සාර්ක්: පාකිස්තාන් සමුළුව අසාර්ථක වෙන ළකුණු

කාශ්මීර් ප්‍රහාරයෙන් පසු විරසක වෙමින් සිටින අසල්වැසියන් දෙදෙනා
ඡායාරූප ශීර්ෂ වැකිය, කාශ්මීර් ප්‍රහාරයෙන් පසු විරසක වෙමින් සිටින අසල්වැසියන් දෙදෙනා

පකිස්තානයේ පැවැත්වීමට නියමිත දකුණු ආසියානු කලාපීය සහයෝගිතා සමුළුවට සහභාගී නොවන බව බංග්ලාදේශය විසින් නිවේදනය කරනු ලැබ ඇත.

දකුණු ආසියානු සහයෝගිතා සමුළුව (සාර්ක්) ලබන නොවැම්බර් මාසයේ ඉස්ලාමාබාද් නගරයේ පැවැත්වීමටයි කටයුතු සම්පාදනය වෙමින් තිබුණේ.

ඉන්දියාව එම සමුළුවට සහභාගී නොවන බව දැනටමත් ප්‍රකාශයට පත් කර ඇති අතර එම ක්‍රියාමාර්ගයට ප්‍රවේශ වූ ඊ ළඟ රට වන්නේ බංග්ලාදේශයයි.

ඉන්දියාව සිය තීන්දුව ප්‍රකාශයට පත් කරමින් කියා සිටියේ 'කලාපීය සහයෝගීතාවයට සහ ත්‍රස්තවාදයට එකට ගමන් කළ නොහැකි' බවයි.

ඇෆ්ඝනිස්තානය සහ භූතානයත් පාකිස්තානයේ පැවැත්වීමට නියමිත දකුණු ආසියානු සහයෝගීතා සමුළුවට සහභාගී නොවන තත්වයක් පවතින බවයි මාධ්‍ය වාර්තා මගින් පැවසෙන්නේ.

එම තත්වය තුල සමුළුව නියත ලෙසම කල් තැබෙන තත්ත්වයකුයි උද්ගතව පවතින්නේ.

ඉන්දියානු පරිපාලනය සහිත කාශ්මීරයේ යුද කඳවුරකට පසුගිය දා එල්ල කෙරුණ සන්නද්ධ ප්‍රහාරයෙන් පසුව පාකිස්තානය රාජ්‍යතාන්ත්‍රික වශයෙන් හුදෙකලා කරනු ලැබීමට දිල්ලි බලධාරීන් විසින් ගනු ලබන උත්සාහයේ අළුත්ම නිදසුන හැටියට ඉන්දියාව සමුළුව වර්ජනය කිරීම පෙන්නුම් කළ හැකි බව විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

සිය කාශ්මීර යුද කඳවුරට එල්ල කෙරුණ ප්‍රහාරය සම්බන්ධයෙන් ඉන්දියාව පාකිස්තානයට ඇඟිල්ල දිගු කරන නමුත් ඉස්ලාමාබාද් බලධාරීන් විසින් එම චෝදනා බැහැර කරනු ලැබ ඇත.