වසරේ දක්ෂතම එක් දින ක්‍රීඩකයා සංගක්කාර

සංගක්කාර - වසරේ දක්ෂතම එක් දින ජාත්‍යන්තර ක්‍රීඩකයා
ඡායාරූප ශීර්ෂ වැකිය, සංගක්කාර - වසරේ දක්ෂතම එක් දින ජාත්‍යන්තර ක්‍රීඩකයා

ගතව ගිය වසරේ දක්ෂතම එක් දින ජාත්‍යන්තර ක්‍රීඩකයා සම්මානයෙන් ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායක කුමාර් සංගක්කාර පිදුම් ලබද්දී, ක්‍රීඩාවේ ජීවගුණය ආරක්ෂා කළ හොඳම ක්‍රීඩකයා වීමේ සම්මානය හිටපු නායක මහේල ජයවර්ධනට හිමි වී තිබේ.

ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායකයන් ඇතුළු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩකයන්ට පිදෙන එම සම්මාන ජාත්‍යන්තර ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් ප්‍රකාශයට පත් කරනු ලැබුවේ, වාර්ෂික සම්මාන ප්‍රදානෝත්සවය හෙට සෙනසුරාදා පැවැත්වීමට නියමිතව තිබියදී නිවේදනයක් නිකුත් කරමින්.

මහේල - ක්‍රීඩාවේ ජීවගුණය ආරක්ෂා කළ වසරේ හොඳම ක්‍රීඩකයා
ඡායාරූප ශීර්ෂ වැකිය, මහේල - ක්‍රීඩාවේ ජීවගුණය ආරක්ෂා කළ වසරේ හොඳම ක්‍රීඩකයා

වසරේ දක්ෂතම ක්‍රීඩකයා සහ දක්ෂතම ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයා ලෙසින් ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ නායක මයිකල් ක්ලාක් තේරී පත් වී සිටී.

ගතව ගිය වසරේ ජනප්‍රියම ක්‍රීඩකයා ලෙසින් ඉන්දීය කණ්ඩායමේ නායක මහේන්ද්‍ර සිං දෝනි මීට ඉහතදී ක්‍රීඩාලෝලීන්ගේ ඡන්දයෙන් තෝරා ගැනුණු අතර, ඉන්දීය කණ්ඩායමේ චෙතෙශ්වාර් පුජාරා වසරේ දක්ෂතම නැගී එන ක්‍රීඩකයා ලෙසින් සම්මාන ලබයි.

නවසීලන්ත කාන්තා කණ්ඩායමේ නායිකා සුසී බෙට්ස්, වසරේ දක්ෂතම එක් දින ක්‍රීඩිකාවයි.

ශ්‍රී ලංකා කණ්ඩායමේ තිලකරත්න ඩිල්ශාන්, කුමාර් සංගක්කාර සහ ලසිත් මාලිංග වසරේ හොඳම එක් දින කණ්ඩායමට තේරී සිටින නමුත්, වසරේ දක්ෂතම ටෙස්ට් කණ්ඩායමට කිසිදු ශ්‍රී ලාංකික ක්‍රීඩකයකු ඇතුලත් වී නැත.