අර්ජුනගේ නත්තල් ගස බාගෙට නවතියි
කොළඹ ගාලු මුවදොර පිටියේ ඉදිකෙරෙමින් පැවති ලොව විශාලතම නත්තල් ගසේ ඉදිකිරීම් කටයුතු වහාම නතර කරන ලෙස වරාය සහ නාවික අමාත්‍ය අර්ජුන රණතුංග නියෝග කරයි.
අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ඊයේ (දෙසැ. 06) මාධ්‍ය හමුවකදී කියා සිටියේ ලොව උසම නත්තල් ගස ඉදිකිරීමේ ව්‍යාපෘතිය මුදල් නාස්තියක් බවය.
දිළිඳු ජනතාව වෙනුවෙන් නිවාස තනාදීමට හෝ දිළිඳු පවුල්වල දරුවන් කීපදෙනෙකුට ශිෂ්‍යත්ව ලබාදීමට මෙම මුදල් යොදවන ලෙස උන්වහන්සේ ඉල්ලීමක් කළහ.
හිස නමමින්
ඊට ප්‍රතිචාර දැක්වීම සඳහා වරාය සහ නාවික අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ අද පැවැති මාධ්‍ය හමුවේදී නත්තල් ගස ඉදිකිරීමේ සංවිධායක කමිටුවේ සභාපති මංගල ගුණසේකර කියා සිටියේ අතිඋතුම් කාදිනල් හිමිපාණන්ගේ උපදෙස්වලට නිහතමානීව හිස නමමින් එම ව්‍යාපෘතිය නවතා දැමූ බවය.

"වරාය අධිකාරියේ කිසිම මුදලක් මේ සඳහා වැය කර නැහැ. ලොරි රථ රියදුරන් මීට සහභාගිවුණේ තමන්ගේ රාජකාරි වෙලාවෙන් පිටස්තරව. ඊට අමතරව ස්වේච්ඡාවෙන් මේ සඳහා විශාල පිරිසක් එක් වුණා. ඒ වගේම අපි මුදල් ආධාර එකතු කළේ නැහැ. අපිට ලැබුණේ ද්‍රව්‍යමය ආධාර. සිංහල දෙමළ මුස්ලිම් භේදයෙන් තොරව බොහෝ අය ආධාර කළා." යනුවෙන් සංවිධායක කමිටුවේ සභාපතිවරයා පැවසීය.
මෙම ව්‍යාපෘතිය ආරම්භ කෙරුණේ වරාය සහ නාවික අමාත්‍ය අර්ජුන රණතුංගගේ ප්‍රධානත්වයෙනි.







