"අවශ්‍ය තරම් පෙට්‍රල් තිබෙනවා", නියෝගය අහෝසියි

ඉන්ධන පිරවුම් හල්හි පෙට්රල් නොමැති බවට මහජනයා මැසිවිලි නගති

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

වාහනවලට හැර වෙනත් ආකාරයෙන් පෙට්‍රල් නිකුත් කිරීමෙන් වළකින ලෙසට ඉන්ධන පිරවුම්හල් වෙත නිකුත් කර තිබූ නියෝගය වහාම ක්‍රියාත්මක වන පරිදි ඉවත් කර ඇති බව ඛනිජ තෙල් සම්පත් අමාත්‍යංශය පවසයි.

දැනට අවශ්‍ය තරම් පෙට්‍රල් තොග පවතින හෙයින් ඉහත කී තීරණයට එළැඹි බව ඛනිජ තෙල් සම්පත් අමාත්‍ය අර්ජුන රණතුංග පැවසුවේ යයි එම අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයක දැක්වේ.

ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යාංශය පවසන පරිදි ශ්‍රී ලංකාවේ දෛනික පෙට්‍රල් පරිභෝජනය මෙට්‍රික් ටොන් 1800 - 2000 ක් අතර සීමාවක පවතී.

කෙසේනමුත් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සඳුදා (නොවැ 06) පමණක් පෙට්‍රල් මෙට්‍රික් ටොන් 2623ක් නිකුත් කර ඇතැයි ඉහත කී නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.

එමෙන්ම අද (නොවැ 07) පෙට්‍රල් මෙට්‍රික් ටොන් 3000 ක් ඉන්ධන පිරවුම්හල් වෙත බෙදා ඇති බවත් හෙට දිනයේත් පෙට්‍රල් මෙට්‍රික් ටොන් 3000 ක් බෙදා හැරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සැලසුම් කර ඇති බවත් එම නිවේදනයේ සඳහන් වේ.

සංරක්ෂිත ඡායාරූපයකි

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, සංරක්ෂිත ඡායාරූපයකි

මේ අතර හෙට පස්වරු 7 පමණ විට අපේක්ෂිත පෙට්‍රල් නැව ලංකාවට සේන්දු වීමට නියමිතව බව ඛනිජ තෙල් සම්පත් අමාත්‍යංශය පවසයි.

මේ වන විටත් අවශ්‍ය තරම් පෙට්‍රල් තොග පවතින බවත් පෙට්‍රල්, වාහනවලට පමණක් ලබා දිය යුතු බවට පනවා තිබූ නීතිය ඉවත් කිරීමට වහාම පියවර ගත් බවත් අමාත්‍ය අර්ජුන රණතුංග පැවසූවේ යයි ඉහත කී නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

ඉන්ධන සැපයුම සම්බන්ධයෙන් මතුව ඇති අර්බුදකාරී වාතාවරණය හමුවේ වාහන සඳහා පමණක් ඉන්ධන නිකුත් කරන ලෙස දන්වා ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යංශය මීට පෙර ඉන්ධන පිරවුම්හල් හිමියන් වෙත චක්‍රලේඛයක් නිකුත් කර තිබිණි.

දිවයින පුරා පෙට්‍රල් හිඟයක් ඇති වූයේ 'ඉන්දියන් ඔයිල් සමාගම' විසින් ආනයනය කරන ලද මෙට්‍රික් ටොන් තිස්දහසක පෙට්‍රල් ඉන්ධන තොගයක් නියමිත ප්‍රමිතියකින් තොර හෙයින් ප්‍රතික්ෂේප කිරීමත් සමඟය.

සබැඳි යොමු: