ශ්‍රී ලංකාවේ දේශපාලන අර්බුදය සහ විරෝධතා: “කලාකරුවන් වීදි බැසිය යුතු නෑ”

පසුගිය ඔක්තෝබර් 26 වෙනි දින ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් අගමැති රනිල් වික්‍රමසිංහ බලයෙන් පහකිරීමත් සමග එය නීති විරෝධී සහ ප්‍රජාතන්ත්‍ර විරෝධී බව පවසමින් බොහෝ දෙනා විවිවිධ උද්ඝෝෂණවල නිරත වූහ.
කලාකරුවන්, කලාකාරියන් විශාල පිරිසක් ද ඒ අතර සිටියහ.
විශේෂයෙන්ම මහ වැස්ස ද නොතකා සමනලී ෆොන්සේකා, නදී කම්මැල්ලවීර, ලංකා බණ්ඩාරනායක, රුවන්ති චිකේරා, කෞශල්‍යා ප්‍රනාන්දු, චාන්දනී සෙනෙවිරත්න සහ ට්‍රේසි හෝල්සිංගර් ඇතුළු කලාකාරියන් පිරිසක් කොළඹ ගාලු මුවදොර පිටියේ විරෝධතාවක නිරතවීම අවධානයට ලක්විය.
කෙසේ වුවත් අසාධාරණය හමුවේ "වීදි බැසීම" කලාකරුවන්ගේ කාර්යභාරය නොවන බව කලාකරුවන් යුවලකගේ අදහස වී තිබේ.
"වීදි බැසීමෙන් කරන්න පුළුවන් දේවල් සීමා සහිතයි"
කථිකාචාර්ය තරුපති මුණසිංහ සහ සම්මානලාභී සිනමා නිලි ගයනි ගිසන්තිකා ඒ බව කියා සිටියේ බීබීසී සිංහල සේවය සමග ෆේස්බුක් සජීව සංවාදයකට එක්වෙමිනි.
මෙහි අන්තර්ගතය නැත
වැඩිදුරටත් Facebook බලන්නබාහිර වෙබ් අඩවිවල අන්තර්ගතයට බීබීසී වගකියනු නොලැබේ.End of Facebook post
"එලියට බැහැල කෑගහන එක, වීදි බැසීම, අපිට අදාළ දෙයක් නෙවෙයි මොකද අපේ මාධ්‍ය කලාවනේ? ඒ නිසා කලා මාධ්‍යයෙන් තමයි අපි ඒ දේ කරන්න ඕන," සංගීතඥ තරුපති මුණසිංහ පැවසීය.
"වීදි බැසීමෙන් කරන්න පුළුවන් දේවල් ඉතාම සීමා සහිතයි," යනුවෙන් ද සඳහන් කළ ඔහු අවධාරණය කරන්නේ සමාජයේ ප්‍රගමනය සඳහා කලාකරුවා සටන් කළ යුත්තේ සිය මාධ්‍යය තුළින් බවය.
සංගීතඥයෙක්, පර්යේෂකයෙක් සහ ග්‍රන්ථ රචකයෙක් වන තරුපති, 2017 වසරේ සිට කැලණිය විශ්වවිද්‍යාලයේ සෞන්දර්ය කළා අංශයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්යවරයෙක් ලෙස සේවය කරයි.
වේදිකා සහ ටෙලි නාට්‍ය වෙනුවෙන් සංගීත නිර්මාණය කරමින් ජාතික මට්ටමේ සම්මාන හිමිකරගෙන ඇති තරුපති, 2018 වසරේදී සිය නවතම කෘතිය වූ 'සිංහල නාට්‍ය සංගීතයේ ප්‍රවණතා' නමැති පර්යේෂණ ග්‍රන්ථය එළිදැක්වූයේය.
තරුපති විවාහවී සිටින්නේ වේදිකා, සිනමා සහ ටෙලි නාට්‍ය නිළියක් වන ගයනි ගිසන්තිකා සමගය.
කලාකරුවන් විරෝධ ප්‍රකාශනය කළ යුත්තේ නිර්මාණ කිරීමෙන්ය යනුවෙන් සිය සැමියා ඒ සම්බන්ධයෙන් දරන මතය තමන් ද අනුමත කරන බව ගයනි ගිසන්තිකා බීබීසී සිංහල සේවය සමග කියා සිටියාය.

ඡායාරූප මූලාශ්‍රය, Facebook/Gayani_Gisanthika
"මාත් එක්ක වැඩකරන බහුතරයක් වීදි බහිනවා. ඒ වෙනුවෙන් වැඩ කරනවා. නමුත් මමත් හිතනවා අපිට ඒකෙන් අවස්ථාවක් තියෙයිද කියල. අනික අපි කවුද, අපි කොච්චර කෑගැහුවත් වැඩක් වෙයිද කියලා මටත් හිතෙනවා," ගයනි ගිසන්තිකා පැවසීය.
"මම හිතන්නේ බහිනවා නම් මුළු ලංකාවම එලියට බහින්න ඕන. ලොකු හඬක් තියෙන්න ඕන. ඒ නිසා අපිට ලොකු හඬක් දෙන්න පුළුවන් අපේ නිර්මාණ තුලින්."

ඡායාරූප මූලාශ්‍රය, Facebook/Gayani_Gisanthika
ලක්නව් හි භාත්කණ්ඩ සංගීත විද්‍යාපීඨයේ උපාධිධාරිනියක් වන ගයනි ගිසන්තිකා, ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් ඇතුළු අධ්‍යක්ෂකවරුන් කීපදෙනෙක් යටතේ චිත්‍රපට හයක පමණ රංගනයෙන් දායකත්වය ලබාදී ඇති අතර ටෙලි නාට්‍ය 30 කට අධික ප්‍රමාණයක විවිධ පරාසවල චරිත නිරුපනය කර තිබේ.
ධර්මසිරි බණ්ඩාරනායකගේ 'ට්‍රෝජන් අශ්වයෝ'ද ඇතුළු වේදිකා නාට්‍ය දහයක පමණ ඇය තම රංගන හැකියාව ප්‍රදර්ශනය කර ඇත.
මේ හේතුවෙන් වේදිකා, සිනමා සහ රුපවාහිනී සම්මාන රැසකින්ද ඇය පිදුම් ලැබුවාය.

ඡායාරූප මූලාශ්‍රය, Facebook/Gayani_Gisanthika
පසුගිය නොවැම්බර් මාසයේ පැවති තරුණ නාට්‍ය ශිල්පීන්ට සම්මාන ප්‍රදානය කිරීමේ උත්සවයකදී සුරින් චාමික සහ කසුන් චතුරංග තරුණ නාට්‍ය ශිල්පීන් දෙදෙනා එවක අමාත්‍ය පදවියකට පත්කරනු ලැබ සිටි උදය ගම්මන්පිල සහ දුමින්ද දිසානායක මන්ත්‍රීවරයා අතින් සම්මාන ගැනීම ප්‍රතික්ෂේප කිරීම, සමාජ මාධ්‍ය ජාල තුළ ප්‍රබල සංවාදයකට තුඩු දුන්නේය.
බීබීසී සිංහල සේවය ඒ පිළිබඳ විමසූ අවස්ථාවේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය තරුපති මුණසිංහ කියා සිටියේ එය අදාළ කලාකරුවන්ගේ ස්ථාවරය වුවත්, කලාකරුවන්ගේ කාර්යභාරය ප්‍රසිද්ධ විරෝධතා නොවන බව තමන්ගේ ස්ථාවරය බවය.
"තම තමන්ගේ පෞද්ගලික ලාභ, අලාභ අපේක්ෂාවෙන් වීදි බසින කලාකරුවා ගැන මම බොහොම කනගාටු වෙනවා. මොකද මම දැකල තියෙනව 1994 වකවානුවේ පටන් ඒ අයගේ වීදි බැසීම සහ ඔවුන්ගේ සුඛ විහරණය වුනේ කොහොමද කියල," තරුපති ප්‍රකාශ කළේය.
"කලාකරුවාගේ දේශපාලනය කියල කියන්නේ නිවැරදි අනාගත දැක්මකින් වැඩකරන පිරිසක් කියන එක මගේ මතය."
උදාහරණයක් ලෙස බර්ටෝල්ඩ් බ්‍රෙක් The Resistible Rise of Arturo Ui නම් නාට්‍යය රචනා කළේ ඇඩොල්ෆ් හිට්ලර්ට විරුද්ධව බව පෙන්වා දෙන තරුපති මුණසිංහ, හිට්ලර්ගේ පාලනයට එරෙහිව වීදි බැසීම වෙනුවට බර්ටෝල්ඩ් බ්‍රෙක් සිය නිර්මනාවලින් ඔහුට විරෝධය පළ කළ බව වැඩිදුරටත් පෙන්වා දුන්නේය.
'අනෙකාට ගරු කළ යුතුයි'

ඡායාරූප මූලාශ්‍රය, Facebook/Gayani_Gisanthika
ශ්‍රී ලංකාවේ යුද ගැටුම් ඇතුළු ජාතීන් අතර සම්බන්ධතා ගැන අදහස් දක්වමින් තරුපති මුණසිංහ කියා සිටියේ, විශේෂයෙන්ම "අනෙකාට ගරු කිරීම" සම්බන්ධයෙන් ශ්‍රී ලාංකිකයන් දැනට වඩා අවධානය යොමු කළ යුතු බවය.
"දෙමළ කතා කරන ජනතාවත් ලංකාවේ ඉන්න ඕන. ලංකාව කියන්නේ අපේ විතරක් තැනක් නොවෙයි, ලංකාව කියන්නේ අපි සියලු දෙනාගේම රට," ඔහු පැවසීය.
"අනෙකාගේ ගෞරවය සහ සිතුම්, පැතුම්" තැකීමක් නොකිරීම වර්තමානයේ ශ්‍රී ලංකාවේ දක්නට ලැබෙන තත්වය බව ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය තරුපති මුණසිංහගේ අදහසය.
"ඉතින් මේ මොහොතේ කලාකරුවෙක් හැටියට මම දකින එකම දේ, අනෙකාටත් අපි ගරුකරන්න ඕන. අනෙකාට ගරු කරන රටක් වෙනුවෙන් අපි ප්‍රථමයෙන් පෙනී ඉන්න ඕන."
එසේ "අනෙකාට ගරු නොකිරීමේ" සහ "අනෙකාගේ අභිමානය ආරක්ෂා නොකිරීමේ" ක්‍රියාවලිය ශ්‍රී ලංකාවේ දශක ගණනාවක යුද ගැටුම්වලට තුඩු දුන් එක් හේතුවක් බව ඇතැම් දේශපාලන විශ්ලේෂකයන් ද පෙන්වා දී තිබේ.
ශ්‍රී ලංකාවේ සිනමා කර්මාන්තය මුහුණ දී සිටින වාතාවරණය, සිංහල නාට්‍ය කලාවේ විකාශය සහ නාට්‍ය සංගීතයේ ප්‍රවණතා ඇතුළු අංශ සම්බන්ධ සිය පර්යේෂණ පිළිබඳව ද ගයනි ගිසන්තිකා සහ තරුපති මුණසිංහ දීර්ඝව අදහස් දැක්වූහ.









