ගුවන් යානයක් කඩා වැටේ: '49ක් වත් මරුට'

The plane reportedly hit a fence before touching down and crashing

ඡායාරූප මූලාශ්‍රය, BISHNU SAPKOTA

නේපාලයේ කත්මන්ඩු ගුවන් තොටුපොල කරා ගොඩබාමින් සිටි ගවන් යානයක් කඩා වැටීමෙන් 49 දෙනෙකුවත් මරුමුවට පත් වී තිබේ.

මෑත යුගයේදී නේපාලය මුහුණ දුන් බරපතලම ගුවන් අනතුර එය වේ.

මගීන් 67 දෙනෙකු සහ කාර්ය මණ්ඩලයේ සිව් දෙනෙකු රැගත් යානය අනතුරකට ලක් වීමෙන් තවත් විස්සකට වැඩි පිරිසකට තුවාල සිදු වී තිබේ.

යානය දෙවැනි වරටත් ගොඩ බෑම සඳහා උත්සාහ කළ අවස්ථාවේ කඩා වැටී ගිනි ගත් බව අනතුර ඇසින් දුටුවෝ පැවසූහ.

බංග්ලාදේශයේ US-Bangla පුද්ගලිකගුවන් සේවයට අයත් යානය කඩා වැටීමට හේතුව පැහැදිලි නැතත්, යානය සහ ගුවන් තොටුපොලේ පාලක මැදිරිය අතර සන්නිවේදනය බිඳ වැටීම පිළිබඳව පරීක්ෂකයන්ගේ අවධානය පළ වී තිබෙන බව වාර්තා වේ.

අනතුරට ලක් වූ යානය

ඡායාරූප මූලාශ්‍රය, TWITTER/@BISHNUSAPKOTA

සඳුදා (මාර්තු 12) සවස් යාමයේ කත්මන්ඩු ගුවන් තොටුපොලේ ධාවන පථයෙන් ඉවතට ඇදී ගිය යානය ගිනි ගැනීමෙන් අනතුරුව ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ සියලු ගුවන් ගමන් නවතා දමා ඇති බව නේපාලයේ මාධ්‍ය වාර්තා කරයි.

යානය ගිනි ගෙන තිබෙන්නේ ගුවන් තොටුපොල අසල පිහිටි පාපන්දු ක්‍රීඩාංගනයකදීය.

අනතුර සම්බන්ධයෙන් ගුවන් පාලක මැදිරිය වගකිව යුතු යයි ගුවන් සේවය පවසන නමුත්, නේපාල බලධාරීන් පවසන්නේ යානය "අසාමාන්‍ය" ගොඩ බෑමේ ක්‍රමයක් අනුගමනය කළ බවය.

එක්වරම ගැස්සී ගිය යානය ඉන් අනතුරුව මහා හඬක් නගමින් කඩා වැටුණු බව යානයේ ජනේලයකින් පැන දිවි බේරා ගැනීමට සමත් වූ මගියෙක් පවසයි.

මේ වනවිට 22 දෙදෙනෙකු රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බව පොලිස් ප්‍රකාශකයෙක් පැවසීය.

කත්මන්ඩු

යානයේ ගමන් කළ මගීන් අතරින් 33 දෙනෙක් නේපාල ජාතිකයන් බවත්, 32 දෙදෙනෙක් බංග්ලාදේශ ජාතිකයන් සහ එක් අයෙක් චීන ජාතිකයෙක් බවත් දැන් අනාවරණය වී තිබේ. තවත් මගියෙක් මාලදිවයින් ජාතිකයෙකි.

ගුවන් යානා ගැන තවත් වාර්තා: