බෝට්ටුවෙන් රීයූනියන් ගොස් පිටුවහල් කෙරුණු ශ්‍රී ලාංකිකයෝ කටුනායකට ළඟා වෙති

පිටුවහල් කෙරුණු ශ්‍රී ලාංකිකයෝ

ප්‍රංශයට අයත් "රීයූනියන්" දූපත වෙත නීති විරෝධී ලෙස ඇතුළු වී සිටියදී එරටින් පිටුවහල් කරන ලද ශ්‍රී ලාංකිකයන් 64 දෙනෙකු බ්‍රහස්පතින්දා (පෙබරාවාරි 14) සවස කටුනායක ගුවන් තොටුපළ ඔස්සේ ශ්‍රී ලංකාවට පැමිණියහ.

විශේෂ ගුවන් යානයකින් පැමිණි පිරිස අතර පුරුෂයන් 54 ක් , කාන්තාවන් 06 ක් සහ කුඩා ළමුන් 04 ක් සිටින අතර යාපනය, මීගමුව සහ හලාවත වැනි ප්‍රදේශවල පදිංචිකරුවෝ ඒ අතර වෙති.

හලාවත මුහුදු තීරයේදී ධීවර බෝට්ටුවක නැග ප්‍රංශයට අයත් රීයූනියන් (Réunion) දිවයින වෙත ගිය ශ්‍රී ලාංකිකයන් හැත්තෑ දෙදෙනාගෙන් හැත්තෑ දෙනෙකු පිටුවහල් කිරීමට ප්‍රංශ බලධාරීන් තීරණය කර තිබුණි.

ගුවන් යානය තුළ ප්‍රංශ ආරක්ෂක නිලධාරීන් 70 දෙනෙකු ද පැමිණ තිබිණි.

පිටුවහල් කරන ලද ශ්‍රී ලාංකිකයන් යළි ගන්වා ගැනීමේ කටයුතු ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපති කාර්යාලය විසින් සංවිධානය කරනු ලැබීය.

කටුනායක ගුවන් තොටුපළේ දී ආගමන - විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් වෙත භාර දෙනු ලැබුණු පිරිස වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ජාතික රහස් ඔත්තු සේවයේ නිලධාරීන් වෙත භාර දෙනු ලැබිණ.

පිරිස පිටුවහල් කෙරුණු ගුවන් යානය

පිටුවහල් කරන ලද පිරිස අතර අදාළ ධීවර යාත්‍රාවේ නියමුවා ඇතුළු කාර්ය මණ්ඩලයේ සියලු දෙනා සිටින බව ධීවර දෙපාර්තමේන්තුවේ මෙහෙයුම් අධ්‍යක්ෂිකා කල්‍යාණි හේවාපතිරණ සඳහන් කළාය.

මේ තොරතුරුද කියවන්න:

බෝට්ටුවේ යාත්‍රා කළ පිරිස අතරින් දෙදෙනෙකු එරට රඳවා තබා ගන්නා බව ප්‍රංශ බලධාරීන් දැනුම් දී තිබේ.

මිගමුව ධීවර වරායෙන් දියඹට ගිය 'ජේ ප්‍රශංශා' නැමැති බහුදින ධීවර යාත්‍රාව පසුගිය ජනවාරි 09 වෙනිදා හලාවත මුහුදේ දී පුද්ගලයන් හැත්තෑ දෙදෙනෙකු පටවාගෙන රීයූනියන් දිවයිනට නීතිවිරෝධීව ඇතුළු වූ බව එරට බලධාරීන් විසින් පසුගියදා ශ්‍රී ලංකාවට දැනුම් දෙනු ලැබ තිබිණි.

ප්‍රංශයට අයත් රීයූනියන් දූපත පිහිටා ඇත්තේ ශ්‍රී ලංකාවට වම් පසින්, ඉන්දීය සාගරයේ පිහිටි මැඩගස්කරය ආසන්නයේය.

බෝට්ටුව එම දිවයිනට ඇතුළුවී තිබුනේ දින විසිපහක කාලයක් යාත්‍රා කිරීමෙන් අනතුරුවය.

Human Trafficking in Sri Lanka

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

යාත්‍රාවේ නියමුවා ඇතුළු කාර්ය මණ්ඩලය 'මිනිස් ජාවාරම' පිටුපස සිටින බව බහුදින යාත්‍රාවේ හිමිකරු මීගමුව පොලිසියට සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කර තිබේ.

සිය දියණිය ඉතා බරපතළ තත්ත්වයේ රෝහල් ගතව සිටින බැවින් මාස තුනකට ආසන්න කාලයක් ධීවර කටයුතු පිළිබඳ වැඩි සැලකිල්ලක් නොදැක්වූ බව පවසන හිමිකරු තම යාත්‍රාව නැවත ශ්‍රී ලංකාවට ගෙන්වා දෙන ලෙස රජයෙන් ඉල්ලීමක් කර ඇත.

මෙවැනි ධීවර බෝට්ටු කිහිපයක් රීයූනියන් දිවයිනේ ඇති අතර ඒවා නැවත ගෙන්වා ගැනීම සඳහා රාජ්‍යතාන්ත්‍රික මට්ටමින් සාකච්ඡා ආරම්භ කර ඇති බව ද ධීවර දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

තවත් තොරතුරු: