'මට මහා ලැජ්ජාවක් දැනුණා': විශාල පියයුරු ඔබේ සෞඛ්‍යයට බලපාන ආකාරය

    • Author, රෙබෙකා තෝන්
    • Role, ගෝලීය සෞඛ්‍යය, බීබීසී ලෝක සේවය
  • කියවීමේ කාලය: මිනිත්තු 6

"මගේ පියයුරු ලොකුයි කියල නොපෙනෙන්න මම උරහිස් නමාගෙන ඇවිදින්න පුරුදු වෙලා හිටියේ. මට ඒක මතකයි, මොක ද මට කියාගන්න බැරි තරම් ලැජ්ජාවක් දැනුණ නිසා."

ආර්ජන්ටිනාවේ විශ්වවිද්‍යාල මහාචාර්යවරියක වන රැකෙල්, 2010 වසරේදී, තම පියයුරුවල ප්‍රමාණය අඩු කර ගැනීම සඳහා සැත්කමක් කිරීමට තීරණය කළා ය.

දැන් 52 වන වියේ පසුවන ඇය පවසන්නේ ඉන් ලද ප්‍රතිඵල මගින් ඇයට මීට පෙර නොදැනුණු "නිදහස් හැඟීමක්" දැනුනු බව ය.

ලොව බොහෝ දෙනෙකු ප්‍රමාණයෙන් විශාල පියයුරු තිබීම ආකර්ෂණීය දෙයක් ලෙස සලකනු ලැබුව ද, එහි යථාර්ථය දුෂ්කර විය හැකි ය. එය කාන්තාවන්ගේ සෞඛ්‍යයට සහ ජීවන තත්ත්වයට සැලකිය යුතු ගැටලු ඇති කරයි.

ප්‍රමාණයෙන් විශාල පියයුරු හේතුවෙන් දිගු කල් පවතින කොන්දේ වේදනාව, හිසරදය, අක්‍රමික ඉරියව්, හිරිවැටීම සහ නිසි ලෙස නින්ද නොයාම මෙන් ම මානසික ගැටලු ඇතුළු රෝගී තත්ත්ව ඇති වන බවට සොයා ගෙන ඇත.

International Society of Aesthetic Plastic Surgery හී නවතම දත්තවලට අනුව 2024දී ගෝලීය වශයෙන් පියයුරුවල ප්‍රමාණය අඩු කිරීමේ සැත්කම් 652,676ක් සිදු කර ඇත.

ඉන් වැඩි ම සංඛ්‍යාවක් බ්‍රසීලයයෙන් (115,647) වාර්තා වන අතර, ඇමෙරිකා එක්සත් ජනපදය (67,478), ප්‍රංශය (38,780), ජර්මනිය (32,068), තුර්කිය (25,334) සහ ඉන්දියාව (22,400) සෙසු රටවල් වේ.

ප්‍රමාණයෙන් විශාල පියයුරු තිබීමේ ප්‍රතිඵලයක් ලෙස නව යොවුන් වියේ සිට ම තමා දිගුකලක් පිට ප්‍රදේශයේ පැවති වේදනාවකින් පීඩා විඳි බව රැකෙල් පවසයි.

නමුත් විශාල පියයුරු තිබීම බොහෝ විට ආර්ජන්ටිනාවේ ආශීර්වාදයක් ලෙස සලකනු ලැබූ බව ඇය පවසයි.

"ගොඩක් අය, කාන්තාවන් කියන්නේ, ඔයා හරි වාසන්වන්තයි කියලා," ඇය පැහැදිලි කරයි.

"මට ඒක වාසනාවක් වුණේ නැහැ. මම ගොඩක් පීඩා වින්දා. යොවුන් වියේදී, කාන්තාවක් විදිහට සහ මවක් විදිහටත් පීඩා වින්දා."

ඇත්ත වශයෙන් ම, ඇය පවසන්නේ ඇය තම පියයුරු සැඟවීමට උත්සහ කළ ආකාරය නිසා තවමත් පිට ප්‍රදේශයේ වේදනාවකින් පෙළෙන බව ය.

ක්‍රියාශීලී තැනැත්තියක වන රැකෙල් පවසන්නේ තමන් යෝගා ආදී ක්‍රියාකාරකම් සහ ව්‍යායාම කිරීමට ප්‍රිය කළ බව ය. නමුත් අවසානයේ තම විශාල පියයුරුවල අධික බර ඇගේ ක්‍රියාශීලි දිවියට බාධාවක් වන්නට විය.

British Association of Aesthetic Plastic Surgeons හී සභාපති වෛද්‍ය නෝරා නූජන්ට් පවසන්නේ, පියයුරුවල ප්‍රමාණය අඩු කිරීමේ සැත්කම් සිදු කිරීමට අපේක්ෂා කරන රෝගීන්ගෙන් ඇයට අසන්නට ලැබෙන වඩාත් පොදු පැමිණිලි අතර චලනය සීමා වීම සහ ව්‍යායාම කිරීමේ දුෂ්කරතා ඇති බවයි.

"ප්‍රායෝගික දෘෂ්ඨි කෝණයකින් බැලුවා ම, විශාල පියයුරු බරින් වැඩියි. ඒ නිසා ඔබව ඉදිරියට නැවෙනවා. ඒකත් එක්ක ඔබේ පිට ප්‍රදේශයට සහ බෙල්ලට අධික බරක් දරා ගන්න වෙනවා," ඇය පවසයි.

"ඒ වගේ ම ඒක නිසා ව්‍යායාම කිරීම අපහසු වෙනවා, සහ ගැළපෙන බ්‍රා (supportive bra) එකක් හොයා ගැනීමත් අපහසුයි.

රැකෙල් පවසන්නේ තම පියයුරුවලට ආධාරකයක් ලෙස බ්‍රා "දෙකක් හෝ තුනක්" ඇඳීමට සිදුවූ බව ය. ඒ වගේ ම ගැලපෙන බ්‍රා එකක් සොයා ගැනීම අමතර මූල්‍යමය බරක් එක් කළේ ය.

"ආර්ජන්ටිනාවේ, ප්‍රමාණයෙන් විශාල පියයුරු සඳහා තියෙන ඒවා මිල අධිකයි," ඇය පවසයි.

'මට නිදහසක් දැනුණා'

විශාල පියයුරුවල ප්‍රමාණය අඩු කරන ආකාරය දැක තිබුණ ද නූජන්ට් පවසන්නේ, එක්සත් රාජධානියේ ඇයගේ සේවා ලබා ගන්නන්ගෙන් වැඩි දෙනෙකු ඉවත් කළේ, පියයුරකින් ග්‍රෑම් 500ත් 800ත් අතර ප්‍රමාණයක් බව ය.

"සමහර වෙලාවට ඒක ශරීර බරින් විශාල ප්‍රමාණයක් නොවුණත්, ඒක එක් කුඩා ප්‍රදේශයකට විශාල ප්‍රමාණයක්," ඇය පැහැදිලි කරයි.

රැකෙල්ගේ සිද්ධියේදී, වෛද්‍යවරු ඇගේ පියයුරුවලින් කිලෝ 2.5ක් ඉවත් කළහ.

"ශල්‍යකර්මයෙන් පස්සේ, බිම තියෙන දෙයක් ගන්න ඕනේ උණා ම දැනුණු දේ මට මතකයි, එය 'වාව්, තවත් ශරීරයක්' වගේ. මට හරි ම නිදහසක් දැනුණා."

'හොඳ බ්‍රා' එකක් තෝරා ගැනීමේ වැදගත්කම

කලක පටන් පියයුරුවල පැවති වේදනාවට ප්‍රතිකාර ලබා ගැනීම සඳහා තම වෛද්‍යවරයා වෙත ගිය මහාචාර්ය ජොආනා වේක්ෆීල්ඩ්-ස්කර්ට උපදෙස් දී තිබුණේ, ඇයට අවශ්‍ය වන්නේ හොඳින් ගැලපෙන බ්‍රා එකක් පමණක් බව ය.

ජෛව යාන්ත්‍ර විද්‍යාව පිළිබඳ විශේෂඥවරියක වන ඇය, හොඳ බ්‍රා එකක් වන්නේ කිනම් ආකාරයේ එකක් ද යන්න පිළිබඳව පර්යේෂණ කිරීමට තීරණය කළා ය.

"ඇත්තට ම අපිට බ්‍රා එකක් අවශ්‍ය ඇයි, බ්‍රා එකක වාසි මොනවා ද, බ්‍රා එකක් ක්‍රියා කළ යුතු ආකාරය ගැන අපි දන්නේ හරි ම පොඩි දෙයක් බව මට වැටහුණා," වේක්ෆීල්ඩ්-ස්කර් පවසයි.

" බ්‍රා එක යම් අරමුණක් ඉටු කරන, සෞඛ්‍ය ප්‍රතිලාභ ඇති දෙයක් විදිහට වෙනුවට, විලාසිතා භාණ්ඩයක් ලෙස සලකනු ලැබුවා. මම ඒකෙන් ඇත්තට ම කලකිරුණා."

මෙය 2005 වසරේදී එක්සත් රාජධානියේ පෝර්ට්ස්මත් විශ්වවිද්‍යාලයේ පියයුරු සෞඛ්‍යය පිළිබඳ පර්යේෂණ කණ්ඩායමක් නිර්මාණය කිරීමට ඇය පෙළඹවීය.

නොගැලපෙන තනපටයක් පැළඳීමේ ප්‍රධාන සෘණාත්මක ප්‍රතිඵල හතරක් ඇගේ කණ්ඩායම හඳුනා ගත්හ. ඒවා වේදනාව, සම ඇදීම සහ පටක හානි, ඔබ හුස්ම ගන්නා ආකාරය සහ හෘද ස්පන්දනය වෙනස් වීම සහ ශාරීරික ක්‍රියාකාරකම් සඳහා බාධකයක් විය හැකියි.

"ඔබේ පියයුරු බර නම්, ඒවා ඉහළට සහ පහළට සෙලවෙනවා නම්, එකෙන් ඇත්ත වශයෙන් ම ඔබේ හුස්ම ගැනීම, ඔබ හුස්ම ගන්නා ආකාරය වෙනස් වෙන්න පුළුවන්. එය ඔබේ ශරීරය පොළොව මත යොදන බලයේ ප්‍රමාණයත් වෙනස් කරනවා. එය ඔබේ මුළු ශරීරයේ ම ක්‍රියාකාරිත්වයට යම් ආකාරයක බලපෑමක් ඇති කරනවා."

වසර ගණනාවක පර්යේෂණ සහ අත්හදා බැලීම් තුළින්, සියලු වර්ගවල ව්‍යායාමවලදී පියයුරු අටේ ඉලක්කමේ රටාවකට චලනය වන බව කණ්ඩායම සොයා ගත්හ.

පියයුරුවල වේදනාව අඩු කිරීමේ රහස ඒවා කොපමණ චලනය වේ ද යන්න නොව චලනය මන්දගාමී කිරීම බව ඔවුහු සොයා ගත්හ.

මෙම කණ්ඩායම දැන් එංගලන්තයේ කාන්තා පාපන්දු කණ්ඩායම සහ ලොව ප්‍රධාන පෙළේ ගොල්ෆ් ක්‍රීඩිකාවන් කිහිප දෙනෙකු සමග එක්ව ඔවුන්ට ගැළපෙන හොඳ ම තනපටය නිර්මාණය කර ඇත.

"කාන්තා ක්‍රීඩිකාවන්ගේ සෞඛ්‍යය වෙනුවෙන් අරමුදල් සැපයීම සඳහා ජාත්‍යන්තර පාපන්දු සංගමය, ලෝක රග්බි වැනි සංවිධාන මුදල් යොදවන ආකාරය අපි දකිනවා - ඒ වගේ ම පසුගිය වසර පහ තුළ ඇත්තට ම එහෙම වෙලා තියෙනවා," වේක්ෆීල්ඩ්-ස්කර් පවසයි.

"ඒක සාපේක්ෂව අලුත්, නමුත් ඒ වෙනස දකින්න ලැබීම සතුටක්."

'රෝගීන්ට අවශ්‍ය හොඳින් ජීවත් වෙන්න'

සමාජය විශාල පියයුරු නිසා ඇති වන පීඩාව දෙස බලන ආකාරය සහ තේරුම් ගන්නා ආකාරය රැකෙල්ට මුහුණ දීමට සිදු වූ දෙයකි.

පියයුරුවල ප්‍රමාණය අඩු කිරීමේ සැත්කමක් කිරීම සම්බන්ධයෙන් ඇගේ සම වයසේ මිතුරන් විසින් ඇයව විනිශ්චය කරන ලද බවත්, ඇගේ අරමුණ පිළිබඳ පොදු වැරදි මතයක් පැවති බවත් ඇය පවසයි.

"මම හිතන්නේ බොහෝ අය ඒක සෞඛ්‍ය ගැටලුවක් නෙවෙයි ලස්සන වෙන්න කරපු දෙයක් කියලා හිතුවා," ඇය කියනවා.

"මට මතකයි මම ඒක කරනකොට කාන්තාවක් මට කිව්වා, 'දැන් ඔයා ගිහින් බඩ අඩු කර ගන්න ඕනේ, ලයිපොසක්ෂන් වගේ දෙයක් කරලා."

එවැනි ප්‍රතිචාර ලැබුණ ද, තමාට කිසිදු පසුතැවිල්ලක් නොමැති බව රැකෙල් පවසයි.

"මම ගොඩක් සතුටින් ඉන්නේ. දැන් මම ආර්තවහරණ අවධියේ ඉන්න නිසා, ලොකු පියයුරු තියාගෙන ජීවත් වෙන්නේ කොහොම ද කියලා මට හිතාගන්න බෑ. ඒ ශරීරය එක්ක කටයුතු කරන්න මම උත්සහ කරනවා කියලා මට හිතාගන්නවත් බෑ."

පියයුරුවල ප්‍රමාණය අඩු කිරීමේ සැත්කම් සොයා පැමිණෙන රෝගීන් සංඛ්‍යාව වැඩිවීම ස්වයං රැකවරණය කෙරෙහි ඇති උනන්දුව වැඩි වීම පිළිබිඹු කළ හැකි බව නූජන්ට් පවසයි.

"නිසැකව ම කාන්තාවන් පමණක් නෙවෙයි, හැම රෝගියෙකුට ම අවශ්‍ය වෙන්නේ හොඳින් ජීවත් වෙන්න," ඇය පවසයි.

"එය පරිපූර්ණත්වය සඳහා සොයා යන්නක් නෙවෙයි, ඒක සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් සඳහා සොයා යාමක්."