තාජුදීන් අස්ථි කොටස් පරීක්‍ෂණ කඩිනම් කිරීමට නියෝග

ඝාතනය කෙරුණු රග්බි ක්‍රීඩක වසීම් තාජුදින්ගේ අස්ථි කොටස් අස්ථානගතකිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින කොළඹ හිටපු අධිකරණ වෛද්‍ය ප්‍රධානි මහාචාර්ය ආනන්ද සමරසේකර සම්බන්ධ පරීක්ෂණ ලබන මස 30 වෙනිදාට පෙර නිම කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ශ්‍රී ලංකා වෛද්‍ය සභාවට අද නියෝග කළේය.
මිට පෙර විරෝධතාවක් ඉදිරිපත් කළ රජයේ නීතිවේදියා, පරීක්ෂණ කඩිනම් කරන ලෙසට නියෝගයක් පනවන්නැයි අධිකරණයෙන් ඉල්ලා සිටියේ, අදාළ පරික්ෂණ හිතාමතා ප්‍රමාද කිරීමේ සැලසුමක් පවතින බවට සැක මතුවී ඇතැයි පෙන්වා දෙමිනි.
එම කරුණ පිළිගත් අධිකරණය පරීක්ෂණ කටයුතු ලබන මස 30 වෙනිදාට පෙර අවසන් කර ඊට අදාළ වාර්තාව අධිකරණය හමුවේ ගොනුකරන මෙන් ශ්‍රී ලංකා වෛද්‍ය සභාවට නියම කළේය.
අනුර සේනානායක
මෙම නඩුවේ සැකකරුවෙකුවන හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායකට කොළඹ ජාතික රෝහලේ මුදල් ගෙවන වාට්ටුවක ප්‍රතිකාර ලැබීමට හැකියාවක් නොමැති බව කී මහේස්ත්‍රාත්වරයා, ඔහුව බන්ධනාගාරය වෙත මාරු කරන ලෙසට ද නියෝගයක් පැණවීය.

එම අවස්ථාවේදී අධිකරණය හමුවේ කරුණු දැක්වූ හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක කියා සිටියේ තමා දැනටමත් රෝහලෙන් ඉවත් කොට බන්ධනාගාරය වෙත මාරුකර ඇති බවය.
මේ අතර සයිටම් පුද්ගලික වෛද්‍ය විද්‍යාලයෙන් සොයාගත් අස්ථි කොටස් DNA පරීක්ෂණයකට යොමු කිරීමට කටයතු කරමින් සිටින බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුණි.
එම පරීක්ෂණ කඩිනමින් අවසන් කරන්නැයි නියම කළ මහේස්ත්‍රාත්වරයා, සැකකරුවන් දෙදෙනා ලබන මස 02 වෙනිදා තෙක් රිමාන්ඩ් භාරයේ තැබීමට නියෝග කළේය.




