"කිලිනොච්චිය පුරාවිද්‍යා උරුමයක් විනාශ කොට නෑ"- මන්ත්‍රී ශිවඥානම් ශ්‍රීධරන්

කිලිනොච්චිය දිස්ත්‍රික්කය තුළ කිසිදු ආකාරයක පුරාවිද්‍ය උරුමයක් විනාශ කිරීමට තමන් කටයුතු කොට නොමැති බව දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ශිවඥානම් ශ්‍රීධරන් පවසයි.
කිලිනොච්චිය සංවර්ධන වැඩසටහන යටතේ කරච්චි ප්‍රාදේශීය සභාව, කිලිනොච්චිට ඩිපෝ හන්දිය ප්‍රදේශයේ පැවති යුද හමුදාව විසින් යුද්ධයෙන් පසුව නිමකොට තිබු ගොඩනැගිල්ලක කොටසක් ඉවත් කිරීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ නැගෙන චෝදනාවන්ට පිළිතුරු සපයමින් ඔහු මෙසේ පැවසීය.
"දකුණේ ඇතැම් පිරිස් කිලිනොච්චිය පුරාවිද්‍ය උරුමයක් විනාශ කොට ඇති බවට ප්‍රකාශ කරමින් අසත්‍ය වපුරනවා."
මේ සම්බන්ධයෙන් බීබීසී සිංහල සේවය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ප්‍රාදේශීය උසස් නිලධාරියෙකු ඇමතූ අතර, එය පුරාවිද්‍යා ගොඩනැගිල්ලක කොටසක් ලෙස හඳුන්වාදීම වැරදි බව ඔහු පැවසීය.
"මේක යුද්ධය අවසන් වීමත් සමග හමුදාව පුරාවිද්‍යාව සහ මධ්‍යම සංස්කෘතික අරමුදල සංරක්ෂණ කටයුතු සඳහා භාවිත කරන 'ස්ථූප ගඩොල්'වලට සමාන පැතලි ගඩොල්වලින් කළ ඉදිකිරීමක්, එහෙම නැතුව පුරාවිද්‍යාත්මක වටිනාකමක් සහිත ගොඩනැගිල්ලක් නෙවෙයි," ඔහු ප්‍රකාශ කළේය.

ඡායාරූප මූලාශ්‍රය, facebook
කිලිනොච්චිය සංස්කෘතික මණ්ඩපය හා කිලිනොච්චිය චන්ද්‍රන් පොදු උද්‍යානය ආසන්නයේ පැවති කිසියම් ගොඩනැගිලක කොටස් ඉරිදා (සැප්. 16) කරච්චි ප්‍රාදේශීය සභා නිලධාරීන් විසින් ඉවත් කරනු ලැබු අතර, අදාළ අවස්ථාවට කිලිනොච්චිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශිවඥානම් ශ්‍රීධරන් ද සහභාගි වී සිටියේය.
සිද්ධිය සම්බන්ධයෙන් කරච්චි ප්‍රාදේශීය සභා නිලධාරීන්ගෙන් විමසීමේදී ඔවුන් පැවසූවේ කිලිනොච්චිය දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීමේ අවසරය මත සිදුකරන සංවර්ධන කටයුතු වෙනුවෙන් අදාළ ගොඩනැගිලි කොටස ඉවත් කළ බවය.
කෙසේ නමුත් මෙය පුරාවිද්‍යා භූමියක් බවත් එය විනාශ කිරීම ශ්‍රී ලංකාවේ බෞද්ධ උරුමය විනාශ කිරීමේ වැඩ පිළිවෙලේ කොටසක් බවත් ප්‍රකාශ කරන වීඩියෝවක් සහ ඡායාරූප සමාජ මාධ්‍ය ඔස්සේ සීග්‍රයෙන් සංසරණය වෙමින් පවතී.

ඡායාරූප මූලාශ්‍රය, Facebook/Sobitha_Malwane

ඡායාරූප මූලාශ්‍රය, Facebook/Viharamahadevi_Parapura
ගැටලුව සම්බන්ධයෙන් කළ විමසීම්වලදී, කිලිනොච්චිය ප්‍රදේශවාසීන් පැවසූවේ අදාළ ස්ථානය තුළ යුද්ධයෙන් අනතුරුව ආරක්ෂක අංශ ඉදිකිරීම් සිදුකොට තිබූ බවත්, ප්‍රදේශයේ දේශපාලන නායකයින් එළැඹෙන පළාත් සභා මැතිවරණය ඉලක්ක කරගනිමින් දේශපාලන වාසි ගැනීම සඳහා යුද හමුදාව කළ ඉදිකිරීම් ඉවත් කරමින් මවා පෑමක් සිදුකරන බවය.










