ඩිල්ශාන්ගේ ක්‍රිකට් අනාගතය අවිනිශ්චිත තත්වයක

ඡායාරූප මූලාශ්‍රය, AFP
ශ්‍රී ලංකා කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ ආරම්භක පිතිකරු තිලකරත්න ඩිල්ශාන්ගේ ක්‍රිකට් ආනාගතය ගැන තීරණයක් ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව සුදානම් වන බවට බීබිසියට වාර්තාවේ.
අද පැවති ශ්‍රී ලංකා ඕස්ට්‍රේලියා දෙවැනි එක් දින තරගයේදීද 39 හැවිරිදි තිලකරත්න ඩිල්ශාන් අසාර්ථක වූ අතර ඔහු වෙනුවට තරුණ ක්‍රීඩකයෙකු ආදේශ කිරීමට තේරීම් කමිටුවේ අවධානය යොමුවී තිබෙන බවයි වාර්තා වන්නේ.
සනත් ජයසුරිය ප්‍රමුඛ තේරීම් කමිටුව එක් දින සංචිතය නම් කර තිබුණේ පළමු තරග දෙක සදහා පමණක් වන අතර හෙට දිනයේ බොහෝ දුරට අවසන් එක් දින තරග තුන සදහා ශ්‍රී ලංකා සංචිතය නම් කෙරෙනු ඇති.
එහිදී තිලකරත්න ඩිල්ශාන්ට තවදුරටත් අවස්ථාව ලබා දෙන්නේදැයි තේරීම් කමිටුවට තීරණයක් ගැනීමට සිදුවනු ඇති. තමන් ක්‍රිකට් ක්‍රීඩාවෙන් විශ්‍රාම ගැනීමට සුදානමක් නොමැති බව තිලකරත්න ඩිල්ශාන් තරගාවලියට පෙර මාධ්‍යට ප්‍රකාශ කර තිබුණි.

ක්‍රීඩකයන්ගේ වයස 40ක් වුවත් 17ක් වුවත් ඔවුන් දක්ෂතා අතර සිටි නම් කණ්ඩායමට තෝරා ගත යුතු බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති තිලංග සුමතිපාල පසුගියදා බිබිසිය සමග පැවතී සම්මුඛ සාකච්ඡාවක දී ප්‍රකාශ කළේය.
ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක ඇන්ජෙලෝ මැතිව්ස් දෙවැනි තරගයට පෙර පැවති මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු නැගු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ප්‍රකාශ කළේ යම් හෙයකින් ඩිල්ශාන් ක්‍රීඩාවෙන් සමුගතහොත් ඔහුගේ ආරම්භක පිතිකරු ස්ථානය දනුෂ්ක ගුණතිලකට හිමිවනු ඇති බවයි.
2019 ලෝක කුසලානයට කණ්ඩායම ගොඩනැගීමට නම් මේ දිනවල දක්ෂතා ඇති තරුණ ක්‍රීඩකයන්ට අවස්ථාව ලබාදිය යුතු බව ක්‍රිකට් තේරීම් කමිටුවේ බහුතරයක මතය වී තිබේ.




