ෆේස්බුක් සහ සමාජ ජාල: "වෛරී ප්‍රකාශ වැළැක්වීමට නව නීති ගෙන එනවා"

අගමැති රනිල් වික්‍රමසිංහ

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, "සංඝයාවහන්සේ ඝාතනය කළා කියලා වැරදි තොරතුරු පළවුනා. මේකෙන් මිනිස්සු කුලුප්පු වුනා,"

ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍යවල වෛරී ප්‍රකාශ වැළැක්වීම සඳහා නව නීති ගෙන එන බව අගමැති රනිල් වික්‍රමසිංහ පවසයි.

බදාදා (මාර්තු 14) කොළඹ ඉසිපතන විද්‍යාලයේ පැවති උත්සවයකට එක්වෙමින් අගමැතිවරයා මේ බව කියා සිටියේය.

"මේ අංශ ගැන යම් අධීක්ෂණයක් කරන්න, ක්‍රියාත්මක වෙන්න මාර්ගයක් තියෙන්න ඕනේ. අපි මීට ඉස්සෙල්ල ෆේස්බුක් එකට දන්වද්දී සීග්‍රයෙන් ක්‍රියා කරලා නැහැ. ඒ නිසා ෆේස්බුක් නියෝජිතයන් ලංකාවට එනවා මේ ගැන සාකච්ඡා කරන්න" යනුවෙන් අගමැතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

ජාතිවාදී, වර්ගවාදී ගැටුම් ඇතිකරන ප්‍රකාශ ඉවත්කිරීමට යම් ක්‍රමවේදයක් අවශ්‍ය බව පැවසු අගමැතිවරයා ඒ සඳහා අවශ්‍ය නීතිරීති ගෙන එන බව කියා සිටියේය.

දැනට විද්‍යුත් මාධ්‍ය හා මුද්‍රිත මාධ්‍යවලට අදාළ නීති සමාජ මාධ්‍යවලට බලනොපාන බව පැවසූ ඔහු සමාජ මාධ්‍යවලට ද බලපාන ආකාරයට නීති සකස්කළ යුතු බව පැවසුවේය.

සමාජ මාධ්‍යවල ධනාත්මක හා සෘණාත්මක අංශ ඇති බව පෙන්වාදුන් අගමැතිවරයා මහනුවර සංචාරක කර්මාන්තය දියුණු කිරීමට සමාජ මාධ්‍ය ධනත්මකව ද ගැටුම්වලදී ඍණාත්මකව ද බලපා ඇති බව පෙන්වා දුණි.

ෆේස්බුක් තහනම "සිකුරාදා දිනයේ ඉවතට"

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, ෆේස්බුක් තහනම "සිකුරාදා දිනයේ ඉවතට"

තාවකාලික තහනමක් සමාජ මාධ්‍යවලට පැනවීමට සිදුවුයේ මහනුවර ගැටුම් පාලනයට ආරක්ෂක අංශ කළ ඉල්ලීමක් අනුව බව අගමැතිවරයා මෙහිදී පැවසවේය.

"සංඝයාවහන්සේ ඝාතනය කළා කියලා වැරදි තොරතුරු පළවුනා. මේකෙන් මිනිස්සු කුලුප්පු වුනා. මේ පණිවුඩ හුවමාරුව නිසා මේක පාලනය අමාරුවුනා, මේ නිසයි ආරක්ෂක අංශ කෙටිකාලයකට මේ තහනම පනවන්න යෝජනා කළේ"

සමාජ මාධ්‍ය තහනම ගැන ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනද අඟහරුවාදා (මාර්තු 13) ජපානයේදී අදහස් දක්වා තිබුණි.

මහනුවර සහ අම්පාරේ ඇති වූ සිදුවීම්වලින් පසුව ෆේස්බුක් සමාජ ජාලය තාවකාලිකව තහනම් කිරීම ඉදිරි දින කීපයේදී ඉවත් කරන බවත්, සමාජ යහපත වෙනුවෙන් වන ප‍්‍රවාහයකට ඉඩ දුන්න ද සමාජය විනාශ කරන යම් දෙයක් වේ නම් එය පාලනය කිරීමට යම් ක‍්‍රමවේදයක් අවශ්‍ය බවත් ජනාධිපතිවරයා එහිදී පැවසූ බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේය.

ජපානයේ නිල සංචාරයක නිරත ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සහ එරට අගමැති ෂින්සෝ අබේ

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, ජපානයේ නිල සංචාරයක නිරත ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සහ එරට අගමැති ෂින්සෝ අබේ

ජාතික සමගිය නැති කිරීම, ජාතික ආරක්ෂාවට හානි කිරීම, පුද්ගලයන්ට කරන බරපතළ නින්දා කිරීම් වැනි දේ ඉවත් කර යහපත් සහ නිවැරදි දේ පමණක් හුවමාරු කෙරෙන මාධ්‍ය වැඩි වැඩියෙන් අවශ්‍ය බව ජනාධිපතිවරයා මෙහිදී පවසා තිබෙන අතර මෙම සම්පත් නිසි ලෙස භාවිතා කිරීම පිළිබඳ නව වැඩපිළිවෙළක් ඉදිරි සති කීපය තුළ රටට හඳුන්වාදීමට අපේක්ෂා කරන බවද පවසා තිබේ.

"ඒ තාවකාලික තහනම දැම්මේ නැත්නම් සමහරවිට අද වෙනවිට රටට පැතිරිලා ඒ ගැටුම"

"මේකට කිසිසේත්ම අත තියන්න බැහැ, මුකුත් කරන්න බැහැ කියල තදින් කතා කරාට අපි සතියක් මේක වැහුවම, ලෝකේ ලොකු සමාගම්වල ලොකු මහත්තුරු එනවා අපේ කොම්පැනිවලට පාඩුයි කියලා. රජයේ ආයතනවල ආදායම් ඉහළ ගිහින් තියෙනවා ෆේස්බුක් වැහුවම, ටෙලිකොම්, විදුලි සංදේශ නියාමන කොමිසම දවසේ ආදායම මිලියන 200කට වැඩි වෙලා තියෙනවා".

ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍ය ජාල සඳහා පනවා ඇති තහනම ලබන සිකුරාදා (මාර්තු 16) ඉවත් කිරීමට බලාපොරොත්තුවන බව විදුලි සංදේශ අමාත්‍ය හරින් ප්‍රනාන්දු ඊයේ බීබීසී සිංහල සේවයට පැවසීය.

ෆේස්බුක් සමාගමේ නිලධාරීන් පිරිසක් සාකච්ඡාවක් සඳහා බ්‍රහස්පතින්දා ශ්‍රී ලංකාවට පැමිණෙන බව පැවසූ ඇමතිවරයා එම සාකච්ඡාවේදී වෛරී ප්‍රකාශ පාලනය කිරීම ගැන එම නිලධාරීන් සමග සාකච්ඡා කරන බව පැවසුවේය.

මේ අතර අඟහරුවාදා ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ඇමති හරින් ප්‍රනාන්දු ෆේස්බුක් සමාජ ජාලය පිළිබඳ තිබෙන ගැටලුවක් ගැන අනාවරණය කළේය. ඒ එක් ජාතියක් මරා දැමිය යුතු බවට සිංහලෙන් පළකර තිබු ප්‍රකාශයක් ෆේස්බුක් ආයතනයට වෛරී භාෂාව යටතේ වාර්තා කිරීමෙන් පසු එය ඉවත්කිරීමට එම සමාගම ප්‍රතික්ෂේප කිරීම පිළිබඳවය.

Skip X post
X අන්තර්ගතයට අවසරදීමට ඔබ එකඟ ද?

මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.

අනතුරු ඇඟවීමයි: බීබීසී නොවන වාර්තාවල වෙළෙඳ දැන්වීම් අඩංගු විය හැකිය

End of X post

සිංහල භෂාව කියවිය හැකි පිරිස් ෆේස්බුක් ආයතනය බඳවා ගත යුතු බව ඔහු පැවසීය.

කෙසේ නමුත් සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් පවසන්නේ ආණ්ඩුවට එවැනි ප්‍රකාශ සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරීමට අවශ්‍යනම් දැනටමත් ඒවාට අවශ්‍ය නීති තිබෙන බවය.

ජාතිවාදය ඉදිරියට දමමින් ආණ්ඩුව සමාජ මාධ්‍ය මර්දනයකට සුදානම් වන බව සමාජ මාධ්‍ය ක්‍රියාකාරී ඕෂල හේරත් පැවසීය.

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසන්නේ ආණ්ඩු විරෝධී මත මර්දනය කිරීම ආණ්ඩුවේ අරමුණ බවය.

සබැඳි යොමු: