ශ්‍රී ලංකාවේ හීලෑ ඇත් පරපුර ගැන මේ කරුණු දැන සිටියාද?

නැදුන්ගමුවේ රාජා

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ශ්‍රී ලංකාවේ අලි ඇත්තු නිතර පුවත් මවති.

පසුගියදා අවස්ථා දෙකක දී සද්දන්තයන් තිදෙනෙකු මුහුදු දියඹට යාම ජාත්‍යන්තර පුවතක් බවට පත් විය.

අලි මුහුදු ගියේ ඇයි යන්න පිළිබඳ සමාජ ජාල ඔස්සේ ද විවිධ අදහස් පල විය.

එමෙන්ම මහනුවර දළදා පෙරහැර මංගල්‍ය යෙදී ඇති ඇසළ මාසය ද අලි ඇතුන් පිළිබඳ කතා මවන මාසයකි.

මහනුවර ඇසළ මහා පෙරහැර සඳහා අලි ඇතුන් 75 දෙනෙකු පමණ සහභාගී වනු ඇති බව ශ්‍රී දළදා මාලිගයේ පරිපාලනය පවසයි.

කෙසේ නමුත් ඇසළ මහා පෙරහැරේ දළදා කරඬුව වැඩමවීම සඳහා සුදුසුකම් සහිත ඇතුන්ගේ හිඟයක් පවතින බව දළදා මාලිගයේ පරිපාලනය පසුගියදා පවසා තිබිණි.

ශ්‍රී දළදා මාලිගයේ ඇත් පන්තිය භාරව කටයුතු කරන ප්‍රදීප් මියනපලාවන මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ වාසනා ඇතා සහ නැදුම්ගමුවේ රාජා මෙවර මහනුවර ඇසළ මහා පෙරහැරට සහභාගී නොවන බැවින් එම කටයුත්ත දළදා මාලිගයේ ඉන්ද්‍රරාජා ඇතාට පමණක් පැවරෙනු ඇති බවය.

ශ්‍රී ලංකාවේ වෙසෙන හීලෑ ඇතුන් පිළිබඳ මේ කරුණු දැන සිටියාද? (මූලාශ්‍ර: ශ්‍රී දළදා මාලිගයේ මාධ්‍ය කාර්යාංශය)

ඉන්දි රාජා - ශ්‍රී දළදා මාලිගාව

ඉන්දි රාජා

ඡායාරූප මූලාශ්‍රය, SRI DALADA MALIGAWA

වයස අවුරුදු 40 ක් පමණ වන ඉන්දි රාජා ඉන්දියාවේ හිටපු අග්‍රාමාත්‍ය රජිව් ගාන්ධි විසින් ශ්‍රී දළදා මාළිගාවට පූජා කර තිබේ.

සිංහ රාජා - ශ්‍රී දළදා මාලිගාව

සිංහ රාජා

ඡායාරූප මූලාශ්‍රය, SRI DALADA MALIGAWA

යුද සමයේ සටන් පැවති කලාපයක රංචුවෙන් මගහැරී අතරමංව සිටියදී ශ්‍රී ලංකා යුද හමුදාවේ සිංහ රෙජිමේන්තුව විසින් මුදා ගෙන පසුව ශ්‍රී දළදා මාළිගාවට පූජා කර තිබේ.

කාවේරි රාජා - ශ්‍රී දළදා මාලිගාව

කාවේරි රාජා - ශ්‍රී දළදා මාලිගාව

ඡායාරූප මූලාශ්‍රය, SRI DALADA MALIGAWA

වයස අවුරුදු 24 පමණය. ඉන්දියාවේ උපත ලද කාවේරි රාජා ඉන්දියාවේ අග්‍රාමාත්‍යවරයෙකුව සිටි අතල් බිහාරි වජ්පායි විසින් ශ්‍රී දළදා මාළිගාවට පූජා කර තිබේ.

බුරුම රාජා - ශ්‍රී දළදා මාලිගාව

බුරුම රාජා

ඡායාරූප මූලාශ්‍රය, SRI DALADA MALIGAWA

වයස අවුරුදු 30 පමණය. මියන්මාර රජය විසින් ශ්‍රී දළදා මාළිගාවට පූජා කර තිබේ.

කෝට්ටේ රාජා - කෝට්ටේ රජ මහා විහාරය

කෝට්ටේ රාජා

ඡායාරූප මූලාශ්‍රය, SRI DALADA MALIGAWA

කෝට්ටේ රාජා මියන්මාරයේ උපත ලද හස්තියෙකි.

මුතු රාජා - කන්දේ විහාරය

මුතු රාජා

ඡායාරූප මූලාශ්‍රය, SRI DALADA MALIGAWA

අලුත්ගම කන්දේ විහාරයට අයත් මුතු රාජා ශ්‍රී ලංකාවට පරිත්‍යාග කර ඇත්තේ තායිලන්ත රජය විසිනි.

මිගාර - ශ්‍රී දළදා මාලිගාව

මිගාර

ඡායාරූප මූලාශ්‍රය, SRI DALADA MALIGAWA

වයස අවුරුදු 22 පමණ වේ. දළදා මාලිගයේ ඇත් පන්තියේ සිටින ලාබාලතම හස්තියෙකි. උඩවලව ඇත් අතුරු සෙවණෙන් ශ්‍රී දළදා මාලිගාව වෙත පූජා කොට ඇත්තේ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග විසිනි.

කණ්ඩුල - කැලණිය රජ මහා විහාරය

කණ්ඩුල

ඡායාරූප මූලාශ්‍රය, SRI DALADA MALIGAWA

ශ්‍රී ලංකාවේ විශාලතම දළ යුගලයක් හිමි සද්දන්තයන් අතර ප්‍රමුඛස්ථානයේ පසු වේ. තායිලන්ත රජය විසින් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කර තිබේ.

මියන් රජා - ශ්‍රී දළදා මාලිගාව

මියන් රාජා

ඡායාරූප මූලාශ්‍රය, SRI DALADA MALIGAWA

වයස අවුරුදු 40 පමණ වේ . මියන්මාර රජය විසින් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කරනු ලැබූ හස්තියෙකි.

විජය රාජා - ශ්‍රී දළදා මාලිගාව

විජය රාජා

ඡායාරූප මූලාශ්‍රය, SRI DALADA MALIGAWA

තායිලන්තයේ හිටපු රජු විසින් දළදා මාලිගාවට පරිත්‍යාග කරනු ලැබූ හස්තියෙකි.

වාසනා - රුහුණු කතරගම මහා දේවාලය

වාසනා

ඡායාරූප මූලාශ්‍රය, SRI DALADA MALIGAWA

වාසනා ඇතා ශ්‍රී ලංකාවේ උපත ලද හස්තියෙකි.

නැදුන්ගමුවේ රාජා - හර්ෂ ධර්මවිජය

නදුම්ගමුවේ රාජා

ඡායාරූප මූලාශ්‍රය, SRI DALADA MALIGAWA

වයස අවුරුදු 72 පමණ වේ. ඉන්දියාවේ මහරාජාවරයෙකු විසින් නීලම්මහර වේද හාමුදුරුවන් වෙත තුටු පඬුරක් වශයෙන් පරිත්‍යාග කරන ලද හස්තියෙකි. ශ්‍රී ලංකාවාසීන් අතර ගෞරවාදරයට පත් වූ නැදුන්ගමුවේ රාජා මහනුවර වෙත පැමිණෙන්නේ පාගමනෙනි.

මේ අතර නිසි බලපත්‍ර නොමැතිකම හේතුවෙන් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන වනජීවී දෙපාර්තමේන්තුව භාරයට පත් කරන ලද අලි ඇතුන් 15 දෙනෙකු මහනුවර ඇසළ මහා පෙරහැර සඳහා පමණක් මුදාහැරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය පසුගියදා නියෝග කළේය.

පෙරහැර කටයුතු සඳහා අලි ඇතුන් යොදා ගැනීමෙන් එම සතුන් වධහිංසාවට ලක් වන බවට සත්ව අයිතීන් වෙනුවෙන් පෙනී සිටින සංවිධාන චෝදනා කරති.