විශ්වාසභංගය: ශ්‍රීලනිපබෙදීමක් - කොටසක් විපක්‍ෂයට?

සංරක්ෂිත ඡායාරූපයකි

ඡායාරූප මූලාශ්‍රය, EPA

ඡායාරූප ශීර්ෂ වැකිය, සංරක්ෂිත ඡායාරූපයකි

අගමැති රනිල් වික්‍රමසිංහට එරෙහි විශ්වාසභංග යෝජනාවට පක්ෂව තමා ඇතුළු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජික මන්ත්‍රීවරුන් විස්සක් පමණ ඡන්දය දෙන බව ආණ්ඩුව තුළ එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරන ජ්‍යෙෂ්ඨ ඇමතිවරයෙක් මෙයින් ස්වල්ප වෙලාවකට පෙර බීබීසී සිංහල සේවයට ප්‍රකාශ කළේය.

ඡන්ද විමසීම පැවැත්වීමට පෙර සිය නම හෙළිදරව් නොකරන මෙන් ඉල්ලා සිටි එම ජ්‍යෙෂ්ඨ ඇමතිවරයා විශ්වාසභංග යෝජනාවට පක්ෂව ඡන්දය දෙන එම කණ්ඩායම විපක්ෂයේ අසුන් ගන්නා බවත් සඳහන් කළේය.

අගමැතිවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාව විවාදයට ගැනෙමින් පවතින අතර එම යෝජනාව ඉදිරිපත් කරන ලද ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායම සහ ජනතා විමුක්ති පෙරමුණ තමන් ඊට පක්ෂව ඡන්දය දෙන බව ප්‍රකාශ කර ඇත.

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක රවුෆ් හකීම් ඇමතිවරයා තම කණ්ඩායම යෝජනාවට එරෙහි වෙන බව ප්‍රකාශ කළ අතර, දෙමළ ජාතික සන්ධානයේ එම්.ඒ.සුමන්තිරන් මන්ත්‍රීවරයා කියා සිටියේ ඇතැමුන් මෙම විශ්වාසභංග යෝජනාව තම කණ්ඩායමේ ඡන්ද මත තීන්දු වනු ඇතැයි ප්‍රකාශ කරන බවය.

එහෙත් ඔහු විශ්වාසභංග යෝජනාව විග්‍රහ කරන ලද්දේ රට අස්ථාවර කෙරෙන ක්‍රියාමාර්ගයක් ලෙසය.

විශ්වාසභංග යෝජනාව පිළිබඳ විවාදය ඇතැම් අවස්ථාවන්හි ඉතා උණුසුම් මුහුණුවරක් ගනිමින් ඇතත් සියලුම මහජන නියෝජිතයන් එකවිට සභාගර්භය තුළ දක්නට නොලැබේ.

අගමැතිවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාව පිලිබඳ ඡන්ද විමසීම අද,බාදා රාත්‍රී ශ්‍රී ලංකා වේලාවෙන් 9.30 ට පමණ පැවැත්වීමට නියමිතව ඇත.

එජාප නායකයාට එරෙහිව පක්‍ෂය තුළින් විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමට ඉඩකඩ ඇති බව මුලින්ම ප්‍රකාශ කරන ලද්දේ රාජ්‍ය ඇමති පාලිත රංගේ බණ්ඩාර විසිනි.
ඡායාරූප ශීර්ෂ වැකිය, එජාප නායකයාට එරෙහිව පක්‍ෂය තුළින් විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමට ඉඩකඩ ඇති බව මුලින්ම ප්‍රකාශ කරන ලද්දේ රාජ්‍ය ඇමති පාලිත රංගේ බණ්ඩාර විසිනි.

එක්සත් ජාතික පක්ෂ නායකත්වයේ වෙනසක් සිදු විය යුතුව ඇතැයි ප්‍රකාශ කළ එම පක්ෂයේ සාමජිකයන් දෙදෙනකු වන රාජ්‍ය ඇමති පාලිත රංගේ බණ්ඩාර සහ විදේශ රාජ්‍ය ඇමති වසන්ත සේනානායක අගමැතිවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාවට විරුද්ධව ඡන්දය දෙන බව මාධ්‍ය හමුවක දී සඳහන් කළහ.

තමා මෙම විශ්වාසභංග යෝජනාවේ දී ඡන්දය දීමෙන් වළකින බව පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියෝ පවසති.

සබැඳි පුවත්;