට පත් කිරීමට තීරණය කර ඇත. ඒ අනුව ඇයට තායිලන්තයේ රාජකීය පදවියක් උරුම වන අතර ඇය රජ පවුලේ සාමාජිකාවකට අයත් සියලු තත්වයන් සහ වරප්‍රසාද දරනු ඇතැයි'' රජ මාළිගය මගින් නිකුත් කරන ලද නිවේදනයක දැක්වෙයි.

සුතිදා නව රැජින වචිරාලොන්ගෝන් රජතුමාගේ දිගුකාලීන ප්‍රියාම්භිකාව වූ අතර, ඇය රජතුමා සමඟ ප්‍රසිද්ධියේ සිටිනු වසර කීපයක් තිස්සේ දක්නට ලැබුණි. එසේවුවද, ඔවුන් දෙදෙනා අතර පවතින සම්බන්ධය මින්පෙර කිසිදිනක නිල මට්ටමින් පිළිගත් දෙයක් නොවුණි.

New Thai queen

ඡායාරූප මූලාශ්‍රය, AFP/GettyImages

ඡායාරූප ශීර්ෂ වැකිය, රාජකීය නව යුවළ විවාහ ලේකම් පුස්තකයෙහි අත්සන් තබමින්

නව රාජකීය විවාහයේ අවස්ථා දැක්වෙන දර්ශන පසුගිය බදාදා (මැයි 01)තායිලන්ත රූපවාහිනී චැනල මගින් ප්‍රචාරය කෙරුණ අතර, රජ පවුලේ සෙසු සාමාජිකයන් සහ තායි රජ මාළිගයේ උපදේශකයන් එම අවස්ථාවට සහභාගී වෙමින් සිටින ආකාරය එම දර්ශනවලට ඇතුළත් විය.

මේ තොරතුරු ද කියවන්න:

විවාහ චාරිත්‍ර අනුව

වචිරාලොන්ගෝන් රජතුමා තම දේවිය වන 'සුතිදා' රැජිනගේ හිස මත ශුද්ධ ජලය ඉසීමෙන් අනතුරුව රාජකීය නව යුවළ විවාහ ලේකම් පුස්තකයෙහි අත්සන් තැබූහ.

New Thai queen

ඡායාරූප මූලාශ්‍රය, Reuters

ඡායාරූප ශීර්ෂ වැකිය, රජතුමා තම දේවිය වන සුතිදා රැජින සමග

සුතිදා තිද්යායි (Suthida Tidjai) කලින් කලින් තායි ගුවන් සේවිකාවක් වූවාය. අනතුරුව ඇය වජිරලොන්කොර්න් රජතුමා විසින් සිය පෞද්ගලික ආරක්ෂක බලකායේ නියෝජ්‍ය අණදෙන නිලධාරිනිය හැටියට පත්කර ගන්නා ලද අතර, 2016 වසරේ දෙසැම්බර් මාසයේ ඇයට පූර්ණ බලතල සහිත 'ජනරාල්' පදවියක් පිරිනැමීය.

වචිරාලොන්ගෝන් රජතුමාගේ පියා වූ පූමිපොන් අදුන්යදේජ් (Bhumibol Adulyadej) වසර හැත්තෑවක් රට පාලනය කළ අතර, 2016 වසරේ එතුමා දිවියෙන් සමු ගන්නා විට එවකට ලෝකයේ වැඩිම කාලයක් කිරුළ දැරූ අධිරාජයා ලෙස ඔහු ඉතිහාසයට එක්විය.

තවත් තොරතුරු;