ගාල්ල විකට්ටුව සහ දූෂණ චෝදනා: අල්-ජසීරා ප්‍රතිචාරය 'විමර්ශනවලට බාධාවක්'

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
තරග පාවාදීමේ චෝදනා සම්බන්ධයෙන් ඉක්මන් පූර්ණ පරීක්ෂණයක් සිදු කිරීමට ඉඩ සලසනු වස්, සියලුම සංස්කරණය නොකරන ලද දර්ශන සහ වැඩසටහනට ඇතුළත් නොකළ සාක්ෂි සිය ආයතනයට යොමුකරන මෙන් කළ ඉල්ලීම සම්බන්ධයෙන් අල්-ජසීරා රූපවාහිනී සේවය මෙතෙක් යහපත් ප්‍රතිචාරයක් දක්වා නැති බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) පවසයි.
නිවේදනයක් නිකුත් කරන ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ විරෝධී ඒකකයේ සාමාන්‍යාධිකාරී ඇලෙක්ස් මාෂල් කියා සිටියේ අල්-ජසීරා නිෂ්පාදන කණ්ඩායම සතු 'සාක්ෂි' විමර්ශන කටයුතු ඉදිරියට ගෙන යාම සඳහා ප්‍රයෝජනවත් වනු ඇති බවය.
කෙසේ නමුත්, පරීක්ෂණ සඳහා සහාය දෙන ලෙස දිගින් දිගටම කරන ලද ඉල්ලීම් අල්-ජසීරා ආයතනය විසින් ප්‍රතික්ෂේප කරනු ලැබ ඇති බව පවසන ඇලෙක්ස් මාෂල්, ඒ හේතුවෙන් සිය විමර්ශන කටයුතුවලට බාධා එල්ල වී ඇති බව පෙන්වා දෙයි.
'අල්-ජසීරා' රූපවාහිනී සේවය විසින් ඉරිදා (මැයි 27) විකාශනය කරන ලද 'Cricket's Match Fixers' (Al Jazeera Investigations) වාර්තා වැඩසටහන මගින් ක්‍රිකට් ක්ෂේත්‍රයේ දූෂණ සම්බන්ධයෙන් අලුතින් චෝදනා එල්ල විය.
තරග පාවාදීම සම්බන්ධයෙන් එම වාර්තා වැඩසටහන මගින් එල්ල කරන ඇතැම් චෝදනා අතර, ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේ විකට්ටුව (Pitch) වෙනස් කිරීම සඳහා මුදල් ලබා ගැනීමේ සාකච්ඡාවක් ද ඇතුළත්ය.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
මුදලට තරග පාවාදීමේ චෝදනා සම්බන්ධයෙන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය පූර්ණ පරීක්ෂණයක් ආරම්භ කර ඇත.
වාර්තා වැඩසටනහනෙහි සඳහන්වන ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට අයත් සියලු සාමාජික රටවල සහයෝගය ඇතිව, එල්ල වන එක් එක් චෝදනා පිළිබඳ පරීක්ෂණ සිදු කෙරෙමින් පවතින බව ඉහත කී නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.
පරීක්ෂණ සිදු කෙරෙමින් පවතින බැවින්, ඒ පිළිබඳ වැඩි විස්තර ලබා දිය නොහැකි බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ විරෝධී ඒකකයේ සාමාන්‍යාධිකාරී ඇලෙක්ස් මාෂල් වැඩිදුරටත් සඳහන් කළේය.
තරග පාවාදීම සම්බන්ධයෙන් පැවැත්වෙන ඕනෑම පරීක්ෂණයකට සිය "පූර්ණ සහයෝගය" ලබා දෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මීට ඉහතදී පැවසීය.
මේ අතර, ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ලසිත් මාලිංග මීට ඉහතදී ක්‍රීඩා බලධාරීන් සමග පැවති සාකච්ඡාවකදී බොහෝ අවස්ථාවල කණ්ඩායම ඉල්ලා සිටින විකට්ටුව වෙනුවට වෙනස් විකට්ටුවක් ලබාදීම පිළිබඳ විවේචනාත්මකව අදහස් පළ කළේය.

විකට්ටුව වෙනස් කිරීම ගැන ලසිත් මාලිංග මීට ඉහතදී ක්‍රීඩා බලධාරීන්ගේ අවධානයට ලක් කළා නොවේදැයි, බීබීසී සිංහල සේවය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති තිලංග සුමතිපාලගෙන් සඳුදා (මැයි 28) විමසා සිටියේය.
ඊට ප්‍රතිචාර දක්වමින් ඔහු කියා සිටියේ ලසිත් මාලිංග නොයෙක් අවස්ථාවන්හි විවිධ ප්‍රකාශ කර ඇති බවය.
"අපිට ඒ ප්‍රකාශ ගැන කියන්න දෙයක් නැහැ. අනික එයා කීප වතාවක්ම 'කියපු එක වැරදුනා' කියලා නැවත සමාව ගත්ත එක්කෙනෙක්" තිලංග සුමතිපාල ප්‍රකාශ කළේය.
ඔස්ට්‍රේලියාව සහ එංගලන්තය වැනි ක්‍රිකට් කණ්ඩායම් සම්බන්ධ ටෙස්ට් තරගවලදී, විකට්ටුව (pitch) අවශ්‍ය ලෙස සකසා ගැනීම සඳහා ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ තණතිල්ල භාරව කටයුතු කරන පුද්ගලයන්ට අල්ලස් ලබා දී ඇති බව 'අල්-ජසීරා' වාර්තා වැඩසටහන මගින් චෝදනා එල්ල වෙතැයි විශ්වාස කෙරේ.
අල්-ජසීරා වැඩසටහන හරහා එල්ලවන චෝදනා පිළිබඳ සොයා බැලීමට, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පොලිස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.









