ශ්‍රී ලංකා මහ බැංකු බැඳුම්කර ගනුදෙනුව : මහේන්ද්‍රන්, ඇලෝසියස් ,පලිසේන "සැකකරුවෝ"

මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් සහ අර්ජුන් ඇලෝසියස්
ඡායාරූප ශීර්ෂ වැකිය, මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් සහ අර්ජුන් ඇලෝසියස්

දැඩි මතභේදයට තුඩුදී තිබෙන 'මහබැංකු බැඳුම්කර සිද්ධියේ' සැකකරුවන් ලෙස, හිටපු මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්, පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ සභාපති අර්ජුන් ඇලෝසියස් සහ එම සමාගමේ ප්‍රධාන විධායක අධ්‍යක්ෂ කසුන් පළිසේන යන පුද්ගලයින් නම් කිරීම සඳහා කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද රහස් පොලීසියට අවසර ලබා දුන්නේය.

රහස් පොලිසිය වෙනුවෙන් නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් පසුව කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න,මෙම නියෝග නිකුත් කළාය.

මහබැංකු බැඳුම්කර සිද්ධිය පිළිබඳව සොයා බැලූ ජනාධිපති කොමිසම සිදුකර තිබෙන නිර්දේශ මත, රහස් පොලිසිය පරීක්ෂණයක් ආරම්භකර ඇති බව නීතිපති දෙපාර්තමේන්තුවේ අතිරේක සොලිස්ටර් ජනරාල්වරයා අධිකරණය හමුවේ කියා සිටියේය.

මහබැංකු බැඳුම්කර පරීක්ෂණ වාර්තාව

ඡායාරූප මූලාශ්‍රය, PRESIDENT OFFICE

ඡායාරූප ශීර්ෂ වැකිය, මහබැංකු බැඳුම්කර පරීක්ෂණ වාර්තාව

එම පරීක්ෂණවල දී අදාළ සිද්ධියට මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්, පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ සභාපති අර්ජුන් ඇලෝසියස් හා එම සමාගමේ ප්‍රධාන විධායක කසුන් පළිසේන යන පුද්ගලයන් සම්බන්ධ බවට සැකකෙරෙන තොරතුරු අනාවරණය වී ඇති බැවින්, ඔවුන් සැකකරුවන් ලෙස නම් කිරීමට ඉඩදෙන මෙන්, රජයේ නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

කොළඹ කොටුව මහේස්ත්‍රාත්වරිය අර්ජුන් මහේන්ද්‍රන්, අර්ජුන් ඇලෝසියස් සහ කසූන් පළිසේන යන පුද්ගලයින් මහබැංකු බැඳුම්කර සිද්ධියේ සැකකරුවන් ලෙස නම් කිරීමට අවසර ලබා දුන්නේ එම ඉල්ලීම පිළිගනිමිනි.

දැනට සිංගප්පූරුවේ වාසය කරන්නේ යයි සැලකෙන මහබැංකු හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්ට පෙබරවාරි පහළොස් වනදාට ප්‍රථම ශ්‍රී ලංකාවට පැමිණ රහස් පොලිසිය වෙත කට උත්තරයක් ලබාදෙන නියෝගයක් නිකුත් කරන ලෙසත් රජයේ නීතිඥවරයා ඉල්ලීමක් කළේය.

බැඳුම්කර වාර්තාව ජනාධිපතිවරයා අතට

ඡායාරූප මූලාශ්‍රය, PMDNEWS.LK

ඡායාරූප ශීර්ෂ වැකිය, බැඳුම්කර වාර්තාව ජනාධිපතිවරයා අතට

එම ඉල්ලීම පිළිගත් මහේස්ත්‍රාත්වරිය අර්ජුන් මහේන්ද්‍රන්ට ලබන 15 වැනි දිනට ප්‍රථම ශ්‍රී ලංකාවට පැමිණ රහස් පොලිසියට කටඋත්තරයක් ලබා දෙන් ලෙස නියෝග කළාය.

මේ අතර ඊයේ (පෙබරවාරි 01) නීතිපතිවරයා කළ ඉල්ලීම පිළිගත් කොළඹ මහාධිකරණය, පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ බැංකු ගිණුම් තහනම් කරමින් නියෝගයක් ද නිකුත් කරනු ලැබ ඇත.

පසුගිය පුවත්: