වැව් ඩෝසර් කිරීම: වැව් ප්‍රතිසංස්කරණය හරියට කරන්නේ කොහොම ද?

A general view of a partially dried up irrigation reservoir at Wirawila in the southern Sri Lankan district of Hambantota on August 25, 2014

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

    • Author, අමන්දා අබේසූරිය
    • Role, බීබීසී සිංහල

ශ්‍රී ලංකාවේ වියළි කලාපයේ පිහිටි බොහෝ කුඩා වැව් කෙමෙන් අකාර්යක්ෂම තත්ත්වයකට පත්වෙමින් පවතියි. මාස කීපයක නියඟයකිනුදු වියළි කලාපීය ගොවීන්ට ජලය හිඟකමට මුහුණපාන්නට සිදුවෙයි. කුඩා වැව්වල රොන්මඩ තැන්පත්වීමෙන්, ඒවායේ ගැඹුරත්, ඒ සමගම ධාරිතාවත් අඩුවීම මීට ප්‍රධාන හේතුව යි.

පසුගිය නියං සමයේ දී ඇතැමුන්, ඩෝසර් ලබාදී කුඩා වැව් හාරන්නැ යි සමාජ මාධ්‍ය හරහා යෝජනාකර තිබුණි. නමුත් එයින් වැවට හානිවනබව කියමින් ප්‍රතිපක්ෂ අදහස් ද ඉදිරිපත්වී තිබුණි.

මෙනිසා අපි, වැවක් පුනරුත්ථාපනය කිරීම යනු එතරම් සරල කටයුත්තක් නොවන්නේ මන්දැ යි ජලය හා කෘෂිකර්මය පිළිබඳ ජාතික උපදේශක ආචාර්ය පී. බී. ධර්මසේනයන්ගෙන් විමසා සිටියෙමු.

නොසලකා හැරෙන කුඩා වැව්

'වැවක්' කී විට එකවරම සිතට නැගෙනුයේ ඇහැට පෙනෙන මානයේ පැතිරි, උස් බැම්මකින් යුත් කවුඩුල්ල හෝ මින්නේරිය වැනි මහා ජලාශයක් විය හැකිමුත්, මෙරට වැව් බහුතරය කුඩා වැව් ය.

ශ්‍රී ලංකාවේ කුඩා වැව් 16,500ක් පමණ පිහිටා ඇති අතර, ඒවා මෙරට සහල් නිෂ්පාදනයෙන් 20%කට ජලය සපයයි.

මෙරට වැව්වලින් 85%ක් පමණම වැව් පොකුරු ලෙස පිහිටා තිබෙනබවත්, මෙවැනි වැව් පොකුරු 1000කට වැඩි ප්‍රමාණයක් ශ්‍රී ලංකාව සතුබවත් ආචාර්ය ධර්මසේන ප්‍රකාශ කරයි.

Shantha Gomes's post on Udawalawe

ඡායාරූප මූලාශ්‍රය, Facebook

වැව් පොකුරක් යනු කුමක් ද?

වියළි කලාපයේ ජනයා වැව් ඉදිකළේ, ජලය ස්වභාවිකව ගලාගොස් එකතුවන ස්ථානවල ජලය රඳවාගැනීමට බාධක ඉදිකිරීමෙනි. මෙසේ තනන වැව් තනි වැවක් ලෙස නොව විශාල ප්‍රදේශයක් පුරා පැතිර භූමිය පෝෂණය කරන අයුරින්, ඇළ මාර්ග හා භූගත ජල පරිවහන මාර්ග ආදිය හරහා එකිනෙක සම්බන්ධ වාරිමාර්ග ඒකකයක් ලෙස නිර්මාණය කෙරිණි.

වියළි සහ අතරමැදි කලාපවල භූ දර්ශනය, වර්ෂාපතනය, පසේ ස්වභාවය සහ භූ විද්‍යාත්මක තත්ත්වය වැව් පොකුරු නිර්මාණය සඳහා ඉතාම උචිතබව ආචාර්ය ධර්මසේන අපට පැහැදිලි කළේ ය. එසේ නොවේ නම් වැව් පොකුරු නිර්මාණය නොවනබව ඔහු පවසයි.

"උදාහරණයක් විදියට, අම්පාරෙ තියෙනවනේ මහ ඔය වගෙ පොඩි පොඩි ජල මූලාශ්‍ර, ඒවයේ තියෙන වැව් - එක වැවකින් තව වැවකට වතුර යනවා ඇරෙන්න එතනින් ඉවරයි. අතු විහිදෙන ලෙස ඇති ජලාපවහන රටාවක් තිබුණොත් විතර යි වැව් පොකුරු හැදෙන්නේ."

මේ වැව් පොකුරු නිසා ජලගැල්ම අවදානම පහත බසින අතර, වැව් පද්ධතිය විසින් අදාළ ප්‍රදේශයට නියඟයෙන් ඇති බලපෑම සැහැල්ලු කරයි. එසේම, භූමියේ මතුපිටට පහළින් නිරන්තරයෙන් ගලායන ජල සීරාව නිසා භූමියේ තෙතමනය පවතියි.

මේ වැව් පොකුරු ගම හා බැඳී තිබුණ ද වැව් සියල්ල ගොවිතැන සඳහා යොදාගන්නේ නැත.

"ගමේ තියෙනවා වැව් වර්ග. කුළු වැව් තියෙනවා කැලේ ඇතුළෙ. ඊට පස්සේ තියෙනවා ඔලගම් වැව් - ගම් නැති ඒවා. කායම් වැව් තියෙනවා කුඹුරු සහ ගම් නැති ඒවා. ඉහළ වැව් තියෙනවා අවශ්‍ය වුණොත් ආපහු වතුර ගන්න - මේවට 'බිසෝ වැව්' කියලත් කියනවා. මේවා පුරවලා තියෙනවා යට [තියෙන] මහවැවට ඕනෙ වුණොත් ගන්න. ඊළඟට තියෙනවා මහවැවට උඩින්, අර මුදුන් ඇළවල්වලට එන රොන් මඩ අල්ලගන්න ගොඩවලවල් තියෙනවා. ඔය වගේ සංකීර්ණ, හොඳින් සංවිධානය වුණු පද්ධතියක් තියෙනවා වැව් පොකුරුවල," ආචාර්යවරයා පැවසීය.

කුඩා වැව්වලට සිදුවෙමින් පවතින්නේ කුමක් ද?

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

කෙසේ නමුත්, මේ වන විට කුඩා වැව් නිසියාකාරව නඩත්තු නොකිරීම නිසා ද, වැව් පද්ධතියේ ක්‍රියාවලියට බාධා කිරීම නිසා ද ඒවා දැන් කෙමෙන් ආකාර්යයක්ෂම තත්ත්වයට පත්ව කෙත්වතු පෝෂණය කිරීමට හෝ ජල අවශ්‍යතා සැපිරීමට අපොහොසත්වෙමින් පවතියි.

"දැන් වෙලා තියෙන්නෙ මෙහෙමයි; සමහර අය දැන් ඔය කියන කුළු වැව්, කායම් වැව්, බිසෝ වැව්, ඔලගම් වැව් ඔක්කොම 'වැව්' කරලා, කුඹුරු හදලා ගොවිතැන් කරනවා. ඒ කියන්නේ [වැව් පොකුරුවල] ජල විද්‍යාව දැන් සම්පූර්ණයෙන්ම කඩා වැටිලා තියෙන්නෙ," ආචාර්යවරයා ගැටලුවේ පසුබිම පැහැදිලි කරයි.

"දැන් මේ ටික හරියට තේරුම්ගත්තෙ නැතුව තමයි මිනිස්සු වැව්වලට තව කුඹුරු ඈඳලා කුඹුරු කරන්නෙ, අනිත් පැත්තෙන් වාන උස්සලා බඳින්නේ - ඉස්සර කළානෙ වාන උස්සන එක. වාන කියන්නෙ වැඩිපුර වතුර පිටකරන තැන. වැවේ රොන්මඩ පිරුණම, මෙන්න මේ වාන උස්සලා බඳිනවා [වැවේ] කැපෑසිටි එක වැඩි කරන්න. එතකොට මොකද වෙන්නේ? මේ වතුර ඔක්කොම වැවේ ඉහත්තාවට යනවා පැතිරිලා.

"දැන් මේක වැව් පොකුරු සිස්ටම් එකක්නේ. වතුර පැතිරිලා යනකොට උඩ තියෙන කුඹුරු - ඊටත් උඩහා වැවෙන් කරන කුඹුරු - ඒවා යටවෙනවා. ඒවා තවත් ගමක සමහර විට. එතකොට ගම් අතර මිනිස්සුන්ගේ සමාජ ගැටුම් ඇතිවෙනවා ඔය වැඩෙන්. ඒ නිසා දැන් ඒක නවත්තලා තියෙන්නේ.

"දැන් කරන්නේ රොන්මඩ අයින් කරනවා කියලා ඔය බුල්ඩෝසර් ටිකක් දාලා එහෙන් මෙහෙන් කරලා දානවා," ආචාර්ය ධර්මසේන ප්‍රකාශ කළේ ය.

නමුත් වැවක් 'හැරීම' යනු හුදෙක් මඩ ස්ථරය කපා ඉවත් කිරීම නොවේ. එය වැව් පත්ල සමීක්ෂණයකොට, පස් ස්ථර පරීක්ෂාකර බලා, ඉතා ප්‍රවේශමෙන් සිදුකළ යුතු විද්‍යාත්මක ක්‍රියාවලියකි.

How tank bed geometry has change due to siltation

ඩෝසර්කර රොන්මඩ ඉවත් කිරීමේ ගැටලුව කුමක් ද?

"දැන් වැවේ ගැඹුර වැවෙන් වැවට වෙනස්වෙනවා," ආචාර්ය ධර්මසේන පහදයි. "ගැඹුර කියලා කියන්නේ වැවේ මුළු ධාරිතාව මුළු වපසරියෙන් බෙදුවම. එතකොට එනවනේ සාමාන්‍යය ගැඹුරක්? මෙන්න මේ සාමාන්‍යය ගැඹුර අඩුවෙන්න අඩුවෙන්න, වැවේ වෝටර් ලොස් එක වැඩියි. අපි දැක්කා සමහර ඒවයෙ [වැව්වල] 80%ක් විතර වෝටර් ලොස් වාෂ්පීකරණය සහ වෑස්සීම නිසා. එතකොට අපේ ක්‍රියාකාරී ධාරිතාව ගොඩක් අඩු යි."

මෙය සිදුවන අන්දම පැහැදිලි කිරීමට ඇති හොඳම උදාහරණය නම් කෝප්පයේ හා පීරිසියේ පරීක්ෂණය යි. තේ කෝප්පයකටත්, පීරිසියකටත් එකම ජලය ප්‍රමාණයක් දමා අව්වේ තැබූ විට, මතුපිට ක්ෂේත්‍රඵලය වැඩි පීරිසියට දැමූ ජල ප්‍රමාණය කෝප්පයට දැමූ ජල ප්‍රමාණයට වඩා ඉක්මණින් වාෂ්පවී යයි. වැවක් ගැඹුරින් අඩුවී යන විට සිදුවන්නේ ද මෙය ය. එනිසා, වැවක ධාරිතාව ඉහළ දැමීමට නම් වැවෙහි වපසරිය අඩුකර ගැඹුර වැඩිකළ යුතු වේ.

ඩෝසර් මාර්ගයෙන් වැව් පතුළේ රොන්මඩ සියල්ල ඉවත්කිරීම හරහා වැවේ වපසරිය අඩු නොවෙයි. එවිට වාෂ්පීකරණයෙන් අහිමිවන ජල ප්‍රමාණය ද අඩු නොවෙයි. මෙය වැළකීමට නම් වැව පත්ලේ ජ්‍යාමිතිය සළකා බලා නියමාකාරයෙන් රොන්මඩ ඉවත් කිරීම සිදුකළ යුතු ය.

එසේම වැවක ගැඹුර අඩුවූ විට, ගැඹුරු දියේ වෙසෙන ඇතැම් මිරිදිය මත්ස්‍ය විශේෂයන්ට උචිත පරිසර තත්ත්ව අහිමිවීමෙන් උන්ගේ ගහණය අඩුවීයෑමට හැකි ය.

"ඒ නිසා තමයි අපි කියන්නේ මේ නිකන් රොන්මඩ අයින් කරන්න යන්න එපා, ඒවයෙ [වැව්වල] වැව් පත්ල හැඩතල බලලා කරන්න කියලා,” ආචාර්යවරයා කියා සිටියේ ය.

"[වැව] පතුලෙ තියෙනවා මැටි තට්ටුවක්. මේ මැටි තට්ටුවෙ අපි කියනවා සෙන්ටිමීටර් 30ත් 60ත් අතර ප්‍රමාණයක් ඉතුරු කරන්න කියලා. මේ බුල්ඩෝසර්කාරයො මේක ඉතුරු කරන්නේ නෑ. ඒ හින්දා වැව පත්ල හිල්වෙනවා. හිල්වුණාම වතුර බහිනවා."

partial desilting concept

වැව් හාරන මුවාවෙන් වැලි කැපීමක්?

ලංකාවේ කුඩා වැව් සම්බන්ධ කටයුතු භාරව සිටින්නේ ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව යි. ගම්වල කුඩා වැව්වල ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා ගොවිජන සංවර්ධන පනත හරහා ගොවි සංවිධානවලට බලය පැවරෙයි. මේ වැව් කටයුතු සඳහා රජය වියදම් නොකරයි.

කෙසේ නමුත්, ගොවිජන සංවිධාන විසින් පාර්ශවකාර ආයතන හා එක්ව වැව් ප්‍රතිසංස්කරණය කරන ඇතැම් අවස්ථාවන්හි දී, තෙවැනි පාර්ශවීය කොන්ත්‍රාත්කරුවන් විසින් ආර්ථික ලාභ ප්‍රයෝජන තකා වැවට හානි කිරීම සිදුවෙනබව අපට වාර්තාවිය.

"ගොඩක් අය කරන්නෙ වැව් හාරන්න කියල ඉල්ලලා, රොන්මඩ අයින් කරනවා වෙනුවට ගොඩක් යටට වෙනකල් කපාගන්නවා ඒවයෙ අර වැලි ගතිය තියෙන නිසා. 60%කට වැඩිය වැලි ගතිය තියෙන ඒවා තමයි කපාගන්න බලන්නෙ. ඊට පස්සෙ උඩට අර පස් තට්ටුව පුරවන්න හදනවා," නම සඳහන් කරනවාට අකමැතිවූ ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තු නිලධරයෙකු අප හා පැවසීය.

"දැන් ඇත්තටම රොන්මඩ ඉවත් කරනවා නම් ප්‍රශ්නයක් නැහැ... නමුත් මෙයාල අර වැලි මිශ්‍ර පස තමයි ඉවත්කර ගන්න හදන්නෙ. එතකොට යටට කපනවා... එහෙම වුණොත් වෙන්නේ [වැවේ] වතුර රැඳෙන්නෙ නැහැ," ඔහු ප්‍රකාශ කළේ ය.

අපි ගොවිජන සංවර්ධන කොමසාරිස් ජනරාල් ඒ. එච්. එම්. එල්. අබේරත්නගෙන් මෙහි සත්‍යාසත්‍යතාව විමසීමු.

"[වැව් හැරීමේ දී] අපි ඒ [හාරන්න ඕන] කොටස වෙන්කරලා, හාරන්න ඕන ප්‍රමාණය දාලා - අපි නිකුත්කරලා තියෙන චක්‍රලේඛෙ තියෙනවා - අපි එතනට වැටුප් ලබන කෙනෙක් අනිවාර්යයෙන් පත්කරලා තමයි ඒ කාර්යය කරන්න ඕන කියලා. ඉතින් විශේෂයෙන්ම ගොවි සංවිධානවලට තමයි මේකෙ වගකීම පවරලා තියෙන්නෙ... ඉතින් අපි පුළුවන් තරම් ගොවි සංවිධානවලට දැනුවත් කරලා තියෙනවා - නමුත් එහෙම නොවෙන අවස්ථා කීපයක් අපට හම්බවෙලත් තියෙනවා, අපි ඒවා නවත්තලත් තියෙනවා. එහෙම අවස්ථා තියෙනවා," ගොවිජන සංවර්ධන කොමසාරිස් ජනරාල්වරයා තහවුරු කළේ ය.

'වැව ආරක්ෂාකර ගැනීම ගොවි සංවිධානයේ වගකීමක්'

වැව්වල රොන්මඩ ඉවත් කිරීම සම්බන්ධයෙන් දෙපාර්තමේන්තුව ගෙන ඇති පියවර ගැන විමසූකල, ඒ සඳහා එම දෙපාර්තමේන්තුවෙන් සැලැස්මක් හා ප්‍රමුඛතා ලැයිස්තුවක් සකස්කර ඇතිබව කොමසාරිස් ජනරාල් අබේරත්න ප්‍රකාශ කළේ ය. රොන්මඩ ඉවත් කිරීම සම්බන්ධයෙන් වර්තමානයේ නව චක්‍රලේඛයක් නිකුත්කර ඇතැ යි ද ඔහු සඳහන් කළේ ය.

"[ලංකාවේ] සුළුවැව් විශාල ප්‍රමාණයක් තියෙන නිසා රජයකට මේවා හැමවෙලේම නඩත්තු කරන්න අමාරු යි. ඒ නිසා ගොවි සංවිධාන විසින් මේ වැව් නඩත්තු කිරීම කරගත යුතු යි. එහෙම වුණොත් තමයි ගොවියාට අදාළ වැවට අවශ්‍ය ජල ප්‍රමාණය රඳවාගන්න පුළුවන්වෙන්නෙ. ඒ නිසා තමයි, එකක්, මේ රොන්මඩ අයින් කරද්දී වැව ආරක්ෂාකර ගැනීම ගොවි සංවිධානයේ වගකීමක්. ඉතින් බැරිවෙලාවත් ඒ වගකීම පැහැර හැරියොත් බලපෑම එන්නෙත් ගොවියටම යි," කොමසාරිස් ජනරාල්වරයා ප්‍රකාශ කළේ ය.

"ඒක නිසා මේක ආරක්ෂා කරගෙන, වැවේ රොන්මඩ ප්‍රමාණය ඉවත්කරලා වතුර ප්‍රමාණය වැඩිකර ගන්න ගොවි සංවිධාන සම්බන්ධ වෙනවා නම් ඒකෙ වාසියත් අපේ ගොවීන්ටම ගන්න පුළුවන්. අපි ඉල්ලීමක් කරන්නෙ වැව ආරක්ෂා කිරීමේ වගකීම ගොවි සංවිධාන දරනවා නම් රජයට ඉතාමත්ම පහසු යි මේ කාර්යය ගොවීන්ට කරලා දෙන්න."

කුඩා වැවක රොන්මඩ ඉවත් කරන නිවැරදි ක්‍රමය - ආංශික රොන්මඩහරණය

partial desilting concept

වැවක් පුනරුත්ථාපනය කිරීම සඳහා ආචාර්ය ධර්මසේන ඉදිරිපත් කරන ක්‍රියාවලිය නම්, විද්‍යාත්මක හා අඩු-වියදම් ක්‍රමයක් වන 'ආංශික රොන්මඩහරණය' යි.

මෙය නිවැරදිව සිදුකරන්නේ නම්, "ඉස්සරවෙලාම [වැව්] පත්ල සමීක්ෂණයක් කරන්න ඕන. වැව් පත්ලේ භූ විෂමතාවය තියෙන සිතියමක් ඇඳගන්න ඕන," ඔහු ප්‍රකාශ කරයි.

අනතුරුව වැව් බැම්මේ සිට අරීයව විහිදෙන පරිදි වැව් පත්ල නොයෙක් තැන්වලින් විද පස් ස්ථර සාම්පල ලබාගත යුතු වේ. මෙමඟින් වැවෙහි මැටි, රොන්මඩ හා වැලි ස්ථර පිහිටන ගැඹුර හා ඒවායේ ඝනකම ආදී තොරතුරු හඳුනාගත හැකි ය.

වැව් පත්ල මතුපිටට ආසන්නයේ දී රොන්මඩ සහ මඩත්, තවත් ගැඹුරට යන විට වැලිත් හමුවේ. වැවේ මුල් පත්ල පිහිටන්නේ මේ වැලිවලට යටිනි.

"දැන් ඔය විදියට දැනගත්තට පස්සෙ අපි ඔය වැලි ලේයර් එකට උඩින් තියෙන මැටි ලේයර් එකේ සෙ.මීටර් 30ක් ඉතුරු කරලා, ඉතිරිටික තමයි ඉවත්කරන්න ඕන. ඒකත් ඔක්කොම නෙවෙයි, සමෝච්ච කීපයක්. හොරොව්ව ළඟ තියෙන සමෝච්ච කීපයකට තමයි මේවා [රොන්මඩ] ඉවත් කරන්නේ. එතකොට වතුර ඔක්කෝම එතෙන්ට එනවනෙ. ඇවිල්ලා එතන ගබඩා වෙනවනෙ. එහෙම වුණාම වැව් පත්ලේ හැඩතල වෙනස් වෙනව අර පීරිසියෙන් කෝප්පෙට," ආචාර්ය ධර්මසේන පැහැදිලි කළේ ය.

ආංශික රොන්මඩහරණයෙන් ඇත්තෙන්ම අරමුණු කෙරෙන්නේ වැවක වත්මන් ධාරිතාව ප්‍රසාරණය කිරීමම නොවේ. මේ සංකල්පයේ ප්‍රධාන අරමුණ නම්, රොන්මඩ ඉවත්කිරීම හරහා වැව් පත්ලේ හැඩතල (ජ්‍යාමිතිය) වෙනස්කිරීම හරහා වැවේ ජල හානිය අවම කිරීම ය. සාමාන්‍යයෙන් සිදුකෙරෙන අන්දමේ සම්පූර්ණ රොන්මඩහරණයකින් වැවේ ධාරිතාව හා ජලය පැතිරුණු ප්‍රදේශයේ අනුපාතය විශාල වශයෙන් වෙනස් නොකරන නිසාවෙන්, ඒ හරහා වැවේ ජල හානිය අවමකර ගැනීමේ අරමුණ සාර්ථකව ඉටුකරගත නොහැකිබව ආචාර්ය ධර්මසේන පවසයි.

ලංකාවේ කුඩා වැව්හි තැන්පත්ව ඇති රොන්මඩ ප්‍රමාණය 20 - 35% පරාසයක පවතිනබව ද, රොන්මඩවලින් අඩක් පමණම වැව් බැම්මට ආසන්නව මුළු වැව් පත්ලෙන් තුනෙන් එකක පමණ ප්‍රදේශය තුළ දක්නට ලැබෙතැ යි අවසාදිත අධ්‍යයනයකින් පෙන්නුම් කරනබව ද ආචාර්යවරයා ප්‍රකාශ කළේ ය. එහෙයින්, එම ප්‍රදේශයේ තැන්පත්ව ඇති රොන්මඩ ඉවත්කර වැවේ ඉහළ ප්‍රදේශයේ වැව් පත්ලෙහි ගොඩගැසීමෙන් ද වැවෙහි වත්මන් ධාරිතාවම පවත්වාගත හැකි ය. එවැනි ආංශික රොන්මඩහරණයක් හරහා වැවේ ධාරිතාව හා ජලය පැතිරුණු ප්‍රදේශයේ අනුපාතය කැපී පෙනෙන ලෙස වැඩි කරන අතර, වැවේ ව්‍යාප්තියෙන් 50%කට වැඩි ප්‍රදේශයක් ජලයෙන් තොරව පවත්වාගැනීමට උපකාරී වේ. මෙමඟින් වාෂ්පීකරණය හරහා අහිමිවන ජල ප්‍රමාණය විශාල වශයෙන් පහත දමයි.

ආචාර්ය පී. බී. ධර්මසේන නිර්දේශ කරන පරිදි ආංශික රොන්මඩහරණය ක්‍රමානුකූලව සිදුකිරීමේ දී මෙම කරුණු සලකා බැලිය යුතු ය:

  • වැව් ජලය කාන්දුවීම වැළැක්වීම සඳහා වැව් බැම්ම ආසන්නයේ තැන්පත්ව ඇති රොන්මඩ ඉවත් නොකළ යුතු ය
  • වැවේ රොන්මඩ සම්පූර්ණයෙන්ම ඉවත් කිරීම මඟින් වැවේ ජලය පැතිරී පවතින ක්ෂේත්‍රඵලය අඩු නොකරන බැවින්, එහි ප්‍රතිඵල ලෙස වාෂ්පීකරණයෙන් හා වෑස්සීමෙන් සිදුවන ජල හානිය අවම නොවේ
  • රොන්මඩ සම්පූර්ණයෙන්ම ඉවත් කිරීම මිලාධික කටයුත්තකි
  • ගොවීන් සහ පාර්ශවකාර ආයතන සමග හමුවී මෙම කටයුතු සැලසුම් කිරීම අත්‍යවශ්‍ය වේ
  • හාරා ඉවත්කරන රොන්මඩ වැව තුළම, රොන්මඩ ඉවත්කිරීමේ කලාපයට වඩා උස් ප්‍රදේශයේ ගොඩ ගැසිය හැකි ය
  • 'ඉස්වැටි' සෑදීම සඳහා රොන්මඩවලින් කොටසක් වැවේ ඉහත්තා ප්‍රදේශයේ දෙපසටම ගෙන යා යුතු ය
  • ගොවීන්, වැවට ඉහළින් ඇති ඔවුන්ගේ බිම්වලට රොන්මඩ ගෙනයෑමට කැමති නම්, එය ඔවුන්ගේ වියදමින් සිදුකිරීමට ඉඩදිය යුතු ය
  • ආංශික රොන්මඩහරණයෙන් වහාම වැවේ පරිසර පද්ධතිය වර්ධනය කළ යුතු ය