'හරි ම හුරතල්' යන අර්ථය දෙන අලුත් වචනයක් ඔක්ස්ෆර්ඩ් ශබ්ද කෝෂයට එක් කෙරේ

A fluffy white and grey cat

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, ඔක්ස්ෆර්ඩ් ඉංග්‍රීසි ශබ්දකෝෂයට එකතු කරන ලද පිලිපීන වචනයක් වන ගීගිල් (Gigil), අප අතිශය හුරුබුහුටි දෙයක් හෝ යමෙකු දුටු විට අපට දැනෙන හැඟීම විස්තර කරයි.
    • Author, කෙලී නැග්
    • Role, බීබීසී

ඔබේ බළල් පැටවාගේ වීඩියෝවක් හෝ ඉන්ස්ටග්‍රෑම්හි ඔබ දුටු බළලෙකුගේ වීඩියෝවක් වැනි අතිශයින් හුරතල් යමක් හෝ යමෙකු දුටු විට ඇති වන හැඟීම පළ කිරීමට නොහැකිව ඔබ කවදා හෝ ගොළු වී තිබේ ද? දැන් එයට වචනයක් තිබේ. ඒ 'ගීගිල්' (Gigil) ය.

ගීගිල් (ගීගිල් ලෙස උච්චාරණය කෙරේ) යනු ඔක්ස්ෆර්ඩ් ඉංග්‍රීසි ශබ්දකෝෂයට එකතු කර ඇති "පරිවර්තනය කළ නොහැකි" වචන මාලාවකට අයත් එක් වචනයකි. එසේ නැතහොත් අර්ථ දැක්වීම සඳහා ඉංග්‍රීසි බසෙහි සමාන පද නොමැති වචන ලැයිස්තුවකට අයත් වචනයකි.

පිලිපීනයේ ටගාලොග් භාෂාවට අනුව, ගීගිල් යනු "අපගේ දෑත් තදින් අල්ලා ගැනීමට, දත්මිටි කෑමට සහ අපට එතරම් ආදරණීය යැයි පෙනෙන ඕනෑ ම කෙනෙකු මෘදුව කෙනිත්තීමට හෝ මිරිකීමට ඇති වන නොවැළැක්විය හැකි ආශාවක් ඇති කරන ඉතා තීව්‍ර හැඟීමකි".

සිංගප්පූරුවේ සහ මැලේසියාවේ පුදුමය හෝ කෝපය ප්‍රකාශ කිරීමට භාවිත කරන විස්මයාර්ථය ජනනය කරන වචනයක් වන අලමැක් (Alamak) යන වචනය ද එම ලැයිස්තුවට ඇතුළත් කර තිබේ.

"ගහ කොළ අතරින් හිරු එළිය වැටෙන ආකාරය සඳහා නිශ්චිත වචනයක් තිබීම ඉංග්‍රීසි කතා කරන්නන්ට ප්‍රයෝජනවත් නොවේ ද... නැතහොත් එළිමහනේ වාඩි වී බියර් රස විඳීමේ ක්‍රියාව සඳහා වචනයක් තිබීම ප්‍රයෝජනවත් නොවේ ද?" ඔක්ස්ෆර්ඩ් ඉංග්‍රීසි ශබ්ද කෝෂය නවතම යාවත්කාලීන පිටපත එළිදක්වමින් පැවසීය.

වෙනත් භාෂාවල වචන භාවිත කරමින් ඉංග්‍රීසි කතා කරන්නන් "පරිවර්තනය කළ නොහැකි වචන වෙනුවට වෙනත් භාෂාවක් ඒ සඳහා ඇති වචන භාවිත කර" ශබ්දකෝෂ හිඩැස් පුරවයි. ඔවුන් මෙය දීර්ඝ කාලයක් සිදු කරන විට, තත්සම හෝ තත්භව වශයෙන් වෙනත් භාෂාවකින් ගත් වචනය "ඔවුන්ගේ මව් වචන මාලාවේ ම කොටසක් බවට පත්වන" බව ඔක්ස්ෆර්ඩ් ඉංග්‍රීසි ශබ්ද කෝෂය පැවසීය.

සිංගප්පූරුවෙන් සහ මැලේසියාවෙන් අලුතින් එකතු කරන ලද වචනවලින් බහුතරයක් කෑම වර්ගවල නම් වන අතර, එය ජාතීන් ආහාර කෙරෙහි දක්වන දැඩි ඇල්ම පිළිබඳ සාක්ෂියකි.

එම ආහාර අතර පොල් කිරි, බිත්තර, සීනි සහ රම්පේ කොළවලින් සාදන ලද ජෑම් ගා ටෝස්ට් කළ පාන් භාවිත කර සකසන ජනප්‍රිය උදෑසන ආහාර විකල්පයක් වන කායා ටෝස්ට්; චීන සහ දකුණු ඉන්දියානු ආභාසයන් ඒකාබද්ධ කරන ලද මාළු ඔළු වෑංජනය, එහිදී විශාල මාළු හිසක් සියඹලා මුසු කළ වෑන්ජනයක් ලෙස පිසිනු ලැබේ. එමෙන් ම, රත් වූ භාජනයක උතුරන සුප් හොද්දක පිසින ලද තුනී පෙති කපන ලද මස් සහ එළවළුවලින් සකසන කෑමක් වන ස්ටීම්බෝට් ද ඇතුළත් වේ.

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

"ආහාර පිළිබඳ මේ සියලු කතා කෙනෙකුට ආහාර රැගෙන යාම (takeaway) එනම් tapau සඳහා පෙළඹවිය හැකි ය," මැන්ඩරින් සහ කැන්ටනීස් උපභාෂාවෙන් ආරම්භ වූ තවත් නව වචනයක් ගැන සඳහන් කරමින් ඔක්ස්ෆර්ඩ් ශබ්ද කෝෂය පැවසීය, එහි අර්ථය "ආහාර ඇසුරුම් කිරීම හෝ ඔතා ගැනීම සහ රැගෙන යාම" යන්න ය.

Gigil යන වචනයට අමතරව, අලුතින් එකතු කරන ලද පිලිපීන වචන අතරට වීඩියෝකේ (videoke), කැරෝකි යන්නෙහි පිලිපීන දේශීය අනුවාදය සහ ගොවීන් විසින් බොහෝ විට භාවිත කරන පළල් දාරයක් සහිත සැහැල්ලු තොප්පියක් වන සලාකොට් ද ඇතුළත් කර තිබේ.

අනෙකුත් පිලිපීන වචන අතරට ඔක්ස්ෆර්ඩ් ශබ්ද කෝෂය විසින් "පවතින ඉංග්‍රීසි වචනවල අසාමාන්‍ය භාවිතයන්" ලෙස හඳුන්වන terror වැනි වචන ඇතුළත් වේ. එම වචනය ඇතැම් විට දැඩි, රළු හෝ නිතර පරීක්ෂාවන් කරන ගුරුවරයෙකු විස්තර කිරීමට භාවිත කරයි.

ඔක්ස්ෆර්ඩ් ශබ්දකෝෂයේ වචන 600,000කට වඩා ඇතුළත් වන අතර, එය ඉංග්‍රීසි කතා කරන ලෝකයේ වඩාත් ම පුළුල් ශබ්දකෝෂවලින් එකක් බවට පත්ව තිබේ.

එහි සංස්කාරකවරු සෑම වසරක ම නව වචන යෝජනා දහස් ගණනක් සලකා බලති. මේවා එහි සංස්කාරකවරුන්ගේ ම පරිශීලන, ජනතා ඉල්ලීම් සහ භාෂා දත්ත සමුදායන් විශ්ලේෂණය ඇතුළු විවිධ මූලාශ්‍රවලින් සොයා ගැනේ.

දකුණු අප්‍රිකාවේ සහ අයර්ලන්තයේ වචන සහ වාක්‍ය ඛණ්ඩ ද ඔක්ස්ෆර්ඩ් ශබ්ද කෝෂයේ නවතම යාවත්කාලීන කිරීමට ඇතුළත් කර තිබේ.