සාක් සමුළුව දින නියමයක් නැතිව කල් යයි

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
ඉස්ලාමාබාද් අගනුවර පැවැත්වීමට නියමිතව තිබූ දහනව වන දකුණු ආසියානු කලාපීය සහයෝගිතා සමුළුව දින නියමයක් නොමැතිව කල් තැබීමට තීරණය කොට ඇති බව පාකිස්තාන විදේශ අමාත්‍යංශය පවසයි.
නොවැම්බර් 09 සහ 10 යන දෙදින තුළ සමුළුව පැවැත්වීමට කටයුතු සම්පාදනය කෙරෙමින් තිබිණි.
සාක් සමුළුව සාර්ථකව පැවැත්වීම සඳහා සියල්ල සූදානම් කර තිබුණත් ඒ සඳහා ඉන්දියාව සහභාගී නොවීම සමුළුව පැවැත්වීමට බාධාවක් වී ඇති බවයි පකිස්තාන විදේශ අමාත්‍යාංශය පවසන්නේ.
සමුළුව පැවැත්වීමට සුදුසු වාතාවරණයක් නොමැති බැවින් එය දින නියමයක් නොමැතිව කල් තබන බව පකිස්තාන විදේශ අමාත්‍යාංශය නිකුත් කරන ලද නිල නිවේදනයේ සඳහන් වේ.
කෙසේ නමුත් සමුළුව පැවැත්වෙන දිනය පසුව දැනුම් දෙන බවත් නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.

ඡායාරූප මූලාශ්‍රය, AFP
ඉන්දියානු පරිපාලනය සහිත කාශ්මීරයේ හමුදා කඳවුරකට පසුගියදා එල්ල කෙරුණු සන්නද්ධ ප්‍රහාරය මුල් කර ගනිමින් පාකිස්තානයේ පැවැත්වීමට නියමිත සාක් සමුළුවට සහභාගී නොවන බව ඉන්දියාව මීට ඉහතදී නිවේදනය කළේය.
ඉන්දියාව සිය තීන්දුව ප්‍රකාශයට පත් කරමින් කියා සිටියේ 'කලාපීය සහයෝගිතාවට සහ ත්‍රස්තවාදයට එක්ව ගමන් කළ නොහැකි' බවයි.
සිය කාශ්මීර යුද කඳවුරට එල්ල කෙරුණ ප්‍රහාරය සම්බන්ධයෙන් ඉන්දියාව පාකිස්තානයට ඇඟිල්ල දිගු කරන නමුත් පාකිස්තානය එම චෝදනා බැහැර කරයි.
පාකිස්තානය රාජ්‍යතාන්ත්‍රික වශයෙන් හුදකලා කරනු ලැබීමට දිල්ලි බලධාරීන් විසින් ගනු ලබන උත්සාහයේ අළුත්ම නිදසුන හැටියට ඉන්දියාව සමුළුව වර්ජනය කිරීම පෙන්නුම් කළ හැකි බව විශ්ලේෂකයෝ පෙන්වා දෙති.
සමුළුවට සහභාගී නොවී සිටීමට ඉන්දියාව ගනු ලැබූ තීන්දුවත් සමග ඇෆ්ගනිස්ථානය, භූතානය සහ බංගලාදේශය යන රටවල්ද සමුළුවට සහභාගී නොවන බව නිවේදනය කොට තිබිණි.
සාක් සමුළුව පැවැත්වීමට තරම් සුදුසු වාතාවරණයක් කලාපය තුළ නො තිබීම පිළිබඳ ශ්‍රී ලංකා ආණ්ඩුව සිය කනගාටු පළ කර සිටියේය.











