ශ්‍රී ලංකාවේ ඔත්පල වූ අලිඇතුන් වෙනුවෙන් මුදල් රැස් කිරීම: "පරිසරයේ නාමයෙන් මුදල් හම්බ කරනවා නම් බරපතල වරදක්"

ඡායාරූප මූලාශ්‍රය, DWC Our Page
මිනිස් ක්‍රියාකාරකම් හමුවේ තුවාල ලබා ඔත්පල වූ වනඅලින්ට ආහාර සහ ප්‍රතිකාර දීමට බව පවසමින් ඇතැම් පුද්ගලයන් සහ සංවිධාන සමාජ ජාල ඔස්සේ නීතිවිරෝධී ලෙස මුදල් එක්රැස් කරන බව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.
හක්කපටස් කෑම හේතුවෙන් තුවාල ලබා සිටින ගෝමරංකඩවල ප්‍රදේශයේ ඇතින්නියකට ආහාර දීමට යයි පවසමින් යමෙකු ෆේස්බුක් සමාජ ජාලය ඔස්සේ මුදල් රැස් කරන බවට තමන් වෙත තොරතුරු ලැබී ඇති බව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ත්‍රිකුණාමලය කලාපය භාර සහකාර අධ්‍යක්ෂ ලලිත් වික්‍රමආරච්චි කියා සිටී.
මේ වනවිට තුවාල ලැබූ අලියාට නිසි වෛද්‍ය ප්‍රතිකාර දෙමින් සිටින බව ද ඔහු සඳහන් කරයි.
"පශු වෛද්‍ය නිර්දේශ අනුව මේ වෙලාවේ මේ අලියට ආහාර ගැනීම, ජලය පානය කිරීම අසීරු වී තිබෙනවා. මොකද හක්ක පුපුරලා තිබෙන්නේ," යනුවෙන් ඔහු කියා සිටියේ බීබීසී සිංහල සේවය වෙත අදහස් දක්වමිනි.
වන සතෙකු සම්බන්ධයෙන් යම් කිසි බාහිර පාර්ශ්වයක් මැදිහත් වී කටයුතු කරන්නේ නම් වනජීවී පනතට අනුව, වනජීවී සංරක්ෂණ අධ්‍යක්ෂ ජෙනරාල්වරයාගෙන් අවසර ලබා ගත යුතු බව ත්‍රිකුණාමලය කලාපය භාර සහකාර අධ්‍යක්ෂවරයා පෙන්වා දෙයි.
තුවාල ලබා සිටින ඇතින්නට ආහාර දීම සඳහා මුදල් බැර කිරීමට අදාළ පුද්ගලයා බැංකු ගිණුම් අංකයක් ද දක්වා ඇති බවට තොරතුරු වාර්තා වී ඇතැයි ද ඔහු පැවසීය.
"ඒ වගේ අවසරයක් නැතිව යම් කෙනෙකුට එවැනි මැදිහත්වීමක් කරන්න බැහැ. සතෙක් සම්බන්ධ කරගෙන යම් ආකාරයක මුදල් එක්රැස් කිරීමක් සිදු කරන්නේ නම් ශ්‍රී ලංකාවේ පවතින නීතියට අනුව එය බරපතල වරදක්."
ඒ සම්බන්ධයෙන් සොයා බලන ලෙස තමන් ගෝමරංකඩවල පොලිසියෙන් ඉල්ලීමක් කර ඇති බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
බීබීසී සිංහල සේවය කළ විමසීමකදී ගෝමරංකඩවල පොලිස් ස්ථානාධිපති ඒපීපී ද සිල්වා කියා සිටියේ ඒ පිළිබඳ ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් අනතුරුව විමර්ශනයක් සිදු කිරීමට බලාපොරොත්තු වන බවය.
තුවාල ලැබූ වන සතුන්ට ආහාර දෙන බව පවසමින් සමාජ ජාල ඔස්සේ මුදල් එක්රැස් කිරීමේ ජාවාරමක් පැවතිය හැකි බවට ඔහු සැක පළ කරයි.
මීට ඉහතදී ද ගෝමරංකඩවල ප්‍රදේශයේ තුවාල ලබා සිටි අලියෙකුට ආහාර ලබා දීම සඳහා යයි පවසමින් යම් කණ්ඩායමක් මුදල් රැස් කර ඇතැයි වාර්තා වී ඇති බව ද ගෝමරංකඩවල පොලිසිය සඳහන් කරයි.

ඡායාරූප මූලාශ්‍රය, DWC Our Page
වන සත්ව ඝාතන සහ හිංසා සම්බන්ධයෙන් කෙරෙන විමර්ශන කටයුතුවලදී අපරාධකරුවන් සොයා ගැනීම සඳහා ෆේස්බුක් ඇතුළු සමාජ ජාල ඔස්සේ විශාල සහයක් ලැබේ.
එහෙත් තුවාල ලැබූ සතුන්ට ආහාර හෝ පහසුකමක් සලසන බව පවසමින් නීතිවිරෝධී ලෙස මුදල් එක්රැස් කරන පුද්ගලයන් සම්බන්ධයෙන් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට හෝ පොලිසියට තොරතුරු සපයන ලෙස ත්‍රිකුණාමලය කලාපය භාර සහකාර වනජීවී අධ්‍යක්ෂ ලලිත් වික්‍රමආරච්චි ජනතාවගෙන් ඉල්ලා සිටී.
"අවංකව පරිසරයට, වන සතුන්ට ආදරය කරන පුද්ගලයන් ආදරයෙන් වැළඳ ගන්න අප සූදානම්. නමුත් පරිසරයේ නාමයෙන් මුදල් හම්බ කරනවා නම් ඒක බරපතල වරදක්. එවැනි පුද්ගලයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස අප පොලිසියෙන් ඉල්ලා සිටියා. ඔවුන්ට එරෙහිව කටයුතු කරන ලෙස ගරු අධිකරණයෙන් ඉල්ලා සිටීමටත් අප බලාපොරොත්තු වෙනවා,"
වන සතුන්ගේ සුබ සාධනය වෙනුවෙන් කටයුතු කිරීම සඳහා අවංක චේතනාවක් ඇති පුද්ගලයන්ට ඒ සම්බන්ධයෙන් අවසර ලබා ගැනීම සඳහා වනජීවී අධ්‍යක්ෂ ජෙනරාල්වරයා වෙත ලිඛිත ඉල්ලීමක් කළ හැකි බවත් ඔහු පෙන්වා දෙයි.

ඡායාරූප මූලාශ්‍රය, DWC Our Page
පසුගිය කාලය තුළ හක්කපටස් කෑම හේතුවෙන් මරණයට පත් අලිඇතුන් පිළිබඳ විවිධ ප්‍රදේශවලින් වාර්තා විය.
පශු වෛද්‍යවරුන් පවසන පරිදි වෙඩි තැබීම හැරුණු කොට වැඩි වශයෙන්ම අලි මිය යන්නේ හක්කපටස් කා තුවාල ලැබීම හේතුවෙනි.
විශේෂයෙන් අලි පැටවුන් හක්කපටස්වලට ගොදුරු වීමේ අවදානම ඉහළ බව වනජීවී පශු වෛද්‍ය නිලධාරී සංගමයේ පශු වෛද්‍ය විජිත පෙරේරා මීට ඉහතදී බීබීසී සිංහල සේවය වෙත අදහස් දක්වමින් පැවසීය.
"ඒ ගොල්ලෝ පොඩි දෙයක් හම්බවුනත් සෙල්ලමට කටේ දාගන්නවා. හක්කපටස් කියන්නෙත් පුපුරන උපකරණයක්. කුතුහලේ නිසා හක්කට තියලා විකනවා. එතකොට තමයි පුපුරන්නේ," යනුවෙන් ඔහු එහිදී වැඩිදුරටත් සඳහන් කළේය.
පොදු දේපළ යටතට ගැනෙන අලිඅතුන් ඝාතනය කිරීම හෝ ඊට උත්සාහ කළ බවට චෝදනාවට ලක්වන පුද්ගලයෙකුට අධිකරණයට ඉදිරිපත් කර නඩු විභාගය අවසන් වන තෙක් ඇප නොලැබේ.
එමෙන්ම හක්කපටස් නිෂ්පාදනය කළ පුද්ගලයෙකුට පීඩාකාරී ආයුධ පනත/ පුපුරන ද්‍රව්‍ය ආඥා පනත යටතේ නඩු පැවරිය හැකි බව ගෝමරංකඩවල පොලිසිය පැවසීය.
හක්කපටස් නිෂ්පාදනය කිරීම සම්බන්ධයෙන් මේ වන විට සැකකරුවන් දෙදෙනෙකුට එරෙහිව නඩු පවරා ඇති බව කී ගෝමරංකඩවල පොලිසිය ඉහත කී ඇතින්නට හක්කපටස් දුන් සැකකරුවන් සොයා පරීක්ෂණ පැවැත්වෙන බව සඳහන් කළේය.













