තරග 'පාවාදීම': අයිසීසී පරීක්ෂණයට ශ්‍රී ලංකා සහ එංගලන්ත බලධාරීන්ගේ සහාය

Galle International Cricket Stadium in Galle

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනය

තරග පාවාදීම සම්බන්ධයෙන් පැවැත්වෙන ඕනෑම පරීක්ෂණයකට සිය "පූර්ණ සහයෝගය" ලබා දෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.

ඔස්ට්‍රේලියාව සහ එංගලන්තය වැනි ක්‍රිකට් කණ්ඩායම් සම්බන්ධ ටෙස්ට් තරගවලදී විකට්ටුව (pitch) අවශ්‍ය ලෙස සකසා ගැනීම සඳහා ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ තණතිල්ල භාරව කටයුතු කරන පුද්ගලයන්ට අල්ලස් ලබා දී ඇති බවට 'අල් ජසීරා' වාර්තා වැඩසටහනක් මගින් චෝදනා එල්ල වෙතැයි විශ්වාස කෙරේ.

ඒ සම්බන්ධයෙන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) ද පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.

වාර්තා වැඩසටහන පිළිබඳ සිය අවධානය යොමු වී ඇති බව පවසන එංගලන්ත සහ වේල්ස් ක්‍රිකට් ආයතනය, ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් පවත්වනු ලබන පරීක්ෂණයට සිය සහාය ලබා දෙන බව නිවේදනය කරයි.

Galle International Cricket Stadium

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

දූෂණයට කිසිලෙස ඉඩ නොතබන බව පවසන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය,"වැරදිකරුවන් බව ඔප්පු වුවහොත් ඉහත කී චෝදනාවට සම්බන්ධ ඕනෑම පුද්ගලයෙකුට එරෙහිව වහා ක්‍රියාමාර්ග ගන්නා" බව නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

"ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අයිසීසී ආයතනය සමග නිරන්තරයෙන් සම්බන්ධ වී සිටිනවා. එමෙන්ම ශ්‍රී ලංකාව තුළ ඉදිරියේ පැවැත්වීමට නියමිත සංචාරවලදී දූෂණ විරෝධී මෙහෙයුම් පාලනය කරන්නේ කෙසේදැයි යන්න සම්බන්ධයෙන් අයිසීසී ආයතනයේ ඇති මාර්ගෝපදේශ අනුගමනය කරනවා," යනුවෙන් ඉහත කී නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.

2018 වසරේ ඔක්තෝබර් සහ නොවැම්බර්හිදී ශ්‍රී ලංකාවේ සංචාරයක නිරතවීමට නියමිත එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම ටෙස්ට් තරග තුනකට, එක්දින ජාත්‍යන්තර තරග පහකට සහ එක් විස්සයි විස්ස තරගයකට සහභාගී වීමට නියමිතය.