බැඳුම්කර: ඇප ලැබුණු අර්ජුන් ඇලෝසියස් සහ කසුන් පලිසේනට විදෙස් ගමන් තහනම්

අර්ජුන් මහේන්ද්‍රන් සහ අර්ජුන් ඇලෝසියස්

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

මහ බැංකු බැඳුම්කර නිකුතුවට අදාළ පරීක්ෂණ අවසන් වන කාල සීමාව පිළිබඳව අවිනිශ්චිත තත්ත්වයක් උද්ගතව ඇති හෙයින් එම කරුණ ඇතුළු කරුණු කිහිපයක් සුවිශේෂී කරුණු සේ සලකා වසරකට ආසන්න කාලයක් රිමාන්ඩ් භාරයේ පසුවන Perpetual Treasuries සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස් සහ ප්‍රධාන විධායක කසුන් පලිසේන ඇප මත මුදා හැරීමට අධිකරණය නියෝග කළේය.

ඇප නියෝගය ප්‍රකාශයට පත්කරමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න සඳහන් කළේ, එක් එක් සැකකරු වෙනුවෙන් රුපියල් ලක්ෂ 10 ක මුදල් ඇප සහ රුපියල් මිලියන 20 බැගින් වූ ශරීර ඇප හතරක් මත ඔවුන් දෙදෙනා මුදාහරින බවය.

ඇපකරුවන් සිව් දෙනාගෙන් දෙදෙනෙකු සැකකරුවන්ගේ පවුලේ ළඟම ඥාතීන් විය යුතු බවට නියෝග කළ මහේස්ත්‍රාත්වරිය, සැකකරුවන්ගේ ජාතික හැඳුනුම්පත්වල පිටපත් අධිකරණය වෙත භාරදිය යුතු බවට ද නියෝග කළේය.

සැකකරුවන්ගේ විදෙස් ගමන් මුළුමනින්ම තහනම් කෙරුණ අතර, ඔවුන්ගේ විදේශ ගමන් බලපත්‍ර අධිකරණය වෙත භාර දිය යුතු බවට සහ සෑම ඉරු දිනකම පෙරවරු 9ත් 12ත් අතර රහස් පොලිසිය වෙත වාර්තා කළ යුතු බවට සැකකරුවන්ට නියෝග කෙරිණ.

සැකකාර අර්ජුන් ඇලෝසියස් සම්බන්ධයෙන් ඇප ඉල්ලීම් ඉදිරිපත් කළ ඔහුගේ නීතිඥවරයා මීට පෙර අධිකරණයට දන්වා සිටියේ, සිය සේවාදායකයාගේ දරුවා මානසික ආතතියකින් පෙලෙන අතර ඔහුගේ බිරිඳ ද දැඩි මානසික ආතතියකට ලක් ව සිටින බවය.

පරීක්ෂණ ගැන 'අවිනිශ්චිත තත්වයක්'

ඒ බව තහවුරු කෙරෙන වෛද්‍ය වාර්තා ද නීතිඥවරයා විසින් අධිකරණය වෙත ඉදිරිපත් කරනු ලැබිණ.

සැකකාර කසුන් පලිසේන වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා ද අධිකරණයට දන්වා සිටියේ ඔහුගේ දරුවා නොමේරූ තත්ත්වයක පසුවන අතර ඔහුගේ බිරිඳ අනතුරකට ලක්වී ආබාධිත තත්ත්වයක පසුවන හෙයින් දරුවන් රැකබලා ගැනීමට ද අපහසු තත්ත්වයක් උද්ගතව ඇති බවය.

බැඳුම්කර කොමිෂන් සභාවේ වාර්තාව

ඡායාරූප මූලාශ්‍රය, President's office

මෙම වාතාවරණය මත සැකකරුවන් ඔවුන්ගේ දරුවන් සහ බිරින්දෑවරුන් සමග සමීපව කල් ගෙවීම ඉතා වැදගත් බැවින් එය සුවිශේෂී කරුණක් ලෙස සලකා ඔවුන් ඇප මත මුදාහරින ලෙස සැකකරුවන් දෙදෙනා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු පොදුවේ ඉල්ලා සිටියහ.

තීන්දුව ප්‍රකාශයට පත් කරමින් ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය අවධාරණය කළේ විත්තියේ නීතිඥවරු විසින් ඉදිරිපත් කරන හේතු සැකකරුවන් ඇප මත මුදා හැරීම සඳහා බලපාන සුවිශේෂී කරුණු සේ තමන් පිළිගන්නා බවය.

මෙම සැකකරුවන් දෙදෙනාගේ බිරින්දෑවරු හා දරුවන් මුහුණ පා සිටින මානසික සෞඛ්‍යය තත්වයන් මත ස්වාමි පුරුෂයන් ලෙස ඔවුන් එම පවුලේ සාමාජිකයින් සමග ළඟින් සිටීම ඉතා වැදගත් වන බව පෙන්වා දුන් මහේස්ත්‍රාත්වරිය, නඩුවේ කරුණු වාර්තා කර වසරකට වැඩි කාලයක් ගතවී තිබුණ ද එහි ප්‍රධාන සැකකරු වන අර්ජුන් මහේන්ද්‍රන් මෙතෙක් අත්අඩංගුවට ගැනීමට නොහැකි තත්වයක් උද්ගතව ඇති බව ද පෙන්වා දුන්නාය.

ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගෙන නොමැති වාතාවරණය මත මෙම පරීක්ෂණ කටයුතු කවදා අවසන් වේද යන්න පිළිබඳ අවිනිශ්චිත තත්ත්වයක් උද්ගතව ඇති බැවින් නඩුව අවසන් වනතුරු සැකකරුවන් දෙදෙනා රිමාන්ඩ් භාරයේ තබා ගැනීම යුක්ති සහගත නොවන බව ද මහේස්ත්‍රාත්වරිය සඳහන් කළාය.

මහ බැංකු බැඳුම්කර සිද්ධියට අදාළ අනුබලදීම සම්බන්ධයෙන් අර්ජුන් ඇලෝසියස් සහ කසුන් පලිසේන යන සැකකරුවන් ඉකුත් 2018 වසරේ පෙබරවාරි මස 4 වන දා රහස් පොලිසිය මගින් කොළඹ දී අත්අඩංගුවට ගෙන තිබිණ.

එතැන් පටන් මේ දක්වා ඔවුහු රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබ සිටියහ.

තවත් කියවන්න: