ඇන්ජෙලෝ කණ්ඩායමෙන් ඉවතට, තිරිමාන්න නව උපනායක

ඇන්ජෙලෝ මැතිව්ස්

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, ඇන්ජෙලෝ මැතිව්ස්

පකිස්තානය සමඟ පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලිය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ උප නායකත්වයට ලහිරු තිරිමාන්න පත් කෙරෙයි.

ඊයේ (සැප් 19) නිල වශයෙන් පත්වුණු, ග්‍රැහැම් ලැබ්රෝයිගේ සභාපතිත්වයෙන් යුතු නව තේරීම් කමිටුව විසින් මෙම පත්කිරීම සිදුකරනු ලබා ඇත.

ලහිරු තිරිමාන්න අවසන් වරට ටෙස්ට් තරගයක ක්‍රීඩා කළේ 2016 මැයි මාසයේ වන අතර එලෙස කණ්ඩායමේ ස්ථානයක් අහිමිව සිටි ක්‍රීඩකයෙක් එක්වරම උපනායකත්වයට පත්කිරීම විශේෂ සිදුවීමකි.

මින් පෙර අවස්ථා කිහිපයකදී තිරිමාන්න කණ්ඩායමේ උපනායකයා ලෙස කටයුතු කර තිබුණි.

මේ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක ඇන්ජෙලෝ මැතිව්ස්ගේ පාදයේ ආබාධයක් නිසා පකිස්ථානය සමග පැවැත්වෙන ටෙස්ට් තරගාවලියේ පළමු තරගය අහිමිවන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.

ලහිරු තිරිමාන්න

ඡායාරූප මූලාශ්‍රය, Reuters

ඡායාරූප ශීර්ෂ වැකිය, ලහිරු තිරිමාන්න

ශ්‍රී ලංකා පිතිකරු බල ඇණියේ කුසල් ජනිත් පෙරේරා හා අසේල ගුණරත්න ද ආබාධ තත්වයන් හේතුවෙන් පකිස්ථානය සමග ඩුබායි නගරයේ පැවැත්වෙන ටෙස්ට් තරගාවලියට සහභගි නොවේ.

මෙම ක්‍රීඩකයන් දෙදෙනාට අමතරව ශ්‍රී ලංකා කණ්ඩායමේ ආබාධයන්ට ලක්වී සිටින ක්‍රීඩකයන් අතරින් ජ්‍යේෂ්ඨතම ක්‍රීඩකයා ඇන්ජෙලෝ මැතිව්ස් ය.

ඔහුගේ, මින් පෙර ආබාධ රැසක් ඇතිවූ පාදයේම යළිත් ආබාධයක් හට ගෙන ඇති අතර එය බරපතළ නොවන බවයි වාර්තාවන්නේ.

බීබීසි සිංහල සේවයට අදහස් දැක්වූ ඇන්ජෙලෝ මැතිව්ස් පැවසුවේ ඩුබායිහි පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයට තමන්ට ක්‍රීඩා කිරීමට හැකිවනු ඇතැයි තමන් බලාපොරොත්තුවන බවය.

කෙසේ නමුත් ඉදිරි ටෙස්ට් තරග දෙකටම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා සංචිතය පිළිබඳව අද සවස මාධ්‍යට නිකුත් කළ නිවේදනයේ ඇන්ජලෝ මැතිව්ස්ගේ නම ඇතුළත් නොවුනි.

ශ්‍රී ලංකා කණ්ඩායමේ එක්දින නායක උපුල් තරංග ද මෙම ටෙස්ට් තරගාවලියට සහභාගී නොවන්නේ ඔහු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවෙන් මාස 6ක විරාමයක් ලබා ගෙන ඇති බැවිනි.

ශ්‍රී ලංකා - පකිස්තාන දෙවන ටෙස්ට් තරගය රෝස පන්දුවෙන් ක්‍රීඩා කරන දිවා රාත්‍රී තරගයක් වන අතර දිවා රාත්‍රී ටෙස්ට් තරගයක ශ්‍රී ලංකාව ක්‍රීඩා කරන පළමු අවස්ථාවද මෙයවේ.

ශ්‍රී ලංකාව ක්‍රීඩා කළ අවසන් ටෙස්ට් තරගයට ක්‍රීඩා කළ උපුල් තරංග හා ඇන්ජෙලෝ මැතිව්ස් ක්‍රීඩා නොකිරීම නිසා ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරු අංශයේ වෙනස්වීම් කිහිපයක්ම සිදු කිරීමට නව තේරීම් කමිටුවට සිදුවනු ඇත.

ඒ අනුව ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ ස්ථානයක් අහිම සිටි කෞෂාල් සිල්වා හා ලහිරු තිරිමාන්න කණ්ඩායමට ඇතුළත් කර ඇත.

ඊට අමතරව නවක ක්‍රීඩකයන් වන සධිර සමරවික්‍රම සහ රොෂේන් සිල්වාට කණ්ඩායමට නම් කර තිබේ. ඔවුන් දෙදෙනාගෙන් එක් අයෙකුට ටෙස්ට් වරම් හිමිවනු ඇතැයි බලාපොරොත්තු වේ.

රංගන, සදකැන් හා දිල්රුවන්

දඟ පන්දු යැවීමේ බළඇණිය රංගන හේරත්, ලක්ෂාන් සදකැන් හා දිල්රුවන් පෙරේරාගෙන් සමන්විත වන අතර ඉන්දියාව සමග ක්‍රීඩා කළ මලින්ද පුෂ්පකුමාරට කණ්ඩායමේ ස්ථානයක් හිමිව නැත.

සුරංග ලක්මාල්, නුවන් ප්‍රදීප්, විශ්ව ප්‍රනාන්දු හා ලහිරු ගමගේ වේග පන්දු යවන්නන් ලෙස කණ්ඩායමට එක්කර තිබේ. නවක වේග පන්දු යවන ක්‍රීඩක ලහිරු කුමාරට ද කණ්ඩායමේ ස්ථානයක් හිමිව නැත.

දිනේෂ් චන්දිමාල්ගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා කණ්ඩායම 24 වැනි ඉරිදා ඩුබායි නගරය බලා පිටත් වීමට නියමිතය.

මෙවර පකිස්ථාන කණ්ඩායමද නවක මුහුණු රැසකින් සමන්විත වන අතර ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් වන මිස්බාහුල් හක් සහ යුනිස් කාන් විශ්‍රාම ගැනීමෙන් අනතුරුව ඔවුන් සහභාගි වන පළමු ටෙස්ට් තරගාවලිය ද මෙය වේ.

දින 40 කින් යුතු මෙම සංචාරය ටෙස්ට් තරග 2කින්, එක්දින තරග 5කින් හා විස්සයි විස්ස තරග 3කින් සමන්විත වේ.

තරගාවලිය මෙම මස 28වැනි දින අබුඩාබි නගරයේ පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයෙන් ආරම්භවේ.