විශ්වාසභංගයෙන් පසු දේශපාලනය

දේශපාලනය

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

අගමැතිට එරෙහි විශ්වාසභංග යෝජනාවේ දී ඡන්දය දීමෙන් වැළකී සිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ඇමතිවරුන් සමග එක්ව 'යහපාලන ජාතික ආණ්ඩුව' ඉදිරියට පවත්වාගෙන යන බව එක්සත් ජාතික පෙරමුණ පවසයි.

විශ්වාසභංග යෝජනාවට සහය පළ කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අමාත්‍යවරුන් පිරිස අනිවාර්යයෙන් ආණ්ඩුවෙන් ඉවත් කිරීමට කටයුතු කරන බව අමාත්‍ය රාජිත සේනාරත්න බීබීසි සිංහල සේවයට අදහස් දක්වමින් පැවසුවේය.

"මේ පිරිස ඉවත් කරලා, අලුත් කැබිනට් මණ්ඩලයක් හදන්න දැන් සාකච්ඡා පැවැත්වෙනවා, ලබන සතියේ මුල එය සිදු වෙයි," අමාත්‍යවරයා පැවසුවේ.

එස්. බී. දිසානායක, සුසිල් ප්‍රේමජයන්ත, දයාසිරි ජයසේකර, ඩබ්ලිව්ඩි.ඩි.ජේ. සෙනවිරත්න, ඩිලාන් පෙරේරා, චන්දිම වීරක්කොඩි, අනුර ප්‍රියදර්ශන යාපා, සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ, තිලංග සුමතිපාල, ලක්ෂ්මන් යාපා අබේවර්ධන ඇතුළු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැති ඇමතිවරුන් පිරිසක් යෝජනාවට පක්ෂව ඡන්දය ලබා දුන්හ.

Sri Lankan Politics

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, විශ්වාසභංග යෝජනාවට සහය පළ කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අමාත්‍යවරුන් පිරිස අනිවාර්යයෙන් ආණ්ඩුවෙන් ඉවත් කිරීමට කටයුතු කරන බව අමාත්‍ය රාජිත සේනාරත්න බීබීසි සිංහල සේවයට අදහස් දක්වමින් පැවසුවේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් දුමින්ද දිසානායක, එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් මහින්ද අමරවීර, අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා ඇතුළු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන රජයේ ඇමතිවරුන්ගෙන් බහුතරය ඡන්දය භාවිත කිරීමෙන් වැළකී සිටියහ.

අගමැතිවරයාට එරෙහිව ඡන්දය භාවිත කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ඇමතිවරුන් පවසන්නේ ඔවුන් ආණ්ඩුවෙන් සහ ඇමති තනතුරුවලින් ඉවත් වන්නේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ නියෝග අනුව පමණක් බවය.

අගමැතිවරයා පිළිබද අවිශ්වාසයක් තිබුණ ද කැබිනට් මණ්ඩලයේ රැඳී සිටිය හැකි බව එස්.බී දිසානායක අමාත්‍යවරයා පැවසීය.

මෙම ආණ්ඩුව එක්සත් ජාතික පක්ෂයේ ආණ්ඩුවක් නොවන අතර, අගමැතිවරයාට කැමති පරිදි ඇමතිවරුන් ඉවත් කළ නොහැකි බව අමාත්‍ය එස්.බී දිසානායක තවදුරටත් සඳහන් කළේය.

මේ තොරතුරුද දැනගන්න:

කෙසේ වෙතත්, විපක්ෂයේ අවශ්‍යතාවලට ආණ්ඩුව තුළ රැඳී සිටිමින් ආණ්ඩුවත් රටත් අස්ථාවර කිරීම මෙම පිරිසේ අරමුණ වුවත් එවැනි තත්ත්වයක් ඇති වීමට කිසි ලෙසකින් ඉඩ නොදෙන අතර, මින් පසු ජනතාවට ආණ්ඩුවෙන් ඇසෙන්නේ එක හඬක් පමණක් බව අමාත්‍ය රාජිත සේනාරත්න බීබීසී සිංහල සේවය වෙත පැවසුවේය.

Sri Lankan Politics

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, "අඩුපාඩු සකස් කරගෙන ජනතාව බලාපොරොත්තු වන වෙනස ඇති කරනවා"

මේ අතරතුර ඊයේ (04) රාත්‍රියේ දී එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් තිස්අට දෙනකු අත්සන් කළ ලිපියක් අගමැතිවරයාට ඉදිරිපත් කර ඇත.

එස්. බී. දිසානායක, සුසිල් ප්‍රේමජයන්ත, දයාසිරි ජයසේකර, ඩබ්ලිව්ඩි.ඩි.ජේ. සෙනවිරත්න, අනුර ප්‍රියදර්ශන යාපා හා චන්දිම වීරක්කොඩි යන අමාත්‍යවරුන් වහාම කැබිනට් මණ්ඩලයෙන් ඉවත් කරන ලෙස එම ලිපියෙන් ඉල්ලීමක් කර තිබුණි.

Sri Lankan Politics

"අපි මන්ත්‍රී කණ්ඩායමක් ලෙස දැඩි ක්‍රියාමාර්ග ගන්නවා ඔවුන් ඉවත් කළේ නැත්නම්," එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහමන් එම ලිපිය මාධ්‍ය වෙත ඉදිරිපත් කරමින් ප්‍රකාශ කළේය.

මෙයට ප්‍රතිචාර දක්වමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන අමාත්‍ය ඩිලාන් පෙරේරා පැවසුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇමතිවරුන් ආණ්ඩුවෙන් ඉවත් කර එම තනතුරු තමන්ට ලබාගැනීමට එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී කණ්ඩායම උත්සාහය කරන බවය.

විශ්වාසභංගයට විපක්ෂව ඡන්දය ලබාගැනීම සදහා අගමැතිවරයා මෙම මන්ත්‍රීවරුන් කණ්ඩායමට තනතුරු ලබාදීමට පොරොන්දු වී ඇති බවට ඔහු චෝදනා කරයි.

තවත් තොරතුරු:

ඊයේ විශ්වාසභංග යෝජනාවෙන් අනතුරුව තම මන්ත්‍රී කණ්ඩායම ඇමතූ අගමැති රනිල් වික්‍රමසිංහ පැවසුවේ එක්සත් ජාතික පක්ෂය තුළ පූර්ණ වෙනසක් ඇති කරන අතර, අඩුපාඩු සකස් කරගෙන ජනතාව බලාපොරොත්තු වන වෙනස ඇති කරන බවය.

එක්සත් ජාතික පක්ෂ ප්‍රතිසංවිධාන ක්‍රියාවලියට ඉඩ දෙමින් පක්ෂයේ තනතුරු දරන්නන් එම තනතුරුවලින් ඉල්ලා අස්වීම ආරම්භ වී ඇත. මහලේකම් අමාත්‍ය කබීර් හෂීම් සහ භාණ්ඩාගාරික එරාන් වික්‍රමරත්න මේ වන විට සිය ඉල්ලා අස්වීම් ලිපි බාරදී තිබේ.

මේ අතර අද උදෑසන ජනාධිපතිවරයා ඡන්දය ප්‍රකාශ කළ සහ නොකළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ඇමතිවරුන්ගේ කණ්ඩායම් වෙන වෙනම හමු වී ඇති බව ද වාර්තා විය.

විශ්වාසභංග යෝජනාවට සහය පළ කරන ලෙස නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන්ට පැවසූ ජනාධිපතිවරයා පසුව එය මඟ හැර සිටි බව නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් පැවසුවේය.

Sri Lankan Politics

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, "පනස් හතරක් ලෙස තිබූ තම පිලෙහි ඡන්ද සංඛ්‍යාව හැත්තෑව දක්වා ඉහළ යෑම ඒකාබද්ධ විපක්ෂයේ ජයග්‍රහණයක්"

කෙසේ වෙතත්, පනස් හතරක් ලෙස තිබූ තම පිළෙහි ඡන්ද සංඛ්‍යාව හැත්තෑව දක්වා ඉහළ යෑම ඒකාබද්ධ විපක්ෂයේ ජයග්‍රහණයක් බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පැවසුවේය.