සයිටම් උද්ඝෝෂණය: පිරිසක් තුවාල ලබති

මාලඹේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය අහෝසි කරන ලෙස ඉල්ලා අද (ඔක් 10) කොළඹ පැවති උද්ඝෝෂණයට පොලිසිය විසින් කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කරනු ලැබීය.

එහිදී ඇති වූ ගැටුම්වලින් තුවාල ලැබූ දහතුන් දෙනෙකු රෝහල් ගත කර ඇති බව කොළඹ ජාතික රෝහල පැවසීය.

ව්‍යාජ විසඳුම් එපා සයිටම් වහා අහෝසි කරනු මැයෙන් පැවති උද්ඝෝෂණය සහ පා ගමන සංවිධාන කරනු ලැබුවේ සයිටම් විරෝධී සිසු ජන ව්‍යාපාරය විසිනි.

පොලිසිය කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කිරීම ආරම්භ කළේ කොල්ලුපිටිය මංසන්ධිය වෙත විරෝධතාකරුවන් ඇතුළුවීමට උත්සාහ කිරීමත් සමගය.

ඉන් අනතුරුව විරෝධතාකරුවන් විසුරුවා හැරීම සඳහා පොලිස් භට පිරිස් කටයුතු කළහ.

"බැටන් පොලු ප්‍රහාර එල්ල කරලත් අපි යන්න ලෑස්ති නැහැ. ඉලක්ක කරලා කඳුළු ගෑස් උණ්ඩ වැදිලා අපේ සහෝදරුවරු පිරිසක් රෝහල් ගත කර තිබෙනවා" යනුවෙන් අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු ලහිරු වීරසේකර ඉන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසීය.

සබැඳි යොමු: