ශ්‍රී ලාංකිකයන් රැගත් නැවක් පැහැරගෙන?

ඡායාරූප මූලාශ්‍රය, European Union Naval Force
ශ්‍රී ලංකාවේ ධජය සහිත නෞකාවක් සෝමාලියාවට නුදුරු මුහුදේ දී පැහැර ගැනීමට ලක් වී ඇති බව වාර්තා වේ.
සෝමාලියාවේ උතුරු දිග වෙරළට නුදුරින් යාත්‍රා කරමින් තිබූ නෞකාවට මුහුදු කොල්ලකරුවන් බවට සැක කෙරෙන කීපදෙනෙකු ඇතුළු වී ඇති බව ප්‍රදේශවාසීහු සහ බලධාරීහු පවසති.
කෙසේ වෙතත් මේ පිළිබඳව කළ විමසීමකදී වරාය සහ නාවික කටයුතු පිළිබඳ අමාත්‍යංශයේ ප්‍රකාශකයෙකු කියා සිටියේ 'Aris13'නම් වූ අදාළ නෞකාව ශ්‍රී ලංකාවේ තාවකාලික ලියාපදිංචිය ලබා ගෙන තිබූ අතර ජනවාරි මස අගදී එම ලියාපදිංචිය ඉවත් කර ගෙන ඇති බවය.
නෞකාව පහර ගැනීමට ලක් වී ඇතැයි කියන ප්‍රදේශයේ මුහුදු කොල්ලකෑම් මැඩලීමේ මෙහෙයුම්වල නිරත යුරෝපා සංගම් නාවික බලකායේ ප්‍රකාශකයෙකු කියා සිටියේ මෙය මුහුදු කොල්ලකරුවන්ගේ පැහැර ගනීමක්බව පැවසීමට කල් වැඩි බවය.

එවැන්නක් සිදු වී ඇත්නම්, 2012 වසරෙන් පසු සෝමාලි කොල්ලකරුවන් විසින් වෙළෙඳ නෞකාවක් පැහැර ගනු ලැබූ පළමු අවස්ථාව මෙය වනු ඇත.


මේ අතර මේ පිළිබඳ වැඩිදුරටත් කරුණු දැක්වූ ශ්‍රී ලංකාවේ වරාය හා නාවික කටයුතු අමාත්‍යංශ ප්‍රකාශකයා පෙන්වා දුන්නේ අදාළ නෞකාව කොමොරෝස් රාජ්‍යයේ ලියාපදිංචිය ලබා ගෙන ඇති බව පැවසීය.
කෙසේවෙතත් එහි ශ්‍රී ලාංකිකයින් අට දෙනෙකු පමණ සේවයේ නිරතව සිටින බව ඔහු සඳහන් කළ අතර නෞකාවට සේවකයන් සම්පාදනය කළ ශ්‍රී ලාංකීය සමාගමෙන් බීබීසී සිංහල සේවය කළ විමසීමේදී එහි ප්‍රකාශකයෙකු ද එම කරුණ තහවුරු කළේය.
ඒ අනුව වරාය සහ නාවික අමාත්‍යංශයේ ප්‍රකාශකයා මෙන්ම අදාළ සමාගමේ ප්‍රකාශකයා ද සඳහන් කළේ මෙම තත්වය සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු විමසා බලන බවය.








