ෆේස්බුක් තහනම වහා ඉවත් කරන්න - මෛත්‍රිපාල සිරිසේන

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
ෆේස්බුක් සමාජ මාධ්‍ය ජාලය සඳහා පනවනද ලද තහනම වහාම ක්‍රියාත්මක වන පරිදි ඉවත්කරන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන නියෝග කරයි.
ශ්‍රී ලංකාවට පැමිණ සිටින ෆේස්බුක් ආයතනයේ නිලධාරීන් සහ ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු අතර බ්‍රහස්පතින්දා (මාර්තු 15) උදෑසන ජනාධිපති කාර්යාලයේදී සාකච්ඡාවක් පැවැත්විණි.
එහිදී ඇති කරගත් එකඟතාවකට අනුව මෙම තහනම් ඉවත්කිරීමට තීරණය කළ බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන විසින් නිකුත් කරන ලද ට්විටර් පණිවිඩයක සඳහන් විය.
මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.
End of X post
වෛරී ප්‍රකාශ සහ ප්‍රචණ්ඩත්වයට ඇති කිරීම සඳහා සිය සමාජ ජාලය තුළ අවකාශය ලබා නොදෙන බවට ෆේස්බුක් ආයතනයේ නිලධාරීන් එකඟවූ බව ඉහත කී ට්විටර් පණිවුඩයේ වැඩිදුරටත් දැක්වේ.
ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍යවල වෛරී ප්‍රකාශ වැළැක්වීම සඳහා නව නීති ගෙන එන බව අගමැති රනිල් වික්‍රමසිංහ බදාදා (මාර්තු 14) පැවසීය.
ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායම

ඡායාරූප මූලාශ්‍රය, iStock
පසුගිය දිනවල රටේ ඇතැම් ප්‍රදේශවල කලහකාරී සිදුවීම් හටගත් අවස්ථාවේදී මහජනතාව අතර වෛරී සහ වර්ගවාදී ප්‍රකාශ පතුරුවා හැරීමට සහ යම් ප්‍රචණ්ඩ ක්‍රියා සංවිධානය කිරීමට ඇතැම් පාර්ශවයන් විසින් නීති විරෝධී ලෙස සමාජ මාධ්‍ය ජාලා භාවිත කරනු ලැබූ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව වැඩිදුරටත් කියා සිටියේ එම තත්ත්වය පාලනය කිරීම සඳහා ඇතැම් සමාජ මාධ්‍ය මත තාවකාලික වාරණයක් පැනවීමට කටයුතු කළ බවය.
වයිබර් (Viber) කෙටි පණිවුඩ ජාලය වෙත පනවා තිබු තහනම අඟහරුවාදා (මාර්තු 13) මධ්‍යම රාත්‍රියේ සිට ඉවත් කරන ලද අතර වට්ස් ඇප් (WhatsApp) සඳහා පනවා තිබු තහනම බදාදා (මාර්තු 14) මධ්‍යම රාත්‍රියෙන් ඉවත් කෙරිණි.
මේ අතර සමාජ ජාල තහනමට ලක් කිරීම අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියට එල්ල කරන ලද තදබල පහරක් බව ඇතැම් සිවිල් ක්‍රියාධරයෝ පවසති.
ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායම විසින් එම තහනම හඳුන්වනු ලැබුවේ ප්‍රතිවාදී දේශපාලන මත යටපත් කිරීම සඳහා ආණ්ඩුව විසින් ගන්නා ලද පියවරක් ලෙසය.










