අයහපත් කාලගුණය : පීඩාවට පත් සංඛ්‍යාව හැත්තෑ දහස ඉක්මවයි

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
තද වැසි පැවති කලාපයන්හි අනාරක්ෂිත සැඩ දියේ සහ ජලාශ ආශ්‍රිත පහළ වාරි කලාප තුළ දිය නෑමෙන් වැළකී සිටින ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ජනතාවගෙන් ඉල්ලා සිටී.
විශේෂයෙන් නත්තල් නිවාඩුවත් සමග නිවසින් බැහැර ගොස් සිටින දේශීය සංචාරකයන් දිය නෑමේදී ඉහත කී අනතුරුදායක තත්ත්වය පිළිබඳ දැනුවත්වී සිටීම වැදගත් වනු ඇත.
රාජාංගණය ජලාශයේ දිය නෑමට ගොස් සඳුදා (දෙසැ 24) එක් අයෙකු මරණයට පත් විය.
මේ වනවිට රාජාංගණය සහ ඉරණමඩු යන ජලාශවල වාන් දොරටු විවෘත කර ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කියා සිටී.
උතුර, මධ්‍යම සහ වයඹ යන පළාත්වල පවතින අයහපත් කාලගුණය හමුවේ පවුල් 23,265 කට අයත් පුද්ගලයන් 74,793 දෙනෙකු පීඩාවට පත්ව සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිකුත් කළ නිවේදනයක දැක්වේ.
ඉහත කී පිරිසෙන් 73,851 දෙනෙකු මුලතිව්, කිලිනොච්චිය, මන්නාරම, වව්නියාව සහ යාපනය යන දිස්ත්‍රික්කවලට අයත් අතර 11,000 කට ආසන්න ප්‍රමාණයක් තාවකාලික ස්ථාන තුළ රඳවා ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි පවසයි.


පීඩාවට පත් වූ ජනතාවට පීසු ආහාර සහ සෞඛ්‍ය පහසුකම් සැලසීමට කටයුතු කර ඇති බවත් ඔහු කියා සිටියේය.
උතුරු පළාතේ පැවති අයහපත් කාලගුණය හමුවේ හටගත් ජල ගැලීම්වලට කොටුවී සිටි පුද්ගලයන් බේරා ගැනීම සඳහා ත්‍රිවිධ හමුදාව සහ පොලිසියේ සහාය ලැබී තිබිණි.
මේ අතර අඟහරුවාදා (දෙසැ 25) උතුරු, නැගෙනහිර සහ උතුරු මැද යන පළාත්වලට වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇතිවිය හැකි බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවැකි පළ කරයි.
එමෙන්ම සෙසු ප්‍රදේශවලට ද පස්වරු 2.00 පසු වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයක දැක්වේ.
ගිගිරුම් සහිත වැසි ඇතිවන විට එම ප්‍රදේශවල තාවකාලික තද සුළං ඇති විය හැකි බවත් අකුණුවලින් සිදුවන අනතුරු අවම කර ගැනීම සඳහා කටයුතු කරන ලෙසත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.








