ඉතාලි භූමිකම්පාවෙන් පෞරාණික ගොඩනැගිලිවලට හානි

Basilica of San Benedetto destroyed after the strong earthquake in central Italy, Norcia, Umbria Region, 30 October 2016

ඡායාරූප මූලාශ්‍රය, EPA

ඡායාරූප ශීර්ෂ වැකිය, ශාන්ත බෙනඩික් බැසිලිකා දේවස්ථානය

ඉතාලියේ මධ්‍යම කලාපයේ ඇති වූ භූමිකම්පාව හේතුවෙන් පෞරාණික ගොඩනැගිලිවලට හානි සිදු වී ඇති බව බලධාරීහු පවසති.

නෝචා නගරයේ පිහිටි මධ්‍යතන යුගයට අයත් ශාන්ත බෙනඩික් බැසිලිකා දේවස්ථානය එලෙස විනාශ වූ ගොඩනැගිලි අතරින් එකකි.

රික්ටර් මාපකයේ 6.6 ක් සටහන් කළ භූචලනය දශක ගණනාවක් තුළ ඉතාලියේ ඇති වූ ප්‍රබලතම භූමිකම්පාව වන අතර පසුගිය අගෝස්තු මාසයේ ඒ ආසන්නයේ ඇති වූ භූමිකම්පාවට හසු වී තුන්සීයකට ආසන්න පිරිසක් මරුමුවට පත් විය.

අද (ඔක්.30) ඇති වූ භූමිකම්පාවෙන් අනතුරුව මරණ කිසිවක් වාර්තා වී නොමැති අතර විසි දෙනකු තුවාල ලබා තිබේ.

Fire engine passes near cracks on the road outside the center of Norcia

ඡායාරූප මූලාශ්‍රය, AFP

Basilica of St Benedict in Norcia

ඡායාරූප මූලාශ්‍රය, @monksofnorcia

භූමිකම්පාව හට ගත් ප්‍රදේශයට කිලෝමීටර 30 ක් පමණ දුරින් පිහිටි මොන්තරෝ සාතු ගම්මානයේ දිවි ගෙවන ශ්‍රී ලාංකිකයකු වන වර්ණකුලසූරිය නුවන් ප්‍රසාද් තිසේරා බීබීසී සිංහල සේවයට කියා සිටියේ උදෑසන හට ගත් භූකම්පනය තම ගම්මානයට ඉතා හොඳින් දැනුණු බවය.

නගරවාසීන් ප්‍රදේශය අතහැර වෙනත් නගරවල වෙසෙන ඥාති මිත්‍රයන්ගේ නිවෙස් වෙත ගොස් ඇති බවත් ඔහු පැවසීය.

"මොකද නගරයේ රැඳී සිටින එක තරමක් භයානකයි. තවත් මීට වඩා බරපතල භූමිකම්පාවක් ඇති විය හැකි බව අඟවලා තිබෙනවා." (සාකච්ඡාවට සවන්දෙන්න)

"අපි දැනට පදිංචිවෙලා ඉන්න ප්‍රදේශයේ ගොඩනැගිලිවලට හානි සිදුවෙලා තිබෙනවා. මේක පෞරාණික නගරයක්."

Half-collapsed building between Arquata and Norcia - 30 October

ඡායාරූප මූලාශ්‍රය, Sabrina Fatauzzi

කෙසේ වෙතත් ආරක්‍ෂිත ස්ථාන කරා ඉවත් වන ලෙස බලධාරීන් විසින් නගරවැසියන්ට දන්වා ඇති නමුත් තමා වැනි සංක්‍රමණිකයන්ට එවැනි ස්ථාන සොයා ගැනීම අසීරු කටයුත්තක් බවත් නුවන් ප්‍රසාද් පැවසීය.

"අපේ රස්සාව ගේ දොර අතහැරලා දරුමල්ලෝ එක්ක යන්න වෙනත් තැනක් නැහැ. මෙවැනි අවස්ථාවක මේ රටේ ජීවත් වන වෙනත් රටවල ජනතාව අසරණ වෙනවා,"

"දෙවියන්ගේ පිහිටෙන් ලොකු කරදරයක් නොවෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා," ඉතාලියේ වෙසෙන ශ්‍රී ලාංකිකයකු වන නුවන් ප්‍රසාද් තිසේරා වැඩිදුරටත් පැවසීය. (සංදේශයට සවන්දෙන්න)