රංග රාජපක්ෂ: වැඩතහනම්ව සිටි සහකාර අධ්‍යක්ෂවරයාගේ මරණය 'සිය දිවිනසා ගැනීමක්' බව මරණ පරීක්ෂණයෙන් හෙළිවෙයි

රංග රාජපක්ෂ මියගොස් සිටි ආකාරය
    • Author, දිනුක් හේවාවිතාරණ
    • Role, බීබීසී සිංහල
  • කියවීමේ කාලය: මිනිත්තු 4

වැඩ තහනමට ලක්ව සිටි මුදල් අමාත්‍යාංශය යටතේ ඇති විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂක අබේසිංහ මුදියන්සේලාගේ රංග නිශාන්ත රාජපක්‍ෂගේ මරණය සියදිවි නසාගැනීමක් බවට අද (මැයි 01) සිදුකළ මරණ පරීක්ෂණයේ දී තහවුරු වී ඇති බව වැඩබලන පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී මිනුර සෙනරත් පවසයි.

මේ සම්බන්ධයෙන් බීබීසී සිංහල කළ විමසීමකදී වැඩබලන පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ මියගිය තැනැත්තාගේ සිරුරේ ඇති කැපුම් තුවාලවලින් අධික ලෙස රුධිරය වහනය වීමෙන් මෙම මරණය සිදුව ඇති බවට මරණ පරීක්ෂණයෙන් නිගමනය කර ඇති බව යි.

ඔහුගේ පශ්චාත් මරණ පරික්ෂණය කුරුණෑගල විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි ඉලංගරත්න බංඩාර, කුලියාපිටිය විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි අජිත් ජයසේන හා නිකවැරටිය අධිකරණ වෛද්‍ය නිලධාරි ගාමිණි දිසානායක සහ අනුරාධපුර අධිකරණ වෛද්‍ය නිලධාරි සම්පත් සේනතුංග යන සිව් පුද්ගල අධිකරණ වෛද්‍ය මණ්ඩලයක් මගින් අද දිනයේදී සිදුකරනු ලැබු බව අප බීබීසී ප්‍රාදේශීය වාර්තාකරු පැවසීය.

රංග රාජපක්ෂ නම් වූ මෙම නිලධාරියා මුදල් අමාත්‍යාංශය විසින් ඔස්ට්‍රේලියාවට ගෙවීමට නියමිතව තිබූ ඇමෙරිකානු ඩොලර් මිලියන 2.5ක ණය වාරිකයක් හැකර්වරයෙකුගේ ගිණුමට බැර කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් වැඩ තහනමට ලක්ව සිට ඇති බව වාර්තා විය.

මෙම නිලධාරියාට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස අවස්ථා කිහිපයකදී දැනුම් දී තිබුණ ද, ඔහු ඊට ප්‍රතිචාරයක් දක්වා නොමැති බව වැඩබලන පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා අප්‍රේල් 30, (බ්‍රහස්පතින්දා) අප කළ විමසීමේදී වැඩිදුරටත් බීබීසී සිංහල වෙත පැවසීය.

කෙසේ වෙතත්, රංග රාජපක්ෂ අපරාධ පරීක්ෂණයට අවස්ථා කිහිපයකදී ම ගොස් ප්‍රකාශ ලබා දී ඇති බවට සමාජ මාධ්‍යවල අදහස් දක්වා තිබිණි.

රංග රාජපක්ෂ

ඡායාරූප මූලාශ්‍රය, Facebook

ඡායාරූප ශීර්ෂ වැකිය, රංග රාජපක්ෂ

රංග රාජපක්ෂ පිළිබඳව සමාජ මාධ්‍යවල පළවන වාර්තා ගැන වැඩබලන පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයාගේ ප්‍රතිචාර

ඇමෙරිකානු ඩොලර් මිලියන 2.5ක් හැකර් ගිණුමකට බැර වී ඇති බව මුලින් ම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කරන ලද්දේ, මරණයට පත්වූ රංග රාජපක්ෂ බවත්, ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගොස් ප්‍රකාශ ලබා දී ඇති බවත් ඒ අනුව සමාජ මාධ්‍යවල පළ වී තිබිණි.

ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ඇතත් එහි ගොස් නැති බවට පළවී ඇති මාධ්‍ය වාර්තාවලට ප්‍රතිචාර දක්වමින් සමාජ මාධ්‍යවල එම අදහස් පළ කර තිබේ.

ඒ අනුව මේ පිළිබඳව ද බීබීසී සිංහල සේවය අද (මැයි 01) වැඩබලන පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයාගෙන් විමසීමක් කළේ ය.

එහිදී ඔහු ප්‍රකාශ කළේ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ල ඉදිරිපත් කළේ, රංග රාජපක්ෂ නොව මහා භාණ්ඩාගාරයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා බව ය.

කෙසේ වෙතත්, රංග රාජපක්ෂ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ ප්‍රකාශ ලබා දී ඇතැයි වැඩබලන පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී මිනුර සෙනරත් අද (මැයි 01) බීබීසී සිංහල සේවයට පැවසීය.

"අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට එන්න කියල තියෙන දිනවල එයා ගිහින් නැහැ. ඒත් වෙනත් දවස්වල ඇවිත් තියෙනවා. එයා විමර්ශයට අදාළ ඩිවයිස් ටිකත් ඔක්කොම භාර දීලා තියෙනවා."

වීඩියෝව නරඹන්න
වීඩියෝ ශීර්ෂ වැකිය, රංග රාජපක්ෂ: හැකර් ගිණුමකට මුදල් බැර කිරීමේ සිද්ධියට වැඩතහනම්ව සිටි සහකාර අධ්‍යක්ෂවරගේ මරණය

මරණයට පත්වූ රංග රාජපක්ෂ, කුලියාපිටිය මධ්‍ය මහා විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකු වන අතර ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආදි විද්‍යාර්ථයෙකි.

කුලියාපිටිය, පහළ වීරඹුව ප්‍රදේශයේ පදිංචිව සිටි 50 හැවිරිදි රංග රාජපක්ෂ දරුවන් දෙදෙනෙකුගේ පියෙකි.

බ්‍රහස්පතින්දා (අප්‍රේල් 30) පෙරවරු 10.00ට පමණ ඔහු 'වත්ත පහළ වැඩක් ඇති' බව නිවැසියන්ට පවසා ගොස් ඇති බවත්, පසුව ඔහු නිවසට නොපැමිණි නිසා එහි ගොස් බලන විට ඔහු කෙසෙල් පඳුරක් අසල වැටී සිටින අයුරු නිවැසියන් දැක ඇති බව බීබීසී සිංහල කුලියාපිටිය වාර්තාකරු පැවසීය.

ඔහු වැටී සිටි ස්ථානයේ තිබී පිහියක් ද සොයාගෙන තිබිණි.

එම ස්ථානයේ ස්ථානීය පරීක්ෂාව සඳහා බ්‍රහස්පතින්දා (අප්‍රේල් 30) කුලියාපිටිය වැඩබලන මහේස්ත්‍රාත් කාංචනා රූපසිංහ සහ අධිකරණ වෛද්‍ය නිලධාරී බී.ඒ.සී. බාලසූරිය පැමිණ සිටියහ.

රංග රාජපක්ෂ

ඔබට සහයක් අවශ්‍ය ද?

මානසික සෞඛ්‍ය ගැටලුවක් සම්බන්ධයෙන් හදිසි ආධාර අවශ්‍ය නම් මහජනතාවට ජාතික මානසික සෞඛ්‍ය ආයතනයේ ක්ෂණික ඇමතුම් අංකය (1926) ඇමතීමට හැකි ය.

දිවි නසා ගැනීම් වැළක්වීමේ සහ ඉන් වැළකී සිටීමට උපදේශන සේවා ලබා දෙන ශ්‍රී ලංකාවේ ආයතන:

ශ්‍රී ලංකා සුමිත්‍රයෝ - දුරකතන අංකය: 011 2696666 හෝ +94 112 682 535

ධෛර්ය, දයානුකම්පාව, කැපවීම (CCC) පදනම - දුරකතන අංකය: 1333 හෝ +94 112 692 909