දූෂිතයන්ට දඬුවම් කිරීමේ ඉතිහාසය ගැන මේ කරුණු දැන සිටියාද?

ඡායාරූප මූලාශ්‍රය, Maithripala sirisena/facebook
හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංගගේ පාලනය සමයේ අල්ලස් සහ දූෂණ කොමිෂන් සභා පනත සම්මත කරනු ලැබීමෙන් අනතුරුව, එම කොමිසම මගින් නඩු පවරනු ලැබ දඬුවම් දී තිබෙන්නේ සිව් දෙනෙකුට පමණක් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසයි.
බැඳුම්කර කොමිෂන් සභා වාර්තාවට අදාළ ඉදිරි පියවර පිළිබඳ සාකච්ඡා කිරීම පිණිස සඳුදා (ජනවාරි 29) ජනාධිපති කාර්යාලයේ පැවති විශේෂ පක්ෂ නායක රැස්වීමේ දී අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්, ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න ඒ බව හෙළි කළ බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය.
මාතලේ පැවති එක්සත් ජනතා නිදහස් සන්ධානයේ රැළියක් අමතමින් ඒ බව සඳහන් කළ ජනාධිපතිවරයා, එයට ප්‍රධානම හේතුව වූයේ මහින්ද රාජපක්ෂ පාලනය සමයේ අල්ලස් සහ දූෂණ පරීක්ෂණවලට ඉහලින්ම දේශපාලන බලපෑම් එල්ලවීම බවත් කියා සිටියේය.
"එදා උසාවියට, අලුත්කඩේට ටෙලිෆෝන් කෝල් දීල නඩු තීන්දු වෙනස් කෙරුව වගේ, ඕන අයට ඇප දුන්න වගේ, ඕන ය හිරේ දැම්ම වගේ අල්ලස් දූෂණ කොමිසමටත් බලපෑම් කරලා ලොකු ලොකු කට්ටිය හිටපු අය ඒවා ඔක්කොම දුර්වල කෙරුව. ඒ ආයතන දුර්වල කෙරුව," ඔහු පැවසීය.

ඡායාරූප මූලාශ්‍රය, Presidential secretariat
ශ්‍රී ලංකාවේ දේශපාලකයන්ගෙන් අඩක්ම දූෂිතයන් බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන එහිදී සඳහන් කළේය.
2008 සිටම බැඳුම්කර නිකුතුවලදී සහ වෙනත් ආකාරයෙන් මහා පරිමාණ වශයෙන් මහජන දේපොළ "කොල්ල කා ඇති" බව ද ජනාධිපතිවරයා පැවසීය.
"2008 ඉඳල 2016 වෙනකම් මේ මහා මුදල් මංකොල්ලය සිද්ද වෙලා තියෙනව."
තවත් කියවන්න:
"අසරණ වතු කම්කරුවාගේ ඉඳල, පුද්ගලික අංශයේ සේවකයන්ගේ සේවක අර්ථසාධක අරමුදල, දරුවන්ගේ මහපොළ ශිෂ්‍යත්ව අරමුදල, ඔබේ ජීවිත රක්ෂණය කරන දුප්පත් පොදු ජනතාවගේ සල්ලි, ඔබ බැංකුවට ගිහින් දාන ජාතික ඉතිරි කිරීමේ සල්ලි ... ඒ සල්ලි තමයි මේ මහා හොරකමේ මංකොල්ලයේ තියෙන්නේ."
මේ තත්වය යටතේ දූෂිතයන්ට දඬුවම් කිරීමේ සිය කැපවීම ඔහු අවධාරණය කළේය.
"ඒ සියලු දෙනාට දඬුවම් දීම කඩිනම් කිරීම සඳහාත්, ඒ විනාශ වෙච්ච මුදල් ඒ ආයතනවලින් ආපහු රජයට, ජනතාවට ලබාගැනීම සඳහාත් මම ඉතාම කඩිනම් වැඩපිළිවෙලක් හදල අවසන්. සියලු හොරුන්ට දඬුවම් දෙනවා, මොන පක්ෂේද, මොන තනතුරේද ඒක මට කිසිම ප්‍රශ්නයක් නැහැ."
පිටු අඩුද?
මේ අතර මහ බැංකු බැඳුම්කර නිකුතුව සම්බන්ධ ජනාධිපති කොමිසමේ වාර්තාවට අදාළව මේ වන විට කි‍්‍රයාත්මක කරමින් පවතින වැඩපිළිවෙළ පිළිබඳව ජනාධිපති කාර්යාලයේ පැවති රැස්වීමේදී නීතිපතිවරයා සහ මහබැංකු අධිපතිවරයා ද පක්ෂ නායක කරුණු ඉදිරිපත් කරන ලද බව ජනාධිපති කාර්යාලය පවසයි.
කොමිසමේ නිර්දේශවලට අනුව එහි ඉදිරි පියවර සඳහා අවශ්‍ය නව නීති සම්පාදනය සහ පවතින අණ පනත්වල සංශෝධනවලට අදාළව කෙටුම්පත් මේ වන විට සකසමින් පවතින බව ද එහිදී සඳහන් කෙරිණි.
1994 සිට මේ දක්වා සංශෝධනය වී නොමැති අල්ලස් හෝ දූෂණ චෝදනා කොමිෂන් සභා පනත සංශෝධනය කිරීමේ නීති කෙටුම්පත් සකස් කිරීම මේ වන විට අවසන් අදියරේ පවතින අතර, එය ඉදිරි සති කිහිපය තුළ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවත් කොමිෂන් සභාවේ නිගමනයන් හා නිර්දේශ මත ශී‍්‍ර ලංකා මහ බැංකුවේ කළයුතු වෙනස්කම්වලට අදාළව ද නව සැලැස්මක් මේ වන විට සකස් කරමින් පවතින බවත් නිලධාරීහු පක්ෂ නායකයන්ට දැනුම් දී තිබේ.
මහබැංකු බැඳුම්කර වාර්තාවේ පිටු අඩුවීමක් සිදුව ඇති බවට පළවන අදහස් පිළිබඳව ද කරුණු ඉදිරිපත් වූ අවස්ථාවේ නිලධාරීන් පෙන්වා දී තිබෙන්නේ එහි පිටු අඩුවීමක් සිදුව නොමැති අතර, ඊට අදාළව අනු ලිපි ලේඛන විශාල ප‍්‍රමාණයක් පවතින අතර, අදාළ නඩු කටයුතු කි‍්‍රයාත්මක වන තුරු රහස්‍ය භාවය ආරක්ෂා කළයුතු ලිපි ලේඛන පවතින බැවින් ඒවායේ රහස්‍ය භාවය සුරැකීමට සිදුව ඇති බවය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, එක්සත් ජනතා නිදහස් සන්ධානය, එක්සත් ජාතික පක්ෂය, ජාතික හෙළ උරුමය, ඊළාම් ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණ, ප්‍රජාතන්ත්‍රවාදී ජනතා ලිබරල් පෙරමුණ, ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ, ලංකා කම්කරු කොංග්‍රසය, ශ්‍රී ලංකා කොමියුනිට්ස් පක්ෂය ඇතුළු පක්ෂ නියෝජනය කරමින් පක්ෂ නායකයින් සහ නියෝජිතයින් රැස්වීමට එක්ව සිටියහ.














