පැහැරගත් නැවේ නාවිකයන් බේරා ගැනීමට 'ආණ්ඩුව මැදිහත් වුනේ නෑ'

මුහුදු කොල්ලකරුවන් විසින් සෝමාලි වෙරලින් ඔබ්බේ රඳවා තබා සිටි නෞකාවක කාර්ය මණ්ඩලය බේරා ගැනීම සඳහා මැදිහත් නොවූ බවට නෞකාවේ ප්‍රධාන ඉංජිනේරු නලීන් වක්වැල්ල ගේ සොහොයුරා ශ්‍රී ලංකාවේ රජයට චෝදනා කරයි.
සෝමාලියාවට සැතපුම් නව සියයක් එපිටදී 2010 නොවැම්බරයේදී මුහුදු කොල්ලකරුවන් විසින් පැහැරගෙන තිබුණු මැලේසියානු සමාගමක් සතු අල්බෙඩෝ භාණ්ඩ නෞකාව ඉරිදා ගිලා බැස වී තිබේ.
පකිස්තාන, බංග්ලාදේශ, ඉරාන හා ශ්‍රී ලාංකික පුර වැසියන් ඇතුළු විසි තුන් දෙනෙක් පැහැර ගනු ලැබූ අවස්ථාවේ එහි සේවය කළහ.
'ආගිය අතක් නෑ'
ඒ අතුරින් පකිස්තාන කාර්ය මණ්ඩලය රජයේද මැදිහත් වීමෙන් ඉකුත් අගෝස්තුවේදී නිදහස් කරවා ගැනීමට එම පවුල් වල සාමාජිකයෝ සමත් වූහ.
ශ්‍රී ලංකා රජයෙන් එවැනි මැදිහත් වීමක් නොවුණු බවයි කපිතාන්වරයාගේ සොයුරු ජයාන් වක්වැල්ල බීබීසී සංදේශය සමඟ කියා සිටියේ.
"අපිට අවශ්‍ය ආධාර, උපකාර ලැබුනේ නෑ ඇත්තටම. අපි රජයෙන් ඉල්ලා සිටිය නමුත් රජය කියා සිටිනවා ඒගොල්ලන් කොල්ලකරුවන් එක්ක ගනුදෙනු කරන්නේ නෑ කියල," ඔහු පැවසීය.
නෞකාවේ කාර්ය මණ්ඩලය ආගිය අතක් නැති බවයි, යුරෝපා නාවුක බලකාය මේ අතර පවසන්නේ.
ගිලාබත් වුනු නෞකාවේ කාර්ය මණ්ඩලයේ පහළොස් දෙනකු සම්බන්ධයෙන් සිදුවූ දේ සොයා බැලීමට වහාම පියවර ගත් බව යුරෝපා නාවුක බලකායේ ප්‍රකාශිකා ලුතිනන් කොමදෝරු ජැකලින් ෂෙරීෆ් සංදේශය කළ විමසීමකදී කියා සිටියාය.
"යුරෝපා සංගමයේ නාවික බල ඇණියට අයත් නැවක් හා ගුවන් යානයක් අදාළ තැනට වහාම පිටත් කර යැවුනා. ඒත් දිවි ගලවා ගත් කෙනෙක් හෝ මළසිරුරක් හෝ මේ වන විටත් හමුවෙලා නැහැ," යනුවෙන් ද ඇය සඳහන් කළාය.








