ක්‍රීඩා ඇමතිගේ නියෝගයට තිලංග සුමතිපාලගෙන් පිළිතුරු

Getty Images

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, තිලංග සුමතිපාල

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ කටයුතු වලට සහභාගි වීම වළක්වමින් ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු තමාට එරෙහිව නිකුත් කර ඇති නියෝගය දේශපාලනය මත පදනම් ව ගත් තීරණයක් ලෙස දකින බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ හිටපු සභාපති තිලංග සුමතිපාල පවසයි.

"බිස්නස් එක අතට ගන්නනේ ඕක කරන්නේ. අපි බලමු," ඒ පිළිබඳව විමසූ විට තිලංග සුමතිපාල බීබීසී සිංහල සේවයට පැවසීය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති, ලේකම් සහ අනෙකුත් නිලධාරීන් වෙත ක්‍රීඩා අමාත්‍යවරයා විසින් නිකුත්කරන ලද විශේෂ නියෝගයේ දැක්වෙන්නේ, ඔහු විසින් 2019.09.09 වෙනිදා පත්කරන ලද පරීක්ෂණ කමිටුවේ වාර්තාවේ සඳහන් "නිර්දේශ ප්‍රවේසමෙන් සැලකිල්ලට ගෙන" ඉහත තීරණයට එළැඹි බවය.

එම විශේෂ නියෝගය ඔක්තෝබර් මස 11 වෙනිදා නිකුත් කර තිබුණි.

"මම මේ සමග ඔබට නියෝග කරන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ රැස්වීම් සඳහා සහභාගී වීම, කමිටු සඳහා එක්වීම, ඡන්දය පාවිච්චි කිරීම, කිසිදු ආකාරයේ බලයක් පාවිච්චි කිරීම, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලතල දරන්නෙකු ලෙස හෝ හිටපු සභාපතිවරයා ලෙස හෝ ගරු තිලංග සුමතිපාල සහභාගී වීම වළකන ලෙසය," යනුවෙන් ක්‍රීඩා අමාත්‍යවරයා නිකුත් කළ එම ලිපියේ තවදුරටත් සඳහන් වේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ලෙස කිහිපවරක් කටයුතු කර ඇති පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාලට එරෙහිව ඉහත සඳහන් පරීක්ෂණය ආරම්භ කෙරුණේ පිළියන්දල නගර ක්‍රීඩා සමාජය විසින් ඉදිරිපත් කරන ලද පැමිණිල්ලක් අනුවය.

එම පැමිණිල්ලේ සඳහන් වූයේ තිලංග සුමතිපාල ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ තනතුරක් දැරීම අංක 2137/85 දරණ අති විශේෂ ගැසට් පත්‍රය උල්ලංඝනය කිරීමක් බවය.

GovInfo

ඡායාරූප මූලාශ්‍රය, Department of Government Printing

ඡායාරූප ශීර්ෂ වැකිය, සංශෝධිත අති විශේෂ ගැසට් පත්‍රය

අදාළ අති විශේෂ ගැසට් පත්‍රය 2019 අගෝස්තු මස නිකුත් කෙරිණි. ඒ අනුව පහත සඳහන් කරුණු හා සම්බන්ධ වීම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ තනතුරක් දැරීමට නුසුදුසු කමක් ලෙස සැලකිණි.

"ඔට්ටු ඇල්ලීමේ, සූදු ක්‍රීඩාවේ, පරදු තැබීමේ ව්‍යාපාරයක හෝ කිසියම් තරගයකට සම්බන්ධතාවයක් ඇති ඔට්ටු ඇල්ලීමේ හෝ සූදු ක්‍රීඩාවේ හෝ පරදු තැබීමේ ව්‍යාපාරයක හෝ එවැනි තරග සම්බන්ධයෙන් කටයුතු කරන ආයතනයක හෝ ආයතනයන්හි එදිනෙදා කටයුතු වල නියැලී සිටින තැනැත්තෙක් හෝ ඔහුගේ පවුලේ ඕනෑම පූර්වාසන්න සාමාජිකයෙකු (කාලත්‍රයා, මව, පියා, සහෝදරයෙක්, සහෝදරියක්. පුතා, දුව, බෑණා ලේලිය) වන්නේ නම්," යනුවෙන් එම අති විශේෂ ගැසට් පත්‍රය මගින් 1973 අංක 25 දරණ ක්‍රීඩා පනත සංශෝධනය කෙරිණි.

පිළියන්දල නගර ක්‍රීඩා සමාජය ඉදිරිපත් කළ පැමිණිල්ල ගැන කරුණු සොයා බලා නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා ක්‍රීඩා අමාත්‍යවරයා විසින් ත්‍රිපුද්ගල කමිටුවක් පත් කළ අතර ක්‍රීඩා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් ධම්මික මුතුගල (සභාපති), ක්‍රීඩා අමාත්‍යාංශයේ නීති නිලධාරී ශිරෝමි රණවක සහ විශ්‍රාමික පරිපාලන නිලධාරී නීතීඥ එස් ඩී පියදාස එහි සාමාජිකයෝ වූහ.

තමාට එරෙහිව ඉදිරිපත්ව ඇති චෝදනා සම්බන්ධයෙන් තිලංග සුමතිපාල පවසන්නේ, "මම නියෝජ්‍ය කතානායක වෙන කොටත් මගේ පවුලේ අයට ඔය සම්බන්ධතා ඔක්කොම තිබ්බා. මේ කිසි දෙයක් අලුත් නොවෙයි. මට ඔය ව්‍යාපාර සම්බන්ධයක් නෑ. මට ඔය ගැම්බ්ලින් පිළිබඳව කිසිම සම්බන්ධයක් නෑ මගේ පවුලේ අයට තියෙනවා මම ඒක ප්‍රකාශයට පත් කරලා තිබෙනවා මට හංගන්න දෙයක් නෑ," යනුවෙනි.

"අන්තිමට හිටපු සභාපති හැටියට ක්‍රිකට් පාලක මණ්ඩලයේ ප්‍රධාන කමිටුවට යන්න පුළුවන්. මම 2018 මැයි 31 ඉඳන් ක්‍රිකට් පාලක මණ්ඩලයේ තනතුරක් දැරුවේ නෑ. ඡන්දෙට මම ඉදිරිපත් වුණේ නෑ. නමුත් දැන් මේ ගොල්ලෝ මාව ඉලක්ක කරගෙන ඒකට වෙනම කමිටුවක් පත්කරලා ඇමතිතුමාම තීන්දුවක් අරන් මාව ඉවත් කරන්න," යනුවෙන් තිලංග සුමතිපාල තවදුරටත් පැවසීය.

BBC
ඡායාරූප ශීර්ෂ වැකිය, ක්‍රීඩා අමාත්‍යවරයා නිකුත් කළ නියෝගය

ක්‍රීඩා අමාත්‍යවරයා එම ත්‍රිපුද්ගල කමිටුව පත් කර තිබුණේ පූර්ව නිගමනයකට පැමිණීමෙන් අනතුරුව බවට ද තිලංග සුමතිපාල චෝදනා කළේය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ හිටපු සභාපති තිලංග සුමතිපාල එල්ල කරන චෝදනා සම්බන්ධයෙන් පිළිතුරක් ලබා ගැනීමට ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු ඇමතීමට බීබීසී සිංහල සේවය කිහිපවරක් උත්සහ දැරුව ද එම ප්‍රයත්නයන් නිෂ්ඵල විය.

මේ තොරතුරුත් කියවන්න: