'පාස්කු ප්‍රහාරය ගැන ජනපති මෛත්‍රී තොරතුරු දැන සිටියා': හිටපු ආරක්ෂක ලේකම්ගෙන් ආන්දෝලනාත්මක හෙළිදරව්වක්

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
- Author, බීබීසී සිංහල
- කියවීමේ කාලය: මිනිත්තු 6
පාස්කු ඉරුදින එල්ල කෙරුණු ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳව එවක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ රාජ්‍ය බුද්ධි සේවයේ ප්‍රධානී නිලන්ත ජයවර්ධන තොරතුරු දැන සිටි බව තමන් විශ්වාස කරන්නේ යැයි හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ ප්‍රකාශ කළේ ය.
නිලන්ත ජයවර්ධන ද තොරතුරු දැන සිටි බවත්, එම තොරතුරු සැඟවීමට ඔහු කටයුතු කළ බවත් හිටපු ආරක්ෂක ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළේ ය.
"ආරක්ෂක අමාත්‍යවරයා මෙන් ම සන්නද්ධ හමුදාවල ප්‍රධානියා වූ ජනාධිපති රටින් පැන්නා. ජ්‍යෙෂ්ඨතම නිලධාරියා වීමේ පවට මම මේ නඩුවට පැටළුණා. මා ඉදිරිපත් කරන තොරතුරු හරියට අධ්‍යයනය කළා නම් මේ නඩුව මට පවරන්නේ නෑ. වගකිව යුත්තන් තව ම නිදැල්ලේ සිටිනවා," යනුවෙන් ඔහු පැවසීය.
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වීමට නියමිත බවට බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම තුළින් සාපරාධී ලෙස රාජකාරිය පැහැර හැරීම ඇතුළු චෝදනා යටතේ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දුට එරෙහිව නීතිපතිවරයා ගොනු කර තිබූ නඩුවක් ඊයේ කැඳවූ අවස්ථාවේදී විත්ති කූඩුවේ සිට සිය ප්‍රකාශය ඉදිරිපත් කරමින් හේමසිරි ප්‍රනාන්දු මේ බව සඳහන් කළේ ය.
මෙම නඩුව ප්‍රියන්ත ලියනගේ, විරාජ් වීරසූරිය, තිලකරත්න බණ්ඩාර යන විනිසුරුවරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ විභාග වෙයි.
'අගමැති රනිල් ඇතුළු පිරිසකට ආරක්ෂක කවුන්සිල රැස්වීම තහනම් කළා'
සිය විත්තිවාචකය ඉදිරිපත් කරමින් හේමසිරි ප්‍රනාන්දු කියා සිටියේ,
අගමැතිව සිටි රනිල් වික්‍රමසිංහ ඉවත් කර එම තනතුරට මහින්ද රාජපක්ෂ පත් කිරීමට එවක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන කටයුතු කිරීම හේතුවෙන් රට තුළ ව්‍යාකූල තත්ත්වයක් නිර්මාණය වූ බවත් ශ්‍රේෂ්ඨාධිකරණය කළ නියෝගයකට අනුව රනිල් වික්‍රමසිංහ නැවත අගමැති ධූරයට පත් කරනු ලැබූව ද එම ව්‍යාකූල තත්ත්වය නොකඩවා පැවති බවත් පෙන්වා දුන්නේ ය.
ආරක්ෂක තත්ත්වය සමාලෝචනය කිරීම සඳහා ප්‍රධාන ආරක්ෂක රැස්වීම් දෙකක් පවතින බවත් ජාතික ආරක්ෂක කවුන්සිලය සහ බුද්ධි සමාලෝචන රැස්වීම ඒ අතර ප්‍රධාන වන බවත් ඔහු සඳහන් කළේය.
ජාතික ආරක්ෂක කවුන්සිලය ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් රැස්වන අතර, එම වකවානුවේ මතු වූ අර්බුදකාරී තත්ත්වය හේතුවෙන් අගමැතිවරයාට, නියෝජ්‍ය ආරක්ෂක ඇමතිවරයාට සහ පොලිස්පතිවරයාට එම රැස්වීම්වලට සහභාගි වීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් තහනම් කරනු ලැබ තිබූ බව හේමසිරි ප්‍රනාන්දු විවෘත අධිකරණයේදී පැවසීය.
තමා මේ පිළිබඳව මෛත්‍රීපාල සිරිසේනගෙන් විමසූ බවත්, ඒ අවස්ථාවේදී ජනාධිපතිවරයා "ඕකුන් එකෙක්වත් එක්ක මට වැඩ කරන්න බෑ. ඕකුන් එකෙක්වත් ගන්න එපා" යනුවෙන් සඳහන් කර තිබූ බවත් ඔහු හෙළි කළේ ය.
ජාතික ආරක්ෂක කවන්සිලයේත් බුද්ධි සමාලෝචන රැස්වීමේත් ප්‍රධාන ස්ථානයක් රාජ්‍ය බුද්ධ සේවයේ එවක ප්‍රධානී නිලන්ත ජයවර්ධනට හිමි වූ බව සඳහන් කළ හේමසිරි ප්‍රනාන්දු, ඔහු ජනාධිපති සිරිසේන සමග වසර හතරක් පමණ ඉතා ම සමීපව කටයුතු කළ බව පැවසීය.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
නිලන්ත ජයවර්ධන සහ ජනපති මෛත්‍රී අතර 'පියපුතු සම්බන්ධයක්'
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
නිලන්ත ජයවර්ධන ඍජුව ම ජනාධිපති සිරිසේනට තොරතුරු ලබා දුන් අතර, ජනාධිපතිවරයාගේ පෞද්ගලික රහස්‍ය දුරකතන අංක පවා ඔහුට ලබා දී තිබූ බව ප්‍රකාශ කළ හේමසිරි ප්‍රනාන්දු, ආරක්ෂක අමාත්‍යංශ ලේකම්වරයා සතුව පවා එම දුරකතන අංකය නොතිබූ බවත් ප්‍රකාශ කළේ ය.
ඔවුන් දෙදෙනා අතර පැවති සම්බන්ධය "පිය පුතු සම්බන්ධයක්" ලෙස බොහෝ නිලධාරීන් හැඳින්වූ බව කියා සිටි හේමසිරි ප්‍රනාන්දු, බුද්ධි සමාලෝචන රැස්වීමේ පළමු වන ඉදිරිපත් කිරීම රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානියා වන නිලන්ත ජයවර්ධන විසින් සිදු කරනු ලැබීම සාමාන්‍යයෙන් සිදුවූ බවත් සඳහන් කළේ ය.
ජනාධිපති සිරිසේන සමග කටයුතු කරගෙන යාමේදී ඇති වූ අර්බුදකාරී තත්ත්වයන් හේතුවෙන් ආරක්ෂක ලේකම් ධූරයෙන් අප්‍රේල් මස අග භාගයේ ඉල්ලා අස්වීමට තමන් තීරණය කර සිටි බවත්, ඒ පිළිබඳව රනිල් වික්‍රමසිංහට දන්වා සිටි අවස්ථාවේදී ඔහු එලෙස නොකරන ලෙස තමාට දැනුම් දුන් බවත් හේමසිරි ප්‍රනාන්දු පැවසීය.
වැඩිදුරටත් සිය ප්‍රකාශය ඉදිරිපත් කරමින් හේමසිරි ප්‍රනාන්දු පැවසුවේ, රාජ්‍ය බුද්ධි සේවයේ ප්‍රධානියා සතියකට වරක් බුද්ධි වාර්තාවක් ලබා දෙන බවත්, බුද්ධි වාර්තාවක් ඉදිරිපත් කිරීමේදී සාමාන්‍යයෙන් විශ්ලේෂණයක් කළ යුතු වුව ද එසේ නොකළ නිසා ඔහු ඉදිරිපත් කළ වාර්තා බුද්ධි වාර්තා ලෙස තමා නොසැලකූ බවත් ඔහු සඳහන් කළේ ය.
2019 අප්‍රේල් 04 වන දා ලැබුණු තොරතුර 'යටපත් කිරීමට උත්සහ කළා'
2019 වසරේ අප්‍රේල් මස 4 වන දා නිලන්ත ජයවර්ධනට විදේශයකින් ප්‍රහාරයක් පිළිබඳ තොරතුරු ලැබී තිබුණු බවත් අප්‍රේල් 8 වන දා නිලන්ත ජයවර්ධන විසින් එවන ලද බුද්ධි වාර්තාවේ ඒ බවක් සඳහන් කර නොතිබූ බවත් කියා සිටි හේමසිරි ප්‍රනාන්දු, ඒ පිළිබඳව අධ්‍යයනය කිරීමේදී නිලන්ත ජයවර්ධන එම තොරතුරු යටපත් කිරීමට උත්සහ කළ බව තමන්ට පෙනී ගිය බවත් පැවසීය.
ඒ පිළිබඳව තමන් කළ කරුණු විමසීමකදී "තහවුරු නොකළ තොරතුරක් ගැන ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් දැනුවත් කිරීමට තමන්ට නොහැකි බව" නිලන්ත ජයවර්ධන ප්‍රකාශ කළ බව හේමසිරි ප්‍රනාන්දු පැවසීය.
ඔහු සඳහන් කළේ, අදාළ සිදුවීම් සම්බන්ධයෙන් තමන්ට වැඩිදුර වාර්තා ලබා දෙන බව නිලන්ත ජයවර්ධන ප්‍රකාශ කළ ද, එවැනි වාර්තාවක් කිසිදු අවස්ථාවක තමන්ට නොලැබුණු බව ය.
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය එල්ල වීමට පෙර කාත්තන්කුඩි ප්‍රදේශයේ මෝටර් සයිකලයක් පුපුරා ගිය අතර ඒ පිළිබඳව නිලන්ත ජයවර්ධන, පොලිස්පතිවරයා වෙත රහසිගත වාර්තාවක් භාර දී තිබූ බව හිටපු ආරක්ෂක ලේකම්වරයා පැවසීය.
එහෙත්, එම වාර්තාවේ පිටපතක් තමාට ලබා නොදුන් බව කී හිටපු ආරක්ෂක ලේකම්වරයා අප්‍රේල් මස 20 වන දා සවස නිලන්ත ජයවර්ධන තමන්ට කතා කර "වට්ස්අැප් මැසේජ් එකක් එව්වා කියෙව්වා ද?" යනුවෙන් ඇසූ බවත් සඳහන් කළේ ය.
ඒ අවස්ථාවේ තමන් අසනීපව සිටි බව කී හිටපු ආරක්ෂක ලේකම්වරයා තමන් එම වට්ස්ඇප් පණිවිඩය කියැවූ බවත්, එහි මරාගෙන මැරෙන ප්‍රහාර අටක් ගැන තොරතුරු ලැබී තිබෙන බව සඳහන්ව තිබූ අතර ඉන්දියානුවන් වැඩිපුර ගැවසෙන හෝටලයක් සහ දේවස්ථාන කීපයක් එහි සඳහන්ව තිබූ බවත් පැවසීය.
මෙම තොරතුරුවල විශ්වසනීයත්වය පිළිබඳව තමා නිලන්ත ජයවර්ධනගෙන් විමසූ බවත්, එම අවස්ථාවේදී අදාළ තොරතුරුවල මූලාශ්‍ර තමන්ට විශ්වාස බවත් නිලන්ත ජයවර්ධන කී බව ඔහු සඳහන් කළේ ය.
මේ සම්බන්ධයෙන් ගත් පියවර ගැන විමසීමේදී නිලන්ත ජයවර්ධන මහතා තොරතුරු ලැබුණු පසුව කතා කරන බව ප්‍රකාශ කළත් 21 වනදා උදෑසන වන තෙක් කතා නොකළ බව කී ඔහු එදින උදෑසන 8.00ට පමණ කතා කර මෙතෝදිස්ත පල්ලිය තිබෙන්නේ කොහේ දැයි විමසූ බවත් සඳහන් කළේ ය.
පිපිරීම් සිදු කිරීමට නියමිත ස්ථානවලට මෙතෝදිස්ත පල්ලියක් ද ඇතුළත් බව නිලන්ත ජයවර්ධන ප්‍රකාශ කළ බවත්, එසේ ප්‍රකාශ කර විනාඩි පහක් දහයක් පමණ ගත වූ පසු බෝම්බ පිපිරීම් සිදුවී ඇති බව වාර්තා වූ බවත් ඔහු පැවසීය.
'අගමැතිවරයා රැස්වීමක් කැඳවලා තියෙනවා. ඒකට යනවා එහෙම නෙවෙයි'
ඒ අවස්ථාවේදී ජනාධිපතිවරයා සිංගප්පූරුවට ගොස් සිට බවත්, ඔහු තමන් අමතමින් "අගමැතිවරයා රැස්වීමක් කැඳවලා තියෙනවා. ඒකට යනවා එහෙම නෙවෙයි" යනුවෙන් පැවසූ බවත් හේමසිරි ප්‍රනාන්දු සිය විත්තිවාචකයේදී කියා සිටියේ ය.
විදේශගතව සිටි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ලංකාවට පැමිණියේ, සිංගප්පූරුවේ සිට පැමිණෙන ගුවන් ගමන් 4ක් මග හැර බවත්, පසු දින ජාතික ආරක්ෂක මණ්ඩලය කැඳවීමට පියවර ගන්නා ලෙස තමාට උපදෙස් ලැබුණු බවත් කී හේමසිරි ප්‍රනාන්දු, එම රැස්වීමට ඇතුළු වන අවස්ථාවේදී ම ජනාධිපතිවරයා තමාට සහ පොලිස්පතිවරයාට දෝෂාරෝපණය කළ බවත් පැවසීය.
එදින රාත්‍රී ජාතිය ඇමතූ ජනාධිපතිවරයා බරපතළ ප්‍රකාශයක් සිදුකළ බවත්, "මේකට වගකියන්න ඕනේ පොලිස්පති සහ ආරක්ෂක ලේකම්" යනුවෙන් සඳහන් කළ බවත් කී හිටපු ආරක්ෂක ලේකම්වරයා 21 වන දා ප්‍රහාරය ගැන තමා බීබීසී වාර්තාකරුවෙකුට පැවසූ දේ ජනමාධ්‍ය විසින් විකෘති කර පළ කර තිබූ බවත් සඳහන් කළේ ය.
එම ප්‍රකාශයේදී තමා ප්‍රහාරය ගැන දැන සිටි බව කීවේ නිලන්ත ජයවර්ධන ලබා දුන් තොරතුරු ගැන පමණක් බවත් ඊට අමතරව තමන් වෙනත් කිසිදු තොරතුරක් දැන නොසිටි බවත් ඔහු පෙන්වා දුන්නේ ය.
මෙරට ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට අනුව රටේ ජාතික ආරක්ෂාව පැවරී ඇත්තේ රාජ්‍ය නායකයා වෙත බවත්, ජනාධිපතිවරයා විදේශගත වූ අවස්ථාවේ වැඩබලන ආරක්ෂක අමාත්‍යවරයෙකු පත් නොකළ බවත් කියා සිටි හේමසිරි ප්‍රනාන්දු, එවැනි අවස්ථාවක ආරක්ෂක ලේකම්වරයා අක්‍රිය වන බවත් සඳහන් කළේ ය.
මෙම ප්‍රහාරය පිළිබඳව තොරතුරු දැන සිටියේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ නිලන්ත ජයවර්ධන පමණක් යැයි තමන් විශ්වාස කරන බවත්, තමන් කිසිදු තොරතුරක් දැන නොසිටි බවත් හේමසිරි ප්‍රනාන්දු පැවසීය.
ආරක්ෂක කවුන්සිලයේ රැස්වීම්වලදී ආරක්ෂක ලේකම්වරයාට කිසිදු වාර්තාවක් එවා නොතිබූ බවත්, ආරක්ෂක ලේකම්වරයා අඳුරේ සිටි බවත් පැවසීය.
තමන් ඉදිරිපත් කරන මෙම කරුණු කෙරෙහි සැලකිල්ල යොමු කළේ නම්, නීතිපතිවරයා තමාට එරෙහිව නඩු නොපවරනු ඇති බවත් හේමසිරි ප්‍රනාන්දු වැඩිදුරටත් සිය විත්තිවාචකය ඉදිරිපත් කරමින් ප්‍රකාශ කළේ ය.
මෙහිදී විත්තිකාර හේමසිරි ප්‍රනාන්දු වෙනුවෙන් නීතිඥ චමින්ද අතුකෝරළ ප්‍රමුඛ නීතිඥ මණ්ඩලයක් පෙනී සිටියේ ය.
































