සාක් සමුළුව: 'පැවැත්වීමට සුදුසු වාතාවරණයක් නෑ'

සාක් නායකයෝ

ඡායාරූප මූලාශ්‍රය, Reuters

ඡායාරූප ශීර්ෂ වැකිය, ඉන්දීය පාලිත කාශ්මීරයේ යුද කඳවුරකට එල්ල කෙරුණ ප්‍රහාරයෙන් පසුව පාකිස්තානය සහ ඉන්දියාව අතර සම්බන්ධතා පිරිහීම මේ අර්බුදයට හේතුවයි

දහ නම වැනි සාක් දකුණු ආසියානු කලාපීය සහයෝගිතා සමුළුව පැවැත්වීමට තරම් සුදුසු වාතාවරණයක් කලාපය තුළ නොතිබීම පිළිබඳව කණගාටු වන බව ශ්‍රී ලංකා ආණ්ඩුව පවසයි.

ශ්‍රී ලංකා විදේශ අමාත්‍යාංශය ඒ බව සඳහන් කරන්නේ නොවැම්බර් මස 9 සහ 10 යන දිනවල ඉස්ලාමාබාද් නගරයේ දී පැවැත්වීමට නියමිතව තිබෙන සාක් සමුළුව සම්බන්ධයෙන් මතු වී තිබෙන අර්බුදකාරී තත්වය පිළිබඳව නිවේදනයක් නිකුත් කරමින්.

සමුළුව වර්ජනය කරන බව ඉන්දියාව සහ බංග්ලාදේශය මීට ඉහතදී නිවේදනය කළහ.

කාශ්මීර අර්බුදය

ඇෆ්ඝනිස්තානය සහ භූතානයත් සමුළුවට සහභාගි නොවන වාතාවරණයක් පවතින බවයි මාධ්‍ය වාර්තා මගින් පැවසෙන්නේ.

සාක් සංවිධානයේ ප්‍රඥප්තිය ප්‍රකාර සියලුම කරුණු සම්බන්ධයෙන් ඒකමතික තීරණයක් අවශ්‍ය වන බව පෙන්වා දෙන ශ්‍රී ලංකා විදේශ අමාත්‍යාංශ නිවේදනය, එය රාජ්‍ය නායක සමුළුව කැඳවීම සම්බන්ධයෙන්ද අදාළ වන බවත් සඳහන් කරයි.

සාක් සාමාජික රටවල්

ඡායාරූප මූලාශ්‍රය, SAARC

ඡායාරූප ශීර්ෂ වැකිය, සාක් සංවිධානයේ සාමාජික රටවල්

සමුළුව කැඳවීම පිණිස සියලු රටවල එකඟත්වයක් නොමැති බැවින් ශ්‍රී ලංකාවට එයට සහභාගි වීමේ හැකියාවක් නොමැති බවයි, නිවේදනයෙන් ගම්‍ය වෙන්නේ.

දකුණු ආසියාවේ ජනතාව වෙනුවෙන් ඵලදායී කලාපීය සහයෝගීතාවයක සාර්ථකත්වය සඳහා සාමය සහ ආරක්ෂාව අත්‍යවශ්‍ය සාධක බව පවසන ශ්‍රී ලංකා ආණ්ඩුව, සමුළුවේ ආරම්භක සාමාජිකයෙකු ලෙස කලාපීය සහයෝගීතාවය සහතික කෙරෙන පරිසරයක් නිර්මාණය කිරීම පිණිස ශ්‍රී ලංකාව කැප වී සිටින බවත් සඳහන් කරයි.

ඉන්දීය පාලිත කාශ්මීරයේ යුද කඳවුරකට පසුගිය දා එල්ල කෙරුණ සන්නද්ධ ප්‍රහාරයෙන් පසුව පාකිස්තානය රාජ්‍යතාන්ත්‍රික වශයෙන් හුදෙකලා කරනු ලැබීමට දිල්ලි බලධාරීන් විසින් ගනු ලබන උත්සාහයේ අළුත්ම නිදසුන හැටියට ඉන්දියාව සමුළුව වර්ජනය කිරීම පෙන්නුම් කළ හැකි බව විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

ශ්‍රී ලංකාව ඕනෑම ආකාරයක ත්‍රස්තවාදයක් හෙළා දකින අතර කළාපයේ පවතින ත්‍රස්තවාදය පිළිබඳව තීරණාත්මක ආකාරයෙන් කටයුතු කිරීමේ අවශ්‍යතාව අවධාරණය කරන බවත් ශ්‍රී ලංකා විදේශ අමාත්‍යංශ නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.