ෆේස්බුක් තහනම: ප්‍රචණ්ඩත්වයට වගකිව යුත්තේ වෛරයෙන් පිරුණු පුද්ගලයන් - ඇමෙරිකාව

සමාජ මාධ්‍ය ජාල

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

කියවීමේ කාලය: මිනිත්තු 3

මහනුවර දිස්ත්‍රික්කයේ පැතිර ගිය මුස්ලිම් විරෝධී ප්‍රචණ්ඩ ක්‍රියාවලින් අනතුරුව පනවනු ලැබ තිබෙන සමාජ මාධ්‍ය ජාල තහනම ඉවත් කරන දිනයක් පිළිබඳව ආණ්ඩුව මෙතෙක් තීරණයකට එළැඹ නොමැති බව ඉතා විශ්වාස කටයුතු ආරංචි මාර්ගයකින් බීබීසී සිංහල සේවයට අනාවරණය වේ.

ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍ය ජාල තහනම ඉක්මනින් ඉවත් කරන මෙන් විදේශීය රාජ්‍යතාන්ත්‍රිකයන් ශ්‍රී ලංකා ආණ්ඩුවෙන් ඉල්ලීමක් කර තිබෙන බව ද බීබීසී යට වාර්තා වේ.

මේ අතර ට්විටර් පණිවුඩයක් නිකුත් කරන ශ්‍රී ලංකාවේ සිටින ඇමෙරිකානු තානාපති අතුල් කෙෂප්, සමාජ මාධ්‍ය ජාල යනු මානව සම්බන්ධතා වෙනුවෙන් යොදා ගනු ලබන "අවිධිමත්" සහ "වෙනස් වෙමින් පවතින" මෙවලමක් වන නමුත්, ප්‍රචණ්ඩත්වය සහ නොඉවසීම පැතිරවීම සම්බන්ධයෙන් වගකිව යුත්තේ ඒ සඳහා සමාජ ජාල යොදාගන්නා "වෛරයෙන් පිරුණු පුද්ගලයන්" විනා සමාජ මාධ්‍ය ජාල නොවන බව සඳහන් කර තිබුණි.

Skip X post, 1
X අන්තර්ගතයට අවසරදීමට ඔබ එකඟ ද?

මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.

අනතුරු ඇඟවීමයි: බීබීසී නොවන වාර්තාවල වෙළෙඳ දැන්වීම් අඩංගු විය හැකිය

End of X post, 1

ප්‍රචණ්ඩ ක්‍රියා පැතිරීමත් සමග සමාජ මාධ්‍ය ජාල හරහා වෛරී ප්‍රකාශන මෙන්ම ප්‍රචණ්ඩත්වයට රුකුල් දෙන තොරතුරු හුවමාරු වීම මත සමාජ මාධ්‍ය ජාල අවහිර කිරීමට පසුගිය මාර්තු 07 වෙනි දින ආණ්ඩුව තීරණය කළේය.

නිවේදනයක් නිකුත් කරමින් විදුලි සංදේශ අමාත්‍ය හරින් ප්‍රනාන්දු කියා සිටියේ ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් මෙම "අතිවිශේෂ එහෙත් තාවකාලික" පියවර ගෙන ඇති බවය.

දින කිහිපයක් ඇතුළත (පැය 72ක්) අදාළ අවහිර කිරීම ඉවත් කරනු ඇතැයි ඒ අවස්ථාවේ බලාපොරොත්තු වූ නමුත්, එය ඉවත් කිරීම සම්බන්ධයෙන් ආණ්ඩුව මේ වනතුරුම (සෙනසුරාදා රාත්‍රිය) තීරණයකට එළඹී නැත.

තවත් කියවන්න:

මහනුවර එසේ ප්‍රචණ්ඩ ක්‍රියා හට ගැනුණේ පෙබරවාරි මාසයේ අග භාගයේ තෙල්දෙණිය නගරයේදී පහර කෑමට ලක් වූ දෙදරු පියෙක් මහනුවර ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මිය යාමත් සමගය.

ඔහුට පහර දී ඝාතනය කිරීම සම්බන්ධයෙන් සැකපිට මුස්ලිම් තරුණයන් පිරිසක් අත්අඩංගුවේ පසුවෙති.

Skip X post, 2
X අන්තර්ගතයට අවසරදීමට ඔබ එකඟ ද?

මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.

අනතුරු ඇඟවීමයි: බීබීසී නොවන වාර්තාවල වෙළෙඳ දැන්වීම් අඩංගු විය හැකිය

End of X post, 2

ශ්‍රී ලංකා ආණ්ඩුව සමාජ මාධ්‍ය ජාල අවහිර කිරීම බොහෝ විශ්ලේෂකයන්ගේ සහ ක්‍රියාකාරීන්ගේ දැඩි විවේචනයට ලක්විය.

BBC සිංහල සේවය සමඟ සාකච්ඡාවකට සහභාගී වූ සමාජ ජාල මාධ්‍ය පර්යේෂක චානුක වත්තේගම පෙන්වා දුන් පරිදි, ශ්‍රී ලංකාව තුළ මෙවැනි අවහිර කිරීමක් සිදු වූ පළමු අවස්ථාව මෙයවේ.

සාමාන්‍ය ජනතාවට සමාජ ජාල භාවිතය අවහිර කරනු ලැබුවත්, රටේ ප්‍රධාන නායකයන් තවදුරටත් ෆේස්බුක් වැනි සමාජ මාධ්‍ය ජාල දිගටම භාවිත කරන බව පර්යේෂිකාවක සහ ක්‍රියාකාරිනියක වන ඉරෝමි පෙරේරා මේ අතර පෙන්වා දී තිබුණි.

සමාජ මාධ්‍ය ජාල තහනම සිය ව්‍යාපාරික කටයුතුවලට ද දැඩිව බලපා තිබෙන බව සංචාරක කරමාන්තයේ නියුතු කිහිප දෙනකුම බීබීසී සිංහල සේවයට පැවසූහ.

වීඩියෝ ශීර්ෂ වැකිය, මුස්ලිම් ජනතාව ආරක්ෂා කළ භික්ෂු මෙහෙයුම

කෙසේ වුවත් සිකුරාදා මහනුවරදී බීබීසී සිංහල සේවය සමග අදහස් දැක්වූ හමුදාපති ලුතිනන් ජනරාල් මහේෂ් සේනානායක කියා සිටියේ මුස්ලිම් විරෝධී කෝලාහල මැඩ පැවැත්වීම පිණිස සමාජ මාධ්‍ය ජාල අවහිර කිරීම පිටිවහලක් වූ බවය.

සමාජ මාධ්‍ය ජාලවල කාර්යභාරය විය යුත්තේ සමාජයට නිසි තොරතුරු ලබාදීම විනා අසත්‍ය තොරතුරු ප්‍රචාරය කිරීම නොවිය යුතු බව ද ඔහු අවධාරණය කළේය.

මේ අතර ප්‍රචණ්ඩ ක්‍රියා හේතුවෙන් මාර්තු 06 වෙනි දින සිට රට පුරා පනවන ලද හදිසි නීතිය තවදුරටත් ක්‍රියාත්මක වන නමුත් එවක් පටන් රාත්‍රී කාලයේ මහනුවර දිස්ත්‍රික්කයේ පණවන ලද පොලිස් ඇඳිරි නීතිය සෙනසුරාදා (මාර්තු 10) රාත්‍රියේ පළමු වරට ක්‍රියාත්මක නොවේ.

හැකියාවක් තිබේ නම් තවදුරටත් ඇඳිරි නීතිය ක්‍රියාත්මක නොකරන මෙන් තමන් නිර්දේශ කළ බව ද හමුදාපති ලුතිනන් ජනරාල් මහේෂ් සේනානායක බීබීසී යට පැවසීය.

සමාජ මාධ්‍ය ජාල තහනම සංචාරක කර්මානතයට ද බලපා තිබේ

ඡායාරූප මූලාශ්‍රය, AFP

ඡායාරූප ශීර්ෂ වැකිය, සමාජ මාධ්‍ය ජාල තහනම සංචාරක කර්මානතයට ද බලපා තිබේ

ඇඳිරි නීතිය ඉවත් කරගන්නා ලද නමුත් තත්වය සම්පූර්ණයෙන්ම යථා තත්වයට පත් වී නොමැති බැවින් සමාජ මාධ්‍ය ජාල සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට ඉක්මන් නොවිය යුතු බව ආරක්ෂක බලධාරීන්ගේ මතය වී තිබෙන බව ද බීබීසී සිංහල සේවයට අනාවරණය වේ.

මහනුවර ප්‍රදේශයේ පැතිර ගිය ආගමික පදනමකින් යුත් ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් විමර්ශනය කිරීම පිණිස විශ්‍රාමික විනිශ්චයකාරවරුන් තිදෙනෙකුගෙන් සමන්විත ජනාධිපති පරීක්ෂණ කොමිසමක් පත්කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මේ අතර නිවේදනය කළේය.

ප්‍රචණ්ඩ ක්‍රියාවලට තුඩු දුන්නේ කවර හේතූන් ද, දේපළවලට සිදු වූ හානිය සහ ප්‍රචණ්ඩ ක්‍රියා පිටුපස කිසියම් කුමන්ත්‍රණයක් පවතින්නේ දැයි යන්න මෙන්ම යළිත් වරක් මෙවැනි ගැටුමක් ඇතිවීම වළක්වන්නේ කෙසේ දැයි යන්න ද කොමිෂන් සභාව විසින් විමසා බලනු ඇති බවත් ජනාධිපති කාර්යාලය නිකුත් කළ නිවේදනයක සඳහන් වේ.

සබැඳි යොමු: