සහන දීම සහ පුංචි ඡන්දය අතර සම්බන්ධයක් තිබේද? - මුදල් ඇමතිගෙන් පිළිතුරු

එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ සන්ධාන ආණ්ඩුව බලයට පත් වී තෙවසරක් ගතව ඇති අතර ආණ්ඩුවේ සිව් වෙනි අයවැය හෙට (නොවැ 09) ඉදිරිපත් කිරීමට නියමිතය.
දින සියයේ ආණ්ඩුව යටතේ 2015 වසරේ දී අතුරු අයවැය ද ඉහත කී අයවැය අතරට ඇතුළත්ය.
මේ අතර අයවැය ලේඛනය ප්‍රකාශයට පත් කිරීමට ප්‍රථම අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය කිහිපයක මිල අඩුකිරීමට තීන්දු කළ බව මුදල් අමාත්‍ය මංගල සමරවීර පැවසීය.
මුදල් අමාත්‍යංශයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඇමතිවරයා කියා සිටියේ එම පුංචි සහන මල්ල සඳහා පමණක් මසකට රුපියල් මිලියන 1500 පමණ මුදලක් වැයවන බවය.
ඒ ආකාරයේ සහන ලබා දෙමින් රටේ සංවර්ධනය සඳහා දීර්ඝ කාලීන වැඩපිළිවෙලක් ද සකස් වෙමින් පවතින බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
මේ අතර එම සාකච්ඡාවට එක් වූ රාජ්‍ය අමාත්‍ය එරාන් වික්‍රමරත්න කියා සිටියේ ව්‍යාපාරිකයන්ට සහන සලසනු වස් අලුතින් ආදායම් බදු පනතක් ගෙන ඒම, ඇතැම් රථවාහනවල මිල අඩු කිරීම ඇතුළු පියවර ගණනාවක් ගෙන ඇති බවය.
"සාමාන්‍යයෙන් මුදල් ඇමතිකෙනෙක් අයවැයට ප්‍රථමයෙන් මේ වගේ දැන්වීමක් කළොත් සාමාන්‍යයෙන් මිල වැඩිකිරීමක් තමයි කරන්නේ. නමුත් අද අපි බඩු මිල පහත දමා තිබෙනවා" යනුවෙන් රාජ්‍ය ඇමතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය කිහිපයක් සඳහා ඉහත කී ආකාරයේ සහන ලබා දීමට තීන්දු කළේ ජනවාරි මස පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණය ඉලක්ක කර ගෙන දැයි බීබීසී සිංහල සේවය මුදල් ඇමතිවරයාගෙන් විමසා සිටි අතර ඊට ප්‍රතිචාර දක්වමින් ඔහු කියා සිටියේ "ඡන්දය සහ ජනතාවට සහන ලබා දීම යනු එකක් නොව දෙකක්" බවය.
එක්සත් ජාතික පක්ෂයත් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ප්‍රමුඛ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් යන බලවේග දෙකම පළාත් පාලන ඡන්දයෙන් ජය ගනු ඇති බවත් ඔහු සඳහන් කළේය.
මේ අතර පෙට්‍රල් සැපයුම සම්බන්ධයෙන් පවතින අර්බුදකාරී තත්ත්වය පිළිබඳ බලවත් ලෙස කම්පනයට පත්වන බව කී මුදල් අමාත්‍ය මංගල සමරවීර ඒ සම්බන්ධයෙන් ජනතාවගෙන් සමාව ඉල්ලා සිටින බව සඳහන් කළේය.
දින කිහිපයක පුරා පවතින පෙට්‍රල් හිඟයත් සමග පෙට්‍රල් වාහන සහ යතුරුපැදි හිමියන් දැඩි අපහසුතාවට පත්ව ඇත.
ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ මහජනතාව එවැනි තත්ත්වයක් නිර්මාණය වීම සම්බන්ධයෙන් සිය අප්‍රසාදය සහ කෝපය පළ කරති.












